3. 2. 6.
භාතු සූත්‍රය
279. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬුසිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසයකරන සේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තරදුන්හ. (එවිට) භාග්‍යවතුන්වහන්සේ මෙය වදාළසේක.
මහණෙනි, අවිජ්ජාවෙන් වැසී, තණ්හාවෙන් බැඳී, ගමන් කරන්නාවූ, සැරිසරන්නාවූ, සත්වයන්ගේ මේ සංසාරය නොදක්නා ලද අග ඇත්තේය. මුල් කොනත් නොපෙනෙන්නේය. මහණෙනි, මේ දීර්ඝ කාලයෙහිදී, සහෝදරයෙක් නොවූ යම් සත්වයෙක් වේද, එබඳු සත්වයෙක් සුලබ නොවේ. ඊට හේතුව කවරේද? මහණෙනි, අවිජ්ජාවෙන් වැසුණු, තණ්හාවෙන් බැඳුණු, ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ, සත්වයන්ගේ මේ සංසාරය නොදක්නා ලද අග ඇත්තේ වේද, මුල් කොනත් නොදකියිද, එහෙයිනි. මහණෙනි, මෙසේ තොප විසින් දුක් අනුභව කරන ලදී. දැඩි දුක් අනුභව කරන ලදී. ව්‍යසන අනුභව කරන ලදී. සොහොන් බිම තරකරන ලදී. මහණෙනි, මේ සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුමය. නො ඇලීමට සුදුසුමය. ඔවුන්ගෙන් මිදීමට සුදුසුමය.
3. 2. 7.
භගිනි සූත්‍රය
280. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී, භාග්‍යවතුන්වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තරදුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
මහණෙනි, අවිජ්ජාවෙන් වැසී, තණ්හාවෙන් බැඳී, ගමන් කරන්නාවූ, සැරිසරන්නාවූ, සත්වයන්ගේ මේ සංසාරය නොදක්නා ලද අග ඇත්තේය. මුල් කොනත් නොපෙනෙන්නේය. මහණෙනි, මේ දීර්ඝ කාලයෙහිදී, සහෝදරියක් නොවූ යම් සත්වයෙක් වේද, එබඳු සත්වයෙක් සුලබ නොවේ. ඊට හේතුව කවරේද? මහණෙනි, අවිජ්ජාවෙන් වැසුණු, තණ්හාවෙන් බැඳුණු, ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ, සත්වයන්ගේ මේ සංසාරය නොදක්නා ලද අග ඇත්තේ වේද, මුල් කොනත් නොදකියිද එහෙයිනි. මහණෙනි, මෙසේ තොප විසින් දුක් අනුභව කරන ලදී. දැඩි දුක් අනුභව කරන ලදී. ව්‍යසන අනුභව කරන ලදී. සොහොන් බිම තරකරන ලදී. මහණෙනි, මේ සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුමය. නො ඇලීමට සුදුසුමය. ඔවුන්ගෙන් මිදීමට සුදුසුමය.
3. 2. 8.
පුත්ත සූත්‍රය
281. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන්වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
මහණෙනි, අවිජ්ජාවෙන් වැසී, තණ්හාවෙන් බැඳී, ගමන් කරන්නාවූ, සැරිසරන්නාවූ, සත්වයන්ගේ මේ සංසාරය නොදක්නා ලද අග ඇත්තේය. මුල් කොනත් නොපෙනෙන්නේය. මහණෙනි, මේ දීර්ඝ කාලයෙහිදී, පුතෙක් නොවූ යම් සත්වයෙක් වේද, එබඳු සත්වයෙක් සුලබ නොවේ. ඊට හේතුව කවරේද? මහණෙනි, අවිජ්ජාවෙන් වැසුණු, තණ්හාවෙන් බැඳුණු, ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ, සත්වයන්ගේ මේ සංසාරය නොදක්නා ලද අග ඇත්තේවේද, මුල් කොනත් නොදකියිද, එහෙයිනි. මහණෙනි, මෙසේ තොප විසින් දුක් අනුභව කරන ලදී. දැඩි දුක් අනුභව කරන ලදී. ව්‍යසන අනුභව කරන ලදී. සොහොන් බිම තර කරන ලදී. මහණෙනි, මේ සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුමය. නො ඇලීමට සුදුසුමය. ඔවුන්ගෙන් මිදීමට සුදුසුමය.
3. 2. 9.
ධීතු සූත්‍රය
282. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩ වසනසේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි”යි කියා භික්ෂූන් ඇමතූහ. “ස්වාමීනි”යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
මහණෙනි, අවිජ්ජාවෙන් වැසී, තණ්හාවෙන් බැඳී, ගමන් කරන්නාවූ, සැරිසරන්නාවූ, සත්වයන්ගේ මේ සංසාරය නොදක්නා ලද අග ඇත්තේය. මුල් කොනත් නොපෙනෙන්නේය. මහණෙනි, මේ දීර්ඝ කාලයෙහිදී, දුවක් නොවූ යම් සත්වයෙක් වේද, එබඳු සත්වයෙක් සුලබ නොවේ. ඊට හේතුව කවරේද? මහණෙනි, අවිජ්ජාවෙන් වැසුණු, තණ්හාවෙන් බැඳුනු, ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ, සත්වයන්ගේ මේ සංසාරය නොදක්නා ලද අග ඇත්තේ වේද, මුල් කොනත් නොදකියිද, එහෙයිනි. මහණෙනි, මෙසේ තොප විසින් දුක් අනුභව කරන ලදී. දැඩි දුක් අනුභව කරන ලදී. ව්‍යසන අනුභව කරන ලදී. සොහොන් බිම තරකරන ලදී. මහණෙනි, මේ සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුමය. නො ඇලීමට සුදුසුමය. ඔවුන්ගෙන් මිදීමට සුදුසුමය.
3. 2. 10.
වෙපුල්ල සූත්‍රය
283. මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ “ගිජ්ඣකූට” පර්වතයෙහි වාසය කරනසේක. එහිදී වනාහි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන්හට කථාකළ සේක. ‘ස්වාමීනි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළ සේක. “මහණෙනි, අවිජ්ජාවෙන් වැසී, තණ්හාවෙන් බැඳී, ගමන් කරන්නාවූ, සැරිසරන්නාවූ, සත්වයන්ගේ මේ සංසාරය නොදක්නා ලද අග ඇත්තේය. මුල් කොනත් නොපෙනෙන්නේය.
මහණෙනි, පෙරවූවක් කියමි. එනම්:- මේ “වේපුල්ල” පර්වතයට “පාචීන වංස” යන නාමයක් ඇතිවිය. මහණෙනි, ඒ කාලයෙහි වනාහි මෙහි මිනිසුන්ට “තිවර” යන නාමය ඇතිවිය. මහණෙනි, “තිවර” මිනිසුන්ගේ ආයුෂ ප්‍රමාණය අවුරුදු හතළිස් දහසක්වූයේය. මහණෙනි, “තිවර” නම් ඒ මිනිස්සු “පාචීන වංස” නම් පර්වතයට සිව් දිනකින් නගිති. සිව් දිනකින් බසිති.
මහණෙනි, ඒ කාලයෙහි වනාහි භාග්‍යවත්වූ, අර්හත්වූ “කකුසඳ” නම් සම්මාසම්බුදු රජාණන් වහන්සේ ලෝකයෙහි උපන් සේක. මහණෙනි, භාග්‍යවත්වූ, අර්හත්වූ “කකුසඳ” සම්මා සම්බුදු රජාණන් වහන්සේට “විධූරය” “සඤ්ජීවය” යන අග්‍රවූ, භද්‍රවූ, ශ්‍රාවක දෙනමක් වූයේය. මහණෙනි, බලව් මේ පර්වතයාගේ ඒ නාමයද අතුරුදන් විය. ඒ මිනිස්සුද කාලක්‍රියා කළාහුය. ඒ භාග්‍යවතුන් වහන්සේද පිරිනිවන් පෑ සේක. මහණෙනි, සංස්කාරයෝ මෙසේ අනිත්‍යයහ. මහණෙනි, සංස්කාරයෝ මෙසේ අස්ථිරයහ. මහණෙනි, සංස්කාරයෝ මෙසේ සැනසීම් රහිතයහ. මහණෙනි, මේ සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුමය. නො ඇලීමට සුදුසුමය. ඔවුන් කෙරෙන් මිදීමට සුදුසුමය.
මහණෙනි, පෙරවූවක් කියමි. එනම්:- මේ “වේපුල්ල” පර්වතයට “වංකක” යන නාමය ඇතිවිය. මහණෙනි, ඒ කාලයෙහි වනාහි මෙහි මිනිසුන්ට “රෝහිතස්ස” යන නාමය ඇතිවිය. මහණෙනි, “රෝහිතස්ස” නම් මිනිසුන්ගේ ආයුෂ ප්‍රමාණය අවුරුදු තිස් දහසක් වූයේය. මහණෙනි, “රෝහිතස්ස” නම් මිනිස්සු “වංකක” නම් පර්වතයට තෙදිනකින් නගිති. තෙදිනකින් බසිති.
මහණෙනි, ඒ කාලයෙහි වනාහි, භාග්‍යවත්වූ අර්හත්වූ, “කෝනාගමන” නම් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ලෝකයෙහි උපන්සේක. මහණෙනි, භාග්‍යවත්වූ, අර්හත්වූ “කෝනාගමන” නම් සම්මාසම්බුදු රජාණන් වහන්සේට “භිය්‍යය”, “සුත්තරය” යන අග්‍රවූ, භද්‍රවූ, ශ්‍රාවක දෙනමක් වූයේය. මහණෙනි, බලව් මේ පර්වතයාගේ ඒ නාමයද අතුරුදන් වීය. ඒ මිනිස්සුද කාලක්‍රියා කළාහුය. ඒ භාග්‍යවතුන් වහන්සේද පිරිනිවන් පෑ සේක. මහණෙනි, සංස්කාරයෝ මෙසේ අනිත්‍යයහ. මහණෙනි, සංස්කාරයෝ මෙසේ අස්ථිරයහ. මහණෙනි, සංස්කාරයෝ මෙසේ සැනසීම් රහිතය. මහණෙනි, මේ සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුමය. නො ඇලීමට සුදුසුමය. ඔවුන් කෙරෙන් මිදීමට සුදුසුමය.
මහණෙනි, පෙරවූවක් කියමි. එනම්:- මේ “වේපුල්ල” පර්වතයට “සුඵස්ස” යන නාමය ඇතිවිය. මහණෙනි, ඒ කාලයෙහි වනාහි මේ මිනිසුන්ට “අප්පිය” යන නාමය ඇතිවිය. මහණෙනි, ‘අප්පිය’ නම් මිනිසුන්ගේ ආයුෂ ප්‍රමාණය අවුරුදු විසිදහසක් වූයේය. මහණෙනි, “අප්පිය” නම් මිනිස්සු “සුඵස්ස” නම් පර්වතයට දෙදිනකින් නගිති. දෙදිනකින් බසිති.
මහණෙනි, ඒ කාලයෙහි වනාහි, භාග්‍යවත්වූ, අර්හත්වූ “කස්සප” නම් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ලෝකයෙහි උපන්සේක. මහණෙනි, භාග්‍යවත්වූ, අර්හත්වූ, “කස්සප” නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේට තිස්සය, භාරද්වාජය යන අග්‍රවූ භද්‍රවූ, ශ්‍රාවක දෙනමක් වූයේය. මහණෙනි, බලව් මේ පර්වතයාගේ ඒ නාමයද අතුරුදන් විය. ඒ මිනිස්සුද කාලක්‍රියා කළාහුය. ඒ භාග්‍යවතුන් වහන්සේද පිරිනිවන් පෑ සේක, මහණෙනි, සංස්කාරයෝ මෙසේ අනිත්‍යයහ. මහණෙනි, සංස්කාරයෝ මෙසේ අස්ථිරයහ. මහණෙනි, සංස්කාරයෝ මෙසේ සැනසීම් රහිතයහ. මහණෙනි, මේ සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුමය. නො ඇලීමට සුදුසුමය. ඔවුන් කෙරෙන් මිදීමට සුදුසුමය.