4. 1. 11.
චීවර සූත්‍රය
294. එක් සමයෙක්හි ඇවැත් මහා කස්සපතෙම රජගහනුවර කලන්දකනිවාප නම් ලත් වේළුවනයෙහි වාසය කරනසේක. එකල්හි වනාහි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම මහත්වූ භික්ෂු සංඝයා හා සමග ‘දක්ෂිණගිරියෙහි’ චාරිකාවෙහි හැසිරෙයි. එසමයෙහි වනාහි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ගේ බෙහෙවින් ළදරුවූ, තිසක් පමණ ශිෂ්‍ය භික්ෂූහු ශික්ෂාව ප්‍රතික්ෂේප කොට ගිහිවූවාහු වෙති. ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම “දක්ෂිණ ගිරියෙහි” කැමතිතාක් චාරිකාවෙහි හැසිර, රජගහනුවර වේළුවන නම් “කලන්දක නිවාපය” යම් තැනෙක්හිද, ආයුෂ්මත් මහා කස්සප ස්ථවිරතෙම යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් මහා කස්සප ස්ථවිරයන් වහන්සේට වැඳ, එක්පසක හුන්නේය. එක්පසෙක හුන්නාවූ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්හට ආයුෂ්මත් මහාකස්සප ස්ථවිරයන් වහන්සේ මෙය කීයේය:
“ඇවැත් ආනන්දයෙනි, කිනම් අර්ථයක් නිසා භාග්‍යවතුන් වහන්සේ විසින් කුලයන්හි ‘තිකභෝජනය’ පණවන ලදද?”
“ස්වාමීනි, කරුණු තුනක් නිසා භාග්‍යවතුන් වහන්සේ විසින් කුලයන්හි ‘තිකභෝජනය’ පණවනලදී: දුශ්ශීල පුද්ගලයන්හට නිග්‍රහකිරීම පිණිසද, සිල්වත් භික්ෂූන්ගේ පාසුවිහරණය පිණිසත්, පාප අදහස් ඇත්තෝ පක්ෂයක් ගෙන සංඝයා භෙද නොකෙරෙත්වා කියාද කුලයන් කෙරෙහි අනුකම්පාව නිසාද යන කරුණු තුනය. ස්වාමීනි, කස්සප ස්ථවිරයන් වහන්ස, මේ තෙවැදැරුම් අර්ථය නිසා භාග්‍යවතුන්වහන්සේ කුලයන්හි ‘තිකභෝජනය’ පණවන ලදී.”
“ඇවැත් ආනන්දයිනි, එසේ තිබියදී නුඹ කවර කාරණයක් නිසා, මේ ඉන්ද්‍රිය සංවරයක් නැත්තාවූ, භෝජනයෙහි ප්‍රමාණය නොදන්නාවූ, නිදිවර්ජිත කිරීමෙහි නොයෙදුනාවූ’ අලුත් මහණුන් හා සමග චාරිකාවෙහි හැසිරෙයිද? බෝගපැල විනාශ කරමින් ඇවිදින්නෙහියයි හඟිමි. කුලයන් නසමින් ඇවිදින්නෙහියයි හඟිමි. ඇවැත් ආනන්දයිනි, තොපගේ පිරිස විනාශ වන්නීය. තොපගේ පිරිස බිඳෙන්නීය. මේ ළදරු තෙමේ තමාගේ ප්‍රමාණය නොදන්නේය.”
“ස්වාමීනි, කස්සප ස්ථවිරයන් වහන්ස, මාගේ හිසකෙස් ද පැසීගොස්ය. එතකුදු වුවත් අපි අද දක්වාත් ආයුෂ්මත් මහා කස්සප ස්ථවිරයන් වහන්සේගේ ළදරුවා කියා ආමන්ත්‍රණයකිරීමෙන් නොමිදෙමුයි කීයේය.”
“එය එසේමය. ඇවැත් ආනන්දය, නුඹ මේ ඉන්ද්‍රිය සංවරයක් නැත්තාවූ භෝජනයෙහි ප්‍රමාණය නොදන්නාවූ, නිදි වර්ජිත කිරීමෙහි නොයෙදුනාවූ, අලුත් මහණුන් හා සමග චාරිකාවෙහි හැසිරෙහිය. ධාන්‍ය පැල විනාශ කරමින් හැසිරෙහියයි හඟිමි. කුලයන් විනාශකරමින් හැසිරෙහියයි හඟිමි. ඇවැත් ආනන්දය, නුඹගේ පිරිස බිඳෙයි ඇවැත් ආනන්දය, නුඹගේ පිරිස විනාශ වෙයි. මේ කුමාරයා (ළදරුවා) තමාගේ ප්‍රමාණය නොදන්නේය.”
මහා කස්සප ආර්‍ය්‍යයන් වහන්සේ විසින් පණ්ඩිත භික්ෂුවක්වූ, ආනන්ද ආර්‍ය්‍යයන් වහන්සේ කුමාර වාදයෙන් නින්දා කරනු ලැබුවේයයි ථුල්ලනන්දා නම් භික්ෂුණිය ඇසුවාය. ඉක්බිති එයින් නොසතුටු සිත් ඇත්තාවූ, ථුල්ල නන්දා භික්ෂුණිය නොසතුටු වචනයක් නිකුත්කළාය. “කිමෙක්ද? මහා කස්සප ආර්‍ය්‍යයන් වහන්සේ පෙර අන්‍ය තීර්ථකව විසුවාවූ මහා කස්සප ආර්‍ය්‍යයන් වහන්සේ පණ්ඩිත භික්ෂුවක්වූ, ආනන්ද ආර්‍ය්‍යයන් වහන්සේ කුමාර වාදයෙන් නින්දා කළයුත්තෙකැයි හඟින්නේද?” කියායි.
ආයුෂ්මත් මහා කස්සප ස්ථවිරයන් වහන්සේ ථුල්ල නන්දා භික්ෂුණිය විසින් කියනලද මේ වචනය ඇසූහ. ඉක්බිති ආයුෂ්මත් මහා කස්සප ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්හට මෙය කීයේය. “ඇවැත් ආනන්දයිනි, ථුල්ලනන්දා භික්ෂුණිය විසින් ඉක්මන්වී, කරුණු නොසලකා වචනයක් කියනලදී. ඇවැත්නි, මම වනාහි යම් තැනක පටන් හිසකෙස් දැලිරවුල් බාවා, (බැහැර කරවා) කසාවත් හැඳ, අගාර නම් ලත් ගිහිගෙයින් නික්ම, අනගාරිය නම් ලත් ශාසනයෙහි පැවිදිවූයේ වෙම්ද, (එතැන් පටන් මම) ඒ භාග්‍යවත්වූ, අර්හත්වූ, සම්මා සම්බුදුන් හැර, අන්‍ය ශාස්තෘවරයකු දැක්වීමට නොදනිමි.
ඇවැත්නි, පෙර ගිහිගෙයි වාසය කරන්නාවූ මට මේ සිත ඇතිවූයේය. ‘ගිහිගෙයි විසීම් අවහිරය. රජස් (දූවිලි) උපදනා තැනකි. පැවිදිවීම අබ්භොකාස්ථානයයි. (එළිමහන් තැනයි.) ගිහිගෙයි වසන්නන් විසින් ඒකාන්තයෙන් සම්පූර්ණවූ, ඒකාන්තයෙන් පිරිසිදුවූ, සෝදනලද හක්ගෙඩියක් මෙන් පිරිසිදුවූ මේ බ්‍රහ්ම චරියාවෙහි හැසිරෙන්නට පහසු නොවේ. මම කෙස් රවුළු කපා හැර, කසාවත් හැඳ, ගිහිගෙන් නික්ම, අනගාරිකව, පැවිදි වන්නෙම් නම් ඉතා හොඳය’ කියායි. ඇවැත්නි, පසුව ඒ මම කපනලද රෙදි කැබලිවලින් දෙපට සිවුරක් කොට ලෝකයෙහි යම් රහත්හු වෙත්ද, ඒ රහතුන් උදෙසා කෙස් රවුළු කපා හැර, කසාවත් හැඳ, ගිහිගෙයින් නික්මී, අනගාරිකව පැවිදිවූයෙමි.