3. 1. 3.
අස්සු සූත්රය
266. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසයකරන සේක. එහිදී, භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි, කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්යවතුන් වහන්සේ මෙය වදාළසේක:
මහණෙනි, අවිජ්ජාවෙන් වැසී, තණ්හාවෙන් බැඳී, ගමන් කරන්නාවූ, සැරිසරන්නාවූ, සත්වයන්ගේ මේ සංසාරය නොදක්නා ලද අග (කෙළවර) ඇත්තේය මුල් කොනත් නොපෙනෙන්නේය. මහණෙනි, තොප විසින් බොහෝ කලක් මුළුල්ලෙහි දුක් අනුභව කරන ලදී. මහණෙනි, කුමක් සිතන්නහුද? මේ දීර්ඝ කාලයෙහි ඇවිදින කල්හි සැරිසරන කල්හි අමනාප වූවන් හා සමග එක්වීමෙන් සහ මනාපවූවන්ගෙන් වෙන්වීමෙන් හඬන්නාවූ වැළපෙන්නාවූ තොපගෙන් ගැලු යම් කඳුලක් වේද, සතර මහා සාගරයෙහි යම් ජලයක් වේද, මේ දෙකින් කුමක් වනාහි වැඩිවේද?
“ස්වාමීනි, අපි වනාහි භාග්යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද පරිදි ධර්මය දනිමු. ස්වාමීනි, ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ මේ දීර්ඝ කාලයෙහි අමනාපවූවන් හා සමග එක්වීමෙන් සහ මනාපවූවන්ගෙන් වෙන්වීමෙන්, හඬන්නාවූ වැළපෙන්නාවූ අපගේ ගැලු යම් කඳුලක් වේද, එයම ඉතා අධිකවේ. සතර මහා සාගරයෙහි දිය අධික නොවේමය.
මහණෙනි, යහපති! යහපති!! මහණෙනි, තොප මා විසින් දේශනා කරන ලද පරිදි ධර්මය දැනගැනීම යහපත්ය. මහණෙනි, ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ මේ දීර්ඝ කාලයෙහි අමනාපවූවන් හා සමග එක්වීමෙන් හා මනාපවූවන් ගෙන් වෙන්වීමෙන්ද, හඬන්නාවූ, වැළපෙන්නාවූ තොපගේ ගැලු යම් කඳුලක් වේද, එයම ඉතා අධිකවේ. සතර මහා සාගරයෙහි දිය අධික නොවේමය. මහණෙනි, තොප විසින් බොහෝ කාලයක් මුළුල්ලෙහි මවගේ මරණයෙන්වූ දුක විඳින ලදී. මවගේ මරණයෙන්වූ දුක විඳින්නාවූ අමනාපයන් හා සමග එක්වීමෙන්, මනාපයන්ගෙන් වෙන්වීමෙන්, හඬන්නාවූද, වැළපෙන්නාවූද, තොපගේ යම් කඳුලක් වේද, එයම ඉතා අධිකවේ. සතර මහා සාගරයෙහි දිය අධික නොවේමය. මහණෙනි, තොප විසින් බොහෝ කලක් මුළුල්ලෙහි පියාගේ මරණයෙන් වූ දුක විඳින ලදී. පියාගේ මරණයෙන්වූ දුක විඳින්නාවූ, අමනාපයන් හා සමග එක්වීමෙන්, මනාපයන්ගෙන් වෙන්වීමෙන් හඬන්නාවූද වැළපෙන්නාවූද, තොපගේ යම් කඳුලක් වේද, එයම ඉතා අධිකවේ. සතර මහා සාගරයෙහි දිය අධික නොවේමය. මහණෙනි, තොප විසින් බොහෝ කලක් මුළුල්ලෙහි සහෝදරයාගේ මරණයෙන්වූ දුක විඳින ලදී. සහෝදරයාගේ මරණයෙන්වූ දුක විඳින්නාවූ, අමනාපයන් හා සමග එක්වීමෙන්, මනාපයන්ගෙන් වෙන්වීමෙන් හඬන්නාවූද, වැළපෙන්නාවූද තොපගේ යම් කඳුලක් වේද, එයම ඉතා අධික වේ. සතර මහා සාගරයෙහි දිය අධික නොවේමය. මහණෙනි, බොහෝ කලක් මුළුල්ලෙහි සහෝදරියගේ මරණයෙන්වූ දුක විඳින ලදී. සහෝදරියගේ මරණයෙන්වූ දුක විඳින්නාවූ, අමනාපයන් හා සමග එක්වීමෙන්, මනාපයන් ගෙන් වෙන්වීමෙන්, හඬන්නාවූද, වැළපෙන්නාවූද, තොපගේ යම් කඳුලක් වේද, එයම ඉතා අධිකවේ. සතර මහා සාගරයෙහි දිය අධික නොවේමය. මහණෙනි, බොහෝ කලක් මුළුල්ලෙහි පුත්රයාගේ මරණයෙන්වූ දුක විඳින ලදී. පුත්රයාගේ මරණයෙන්වූ දුක විඳින්නාවූ, අමනාපයන් හා සමග එක්වීමෙන්, මනාපයන්ගෙන් වෙන්වීමෙන්, හඬන්නාවූද, වැළපෙන්නාවූද, තොපගේ යම් කඳුලක් වේද, එයම ඉතා අධිකවේ. සතර මහා සාගරයෙහි දිය අධික නොවේමය. මහණෙනි, බොහෝ කලක් මුළුල්ලෙහි දුවගේ මරණයෙන්වූ දුක විඳින ලදී. දුවගේ මරණයෙන්වූ දුක විඳින්නාවූ, අමනාපයන් හා සමග එක්වීමෙන්, මනාපයන්ගෙන් වෙන්වීමෙන්, හඬන්නාවූද, වැළපෙන්නාවූද, තොපගේ යම් කඳුලක් වේද, එයම ඉතා අධිකවේ. සතර මහා සාගරයෙහි දිය අධික නොවේමය. මහණෙනි, බොහෝ කලක් මුළුල්ලෙහි නෑයන්ගේ විනාශයෙන්වූ දුක විඳින ලදී. නෑයන්ගේ මරණයෙන්වූ දුක විඳින්නාවූ, අමනාපයන් හා සමග එක්වීමෙන්, මනාපයන්ගෙන් වෙන්වීමෙන්, හඬන්නාවූද, වැළපෙන්නාවූද, තොපගේ යම් කඳුලක් වේද, එයම ඉතා අධිකවේ. සතර මහා සාගරයෙහි දිය අධික නොවේමය. මහණෙනි, බොහෝකලක් මුළුල්ලෙහි වස්තූන්ගේ විනාශයෙන්වූ දුක විඳින ලදී. වස්තූන්ගේ විනාශයෙන්වූ දුක විඳින්නාවූ, අමනාපයන් හා සමග එක්වීමෙන්, මනාපයන්ගෙන්, වෙන්වීමෙන්, හඬන්නාවූද, වැළපෙන්නාවූද, තොපගේ යම් කඳුලක් වේද, එයම ඉතා අධිකවේ. සතර මහා සාගරයෙහි දිය අධික නොවේමය. මහණෙනි, බොහෝ කලක් මුළුල්ලෙහි රෝගයන් නිසාවූ විනාශය විඳින ලදී. රෝගයන් නිසාමවූ දුක විඳින්නාවූ, අමනාපයන් හා සමග එක්වීමෙන් මනාපයන්ගෙන් වෙන්වීමෙන්, හඬන්නාවූද, වැළපෙන්නාවූද තොපගේ යම් කඳුලක් වේද, එයම ඉතා අධිකවේ. සතර මහා සාගරයෙහි දිය අධික නොවේමය. ඊට හේතුව කවරේද? මහණෙනි, අවිජ්ජාවෙන් වැසුණු තණ්හාවෙන් බැඳුනු, ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ සත්වයන්ගේ මේ සංසාරය නොදක්නා ලද, අග ඇත්තේ වේද, මුල් කොනත් නොදකියිද, එහෙයිනි. මහණෙනි, මෙසේ තොප විසින් දුක් අනුභව කරන ලදී. දැඩි දුක් අනුභව කරන ලදී. ව්යසන අනුභව කරන ලදී. සොහොන් බිම තර කරන ලදී. මහණෙනි, සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුමය. නො ඇලීමට සුදුසුමය. ඔවුන්ගෙන් මිදීමට සුදුසුමය.
3. 1. 4.
ඛීර සූත්රය
267. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි, කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්යවතුන් වහන්සේ මෙය වදාළසේක:
මහණෙනි, අවිජ්ජාවෙන් වැසී, තණ්හාවෙන් බැඳී, ගමන් කරන්නාවූ, සැරිසරන්නාවූ, සත්වයන්ගේ මේ සංසාරය නොදක්නා ලද අග ඇත්තේය. මුල කොනත් නොපෙනෙන්නේය. මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද? මේ දීර්ඝ කාලය තුළ ඇවිදින ලද හැසිරෙන ලද, තොප විසින් පානය කරන ලද යම් මව් කිරක් වේද, සතර මහා සාගරයෙහි යම් දියක් වේද, මේ දෙකින් කුමක් වනාහි ඉතා අධික වේද?
“ස්වාමීනි, අපි වනාහි භාග්යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද පරිදි ධර්මය දනිමු, ස්වාමීනි, අප විසින් මේ දීර්ඝ කාලය තුළ ඇවිදින ලද හැසිරෙන ලද පානය කරන ලද යම් මව් කිරක් වේද, මෙයම ඉතා අධිකවේ. සතර මහා සාගරයෙහි ජලය අධික නොවේමය.”
මහණෙනි, යහපති! යහපති!! මහණෙනි, මා විසින් දේශනා කරන ලද ධර්මය තොපි එසේ දන්නහුය. මහණෙනි, මේ දීර්ඝ කාලයෙහි ඇවිදින ලද හැසිරෙන ලද තොප විසින් පානය කරන ලද, යම් මව් කිරක් වේද, එයම ඉතා අධිකවේ. සතර මහා සාගරයෙහි ජලය අධික නොවේමය. ඊට හේතුව කවරේද? මහණෙනි, අවිජ්ජාවෙන් වැසුණු, තණ්හාවෙන් බැඳුනු, ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ, සත්වයන්ගේ මේ සංසාරය නොදක්නා ලද අග ඇත්තේ වේද, මුල් කොනත් නොදකියිද, එහෙයිනි. මහණෙනි, මෙසේ තොප විසින් දුක් අනුභව කරන ලදී. දැඩි දුක් අනුභව කරන ලදී. ව්යසන අනුභව කරනලදී. සොහොන් බිම තරකරන ලදී. මහණෙනි, මේ සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුමය. නො ඇලීමට සුදුසුමය. ඔවුන්ගෙන් මිදීමට සුදුසුමය.
3. 1. 5.
පබ්බත සූත්රය
268. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක.
ඉක්බිති එක්තරා භික්ෂුවක් භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේට වැඳ, එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ, ඒ භික්ෂුව භාග්යවතුන් වහන්සේට මෙය කීයේය. “ස්වාමීනි, කල්පය වනාහි කොතරම් දීර්ඝවේද?”
“මහණෙනි, කල්පය වනාහි දීර්ඝය. එය මෙතෙක් අවුරුදුය කියා හෝ මෙතෙක් අවුරුදු සියයක්ය කියා හෝ මෙතෙක් අවුරුදු දහසක්ය කියා හෝ මෙතෙක් අවුරුදු ලක්ෂයක්ය හෝ කියා ගණන් කිරීමට පහසු නොවේ. “ස්වාමීනි, උපමාවක් දේශනා කිරීමට හැක්කේද?” “මහණ, හැකියයි” භාග්යවතුන්වහන්සේ වදාළසේක. “මහණ, යම්සේ වනාහි දිගින් යොදුනක් ඇති, පුළුලින් යොදුනක් ඇති, උසින් යොදුනක් ඇති, පලුදු රහිතවූ, සිදුරු රහිතවූ, ඒකඝනවූ, මහා ගල් පර්වතයක් වේද, ඒ ගල් පර්වතය පුරුෂයෙක් අවුරුදු සියයකට සියයකට වරක් කසී සලුවකින් පිරිමදින්නේ වේද, මහණ, මේ ආකාරයෙන් ඒ මහා ගල් පර්වතය ගෙවීමට කෙළවරවීමට යන්නේය. කල්පය කෙළවර නොවන්නේය.
“මහණ, කල්පය වනාහි මෙසේ දීර්ඝය. මහණ මෙසේ දීර්ඝවූ කල්පයන්ගෙන් නොයෙක් කල්ප සැරිසරන ලද්දේය. නොයෙක් කල්ප සියගණන් සැරිසරන ලද්දේය. නොයෙක් කල්ප දහස්ගණන් සැරිසරන ලද්දේය. නොයෙක් කල්ප ලක්ෂගණන් සැරිසරන ලද්දේය. ඊට හේතුව කවරේද? මහණෙනි, අවිජ්ජාවෙන් වැසුණු, තණ්හාවෙන් බැඳුනු, ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ, සත්වයන්ගේ මේ සංසාරය නොදක්නා ලද අග ඇත්තේ වේද, මුල් කොනත් නො දකියිද, එහෙයිනි. මහණෙනි, මෙසේ තොප විසින් දුක් අනුභව කරන ලදී. දැඩි දුක් අනුභව කරන ලදී. ව්යසන අනුභව කරන ලදී. සොහොන් බිම තරකරන ලදී. මහණෙනි, මේ සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුමය. නො ඇලීමට සුදුසුමය. ඔවුන්ගෙන් මිදීමට සුදුසුමය.