4. 1. 2.
අනොත්තාපී සූත්‍රය
285. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි ආයුෂ්මත් මහා කස්සප ස්ථවිරයන් වහන්සේද ආයුෂ්මත් ශාරිපුත්‍රයන් වහන්සේද, බරණැස් නුවර ‘මිගදාය’ නම් ඉසිපතනාරාමයෙහි වාසය කෙරෙත්. ඉක්බිති ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සවස් කාලයෙහි විවේකස්ථානයෙන් නැගී ආයුෂ්මත් මහා කස්සප ස්ථවිරයන් යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් මහා කස්සප ස්ථවිරයන් හා සමග සතුටු වූයේය. සතුටුවිය යුතුවූ සිහි කටයුතුවූ කථාව කොට නිමවා, එක් පැත්තක හුන්නේය. එක්පැත්තක හුන්නාවූ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරතෙමේ ආයුෂ්මත් මහා කස්සප ස්ථවිරයන් වහන්සේට මෙය කීයේය.
“ඇවැත් කස්සපයිනි, කෙලෙස් තවන වීර්‍ය්‍යය නැත්තේ, පාපයට භය නැත්තේ, ධර්මාවබෝධය පිණිස සුදුසු නොවෙයි. නිර්වාණය පිණිස සුදුසු නොවෙයි. අති උතුම් රහත් බව ලැබීම පිණිස සුදුසු නොවෙයි. කෙළෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ, පාපයට භය ඇත්තේ, ධර්මාවබෝධය පිණිස සුදුසුවෙයි. නිර්වාණය පිණිස සුදුසු වෙයි. අති උතුම් රහත් බව ලැබීම පිණිස සුදුසුවේයයි කියනු ලැබේ.
“ඇවැත්නි, කොපමණකින් වනාහි කෙලෙස් තවන වීර්‍ය්‍යය නැත්තේ, පාපයට බිය නැත්තේ ධර්මාවබෝධය පිණිස සුදුසු නොවන්නේ, නිවන් ලැබීම පිණිස සුදුසු නොවන්නේ, අති උතුම් රහත්බව ලැබීම පිණිස සුදුසු නොවන්නේ වේද? ඇවැත්නි, කොපමණකින් වනාහි කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ පාපයට භය ඇත්තේ, ධර්මාවබෝධය පිණිස සුදුසු වන්නේ, නිවන් ලැබීමට සුදුසු වන්නේ, අති උතුම් රහත් බව ලැබීම පිණිස සුදුසු වන්නේ වේද?
“ඇවැත්නි, මේ ශාසනයෙහි මහණතෙම මා හට නූපන්නාවූ, ලාමකවූ, අකුශල ධර්මයෝ උපදින්නාවූ අනර්ථය පිණිස පවතින්නාහුයයි. වීර්‍ය්‍යය නොකෙරෙයිද, මාහට උපන්නාවූ, ලාමකවූ, අකුශල ධර්මයෝ ප්‍රහීණ නොවන්නාහු, අනර්ථය පිණිස පවතින්නාහුයයි, වීර්‍ය්‍යය නො කෙරෙයිද “මට නූපන්නාවූ, කුශල ධර්මයෝ නූපදින්නාහු, අනර්ථය පිණිස පවතින්නාහුයයි, වීර්‍ය්‍යය නොකෙරෙයිද, මට උපන්නාවූ, කුසල ධර්මයෝ නිරුද්ධ (නැති) වන්නාහු, අනර්ථය පිණිස පවත්නාහුයයි. වීර්‍ය්‍යය නොකෙරෙයිද, ඇවැත්නි, මෙසේ වනාහි කෙලෙස් තවන වීර්‍ය්‍යය නොකරන්නේ වෙයි.
“මහණෙනි, කෙසේ නම් භය නැත්තේ වේද?
ඇවැත්නි, මේ ශාසනයෙහි මහණතෙම මට නූපන්නාවූ, ලාමකවූ, අකුශල ධර්මයෝ උපදින්නාහු, අනර්ථය පිණිස පවතින්නාහුයයි, භය නොවෙයිද? මට උපන්නාවූ, ලාමකවූ, අකුශල ධර්මයෝ ප්‍රහීණ නොවන්නාහු, අනර්ථය පිණිස පවත්නාහුයයි භය නොවෙයිද මට නූපන්නාවූ කුශලධර්මයෝ නූපදින්නාහු, අනර්ථය පිණිස පවතින්නාහුයයි භය නොවෙයිද? ‘මට උපන්නාවූ, කුශල ධර්මයෝ නිරුද්ධ (නැති) වන්නාහු, අනර්ථය පිණිස පවතින්නාහුයයි. භය නොවෙයිද ඇවැත්නි, මෙසේ වනාහි භය නැත්තේ වෙයි.
ඇවැත්නි, මෙසේ වනාහි කෙලෙස් තවන වීර්‍ය්‍යය නැත්තාවූ, භය නැත්තාවූ මහණතෙමේ ධර්මාවබෝධය පිණිස සුදුසු නොවන්නේය. නිවන් ලැබීම පිණිස සුදුසු නොවන්නේය. අති උතුම් රහත් බව ලැබීම පිණිස සුදුසු නොවන්නේය.
“ඇවැත්නි, කෙසේ නම් කෙළෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ වේද?
ඇවැත්නි, මේ ශාසනයෙහි මහණතෙම ‘මට නූපන්නාවූ, ලාමකවූ, අකුශල ධර්මයෝ උපදින්නාහු, අනර්ථය පිණිස පවතින්නාහුයයි වීර්‍ය්‍යය කෙරෙයිද, ‘මට උපන්නාවූ ලාමකවූ, අකුශල ධර්මයෝ ප්‍රහීණ නොවන්නාහු, අනර්ථය පිණිස පවතින්නාහුයයි, වීර්‍ය්‍යය කෙරෙයිද, මට නූපන්නාවූ, කුශලධර්මයෝ නූපදින්නාහු අනර්ථය පිණිස පවතින්නාහුයයි වීර්‍ය්‍යය කෙරෙයිද මට උපන්නාවූ, කුශල ධර්මයෝ නිරුද්ධ (නැති) වන්නාහු, අනර්ථය පිණිස පවතින්නාහුයයි. වීර්‍ය්‍යය කෙරෙයිද ඇවැත්නි, මෙසේ වනාහි කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තවූයේ වෙයි.
“ඇවැත්නි, කෙසේ නම් භය ඇත්තේ වේද?
ඇවැත්නි, මේ ශාසනයෙහි මහණතෙම ‘මට නූපන්නාවූ, ලාමකවූ, අකුශල ධර්මයෝ උපදින්නාහු අනර්ථය පිණිස පවතින්නාහුයයි භය වෙයිද, ‘මට උපන්නාවූ, ලාමකවූ, අකුශල ධර්මයෝ ප්‍රහීණ නොවන්නාහු, අනර්ථය පිණිස පවතින්නාහුයයි, භය වෙයිද මට නූපන්නාවූ, කුශල ධර්මයෝ නූපදින්නාහු අනර්ථය පිණිස පවතින්නාහුයයි භය වෙයිද ‘මට උපන්නාවූ, කුශල ධර්මයෝ නිරුද්ධ (නැති) වන්නාහු, අනර්ථය පිණිස පවතින්නාහුයයි’ භය වෙයිද. ඇවැත්නි, මෙසේ වනාහි භය ඇත්තේ වෙයි.
ඇවැත්නි, මෙසේ වනාහි කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ පව්කිරීමට භය ඇත්තේ ධර්මාවබෝධය පිණිස සුදුසුවූයේ නිර්වාණය පිණිස සුදුසු වූයේ අති උතුම් රහත් බව ලැබීමට සුදුසු වූයේ වෙයි.
4. 1. 3.
චන්දූපම සූත්‍රය
286. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසයකරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, කයින්ද ඈත්ව සිතින්ද ඈත්ව කුලයන්හි නිතර අලුත් කෙනෙක්ව, හැඩි දැඩි පැවතුම් නැතිව චන්ද්‍රයා හා සමානව කුලයන් කරා එළඹෙව්. (පැමිණෙව්.) මහණෙනි, යම්සේ වනාහි පුරුෂයෙක් තෙම කයින්ද ඈත්ව සිතින්ද ඈත්ව ගරාවැටුණ ළිඳක් හෝ ප්‍රපාතයක් හෝ ඉවුර සිඳීගිය ගඟක් හෝ බලන්නේ වේද, මහණෙනි, එසේම කයද ඈත් කොට සිතද ඈත් කොට කුලයන්හි නිතර අලුත් කෙනෙක්ව, හැඩි දැඩි පැවතුම් නැතිව චන්ද්‍රයා හා සමානව කුලයන් කරා එළඹෙව්. මහණෙනි, කස්සප තෙම කයද ඈත්කොට සිතද ඈත්කොට කුලයන්හි නිතර අලුත් කෙනෙකු මෙන් හැඩි දැඩි පැවතුම් නැතිව චන්ද්‍රයා හා සමානව කුලයන් කරා එළඹෙයි. (පැමිණෙයි.)
“මහණෙනි, කුමක් සිතන්නහුද? කෙබඳු මහණ තෙමේ කුලයන් කරා එළඹෙන්නට සුදුසු වෙයිද?”
“ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල්කොට ඇත්තෝය. භාග්‍යවතුන් වහන්සේ පමුණුවන්නා කොට ඇත්තෝය. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කොට ඇත්තාහුය. ස්වාමීනි, මේ වචනයාගේ අර්ථය භාග්‍යවතුන් වහන්සේටම වැටහේ නම් ඒ මැනවි. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්ෂූහු දරන්නාහුයයි.” (කීවාහුය.)