3. 1. 1.
තිණකට්ඨ සූත්රය
264. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී, භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි, කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්යවතුන්වහන්සේට උත්තර දුන්හ. භාග්යවතුන්වහන්සේ මෙය වදාළසේක:
මහණෙනි, අවිජ්ජාවෙන් වැසී තණ්හාවෙන් බැඳී ගමන් කරන්නාවූ සැරිසරන්නාවූ සත්වයන්ගේ මේ සංසාරය නොදක්නා ලද අග (කෙළවර) ඇත්තේය. පූර්ව කෙළවරක් නොපෙනෙන්නේය. මහණෙනි, යම්සේ වනාහි පුරුෂයෙක් මේ දඹදිව යම්තාක් තණ, ලී දඬු, අතු සහ කොළ වේද, (ඒ සියල්ල) කපා එක් තැනකට රැස්කරන්නේ වේද, රැස්කොට සතරඟුල් සතරඟුල් කෑලි කපා ‘මේ මාගේ මවය. මේ මාගේ මවුගේ මවය’යි කියා තබන්නේ වේද. මහණෙනි, ඒ පුරුෂයාගේ මවුගේ මවුවරු කෙළවරක් නොවෙත්. එහෙත් මේ දඹදිව තණ, ලී දඬු, අතු, කොළ, කෙළවර වන්නේය. අවසාන වන්නේය. ඊට හේතුව කවරේද? මහණෙනි, අවිජ්ජාවෙන් වැසුනු තණ්හාවෙන් බැඳුණු ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ සත්වයාගේ මේ සංසාරය නොදක්නා ලද, කෙළවර ඇත්තේ වේද, පූර්ව කෙළවරක් නොපෙනෙයිද එහෙයිනි.
මහණෙනි, මෙසේ තොප විසින් බොහෝ කලක් මුළුල්ලෙහි දුක් අනුභව කරනලදී. දැඩි දුක් අනුභව කරන ලදී. ව්යසන අනුභව කරන ලදී සොහොන් බිම තර කරන ලදී. මහණෙනි, මේ සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුමය. නො ඇලීමට සුදුසුමය. ඔවුන්ගෙන් මිදීමට සුදුසුමය.
3. 1. 2.
පඨවි සූත්රය
265. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී, භාග්යවතුන්වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්යවතුන් වහන්සේ මෙය වදාළසේක:
මහණෙනි, අවිජ්ජාවෙන් වැසී, තණ්හාවෙන් බැඳී, ගමන් කරන්නාවූ, සැරිසරන්නාවූ, සත්වයන්ගේ මේ සංසාරය නොදක්නා ලද අග (කෙළවර) ඇත්තේය. මුල් කොනත් නොපෙනෙන්නේය. මහණෙනි, යම්සේ වනාහි පුරුෂයෙක් මේ මහ පොළොව ඩෙබර ඇට ඩෙබර ඇට පමණ ගුළිකොට, “මේ මාගේ පියාය, මේ ඔහුගේ පියායයි” කියා එක් තැනක තබන්නේ වේද, මහණෙනි, ඒ පුරුෂයාගේ පියවරුන්ගේ පියවරු කෙළවරට නොපැමිණෙත්. එහෙත් මේ මහ පොළොව කෙළවරවීමට, අවසානවීමට යන්නේය. ඊට හේතුව කවරේද? මහණෙනි, අවිජ්ජාවෙන් වැසුණු, තණ්හාවෙන් බැඳුණු, ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ, සත්වයන්ගේ මේ සංසාරය නොදක්නා ලද අග ඇත්තේ වේද, මුල් කොනත් නොදකියිද, එහෙයිනි.
මහණෙනි, මෙසේ තොප විසින් දුක් අනුභව කරන ලදී. දැඩි දුක් අනුභව කරන ලදී. ව්යසන අනුභව කරන ලදී. සොහොන් බිම තරකරන ලදී. මහණෙනි, මේ සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුමය. නොඇලීමට සුදුසුමය. ඔවුන්ගෙන් මිදීමට සුදුසුමය.
3. 1. 3.
අස්සු සූත්රය
266. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසයකරන සේක. එහිදී, භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි, කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්යවතුන් වහන්සේ මෙය වදාළසේක:
මහණෙනි, අවිජ්ජාවෙන් වැසී, තණ්හාවෙන් බැඳී, ගමන් කරන්නාවූ, සැරිසරන්නාවූ, සත්වයන්ගේ මේ සංසාරය නොදක්නා ලද අග (කෙළවර) ඇත්තේය මුල් කොනත් නොපෙනෙන්නේය. මහණෙනි, තොප විසින් බොහෝ කලක් මුළුල්ලෙහි දුක් අනුභව කරන ලදී. මහණෙනි, කුමක් සිතන්නහුද? මේ දීර්ඝ කාලයෙහි ඇවිදින කල්හි සැරිසරන කල්හි අමනාප වූවන් හා සමග එක්වීමෙන් සහ මනාපවූවන්ගෙන් වෙන්වීමෙන් හඬන්නාවූ වැළපෙන්නාවූ තොපගෙන් ගැලු යම් කඳුලක් වේද, සතර මහා සාගරයෙහි යම් ජලයක් වේද, මේ දෙකින් කුමක් වනාහි වැඩිවේද?
“ස්වාමීනි, අපි වනාහි භාග්යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද පරිදි ධර්මය දනිමු. ස්වාමීනි, ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ මේ දීර්ඝ කාලයෙහි අමනාපවූවන් හා සමග එක්වීමෙන් සහ මනාපවූවන්ගෙන් වෙන්වීමෙන්, හඬන්නාවූ වැළපෙන්නාවූ අපගේ ගැලු යම් කඳුලක් වේද, එයම ඉතා අධිකවේ. සතර මහා සාගරයෙහි දිය අධික නොවේමය.
මහණෙනි, යහපති! යහපති!! මහණෙනි, තොප මා විසින් දේශනා කරන ලද පරිදි ධර්මය දැනගැනීම යහපත්ය. මහණෙනි, ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ මේ දීර්ඝ කාලයෙහි අමනාපවූවන් හා සමග එක්වීමෙන් හා මනාපවූවන් ගෙන් වෙන්වීමෙන්ද, හඬන්නාවූ, වැළපෙන්නාවූ තොපගේ ගැලු යම් කඳුලක් වේද, එයම ඉතා අධිකවේ. සතර මහා සාගරයෙහි දිය අධික නොවේමය. මහණෙනි, තොප විසින් බොහෝ කාලයක් මුළුල්ලෙහි මවගේ මරණයෙන්වූ දුක විඳින ලදී. මවගේ මරණයෙන්වූ දුක විඳින්නාවූ අමනාපයන් හා සමග එක්වීමෙන්, මනාපයන්ගෙන් වෙන්වීමෙන්, හඬන්නාවූද, වැළපෙන්නාවූද, තොපගේ යම් කඳුලක් වේද, එයම ඉතා අධිකවේ. සතර මහා සාගරයෙහි දිය අධික නොවේමය. මහණෙනි, තොප විසින් බොහෝ කලක් මුළුල්ලෙහි පියාගේ මරණයෙන් වූ දුක විඳින ලදී. පියාගේ මරණයෙන්වූ දුක විඳින්නාවූ, අමනාපයන් හා සමග එක්වීමෙන්, මනාපයන්ගෙන් වෙන්වීමෙන් හඬන්නාවූද වැළපෙන්නාවූද, තොපගේ යම් කඳුලක් වේද, එයම ඉතා අධිකවේ. සතර මහා සාගරයෙහි දිය අධික නොවේමය. මහණෙනි, තොප විසින් බොහෝ කලක් මුළුල්ලෙහි සහෝදරයාගේ මරණයෙන්වූ දුක විඳින ලදී. සහෝදරයාගේ මරණයෙන්වූ දුක විඳින්නාවූ, අමනාපයන් හා සමග එක්වීමෙන්, මනාපයන්ගෙන් වෙන්වීමෙන් හඬන්නාවූද, වැළපෙන්නාවූද තොපගේ යම් කඳුලක් වේද, එයම ඉතා අධික වේ. සතර මහා සාගරයෙහි දිය අධික නොවේමය. මහණෙනි, බොහෝ කලක් මුළුල්ලෙහි සහෝදරියගේ මරණයෙන්වූ දුක විඳින ලදී. සහෝදරියගේ මරණයෙන්වූ දුක විඳින්නාවූ, අමනාපයන් හා සමග එක්වීමෙන්, මනාපයන් ගෙන් වෙන්වීමෙන්, හඬන්නාවූද, වැළපෙන්නාවූද, තොපගේ යම් කඳුලක් වේද, එයම ඉතා අධිකවේ. සතර මහා සාගරයෙහි දිය අධික නොවේමය. මහණෙනි, බොහෝ කලක් මුළුල්ලෙහි පුත්රයාගේ මරණයෙන්වූ දුක විඳින ලදී. පුත්රයාගේ මරණයෙන්වූ දුක විඳින්නාවූ, අමනාපයන් හා සමග එක්වීමෙන්, මනාපයන්ගෙන් වෙන්වීමෙන්, හඬන්නාවූද, වැළපෙන්නාවූද, තොපගේ යම් කඳුලක් වේද, එයම ඉතා අධිකවේ. සතර මහා සාගරයෙහි දිය අධික නොවේමය. මහණෙනි, බොහෝ කලක් මුළුල්ලෙහි දුවගේ මරණයෙන්වූ දුක විඳින ලදී. දුවගේ මරණයෙන්වූ දුක විඳින්නාවූ, අමනාපයන් හා සමග එක්වීමෙන්, මනාපයන්ගෙන් වෙන්වීමෙන්, හඬන්නාවූද, වැළපෙන්නාවූද, තොපගේ යම් කඳුලක් වේද, එයම ඉතා අධිකවේ. සතර මහා සාගරයෙහි දිය අධික නොවේමය. මහණෙනි, බොහෝ කලක් මුළුල්ලෙහි නෑයන්ගේ විනාශයෙන්වූ දුක විඳින ලදී. නෑයන්ගේ මරණයෙන්වූ දුක විඳින්නාවූ, අමනාපයන් හා සමග එක්වීමෙන්, මනාපයන්ගෙන් වෙන්වීමෙන්, හඬන්නාවූද, වැළපෙන්නාවූද, තොපගේ යම් කඳුලක් වේද, එයම ඉතා අධිකවේ. සතර මහා සාගරයෙහි දිය අධික නොවේමය. මහණෙනි, බොහෝකලක් මුළුල්ලෙහි වස්තූන්ගේ විනාශයෙන්වූ දුක විඳින ලදී. වස්තූන්ගේ විනාශයෙන්වූ දුක විඳින්නාවූ, අමනාපයන් හා සමග එක්වීමෙන්, මනාපයන්ගෙන්, වෙන්වීමෙන්, හඬන්නාවූද, වැළපෙන්නාවූද, තොපගේ යම් කඳුලක් වේද, එයම ඉතා අධිකවේ. සතර මහා සාගරයෙහි දිය අධික නොවේමය. මහණෙනි, බොහෝ කලක් මුළුල්ලෙහි රෝගයන් නිසාවූ විනාශය විඳින ලදී. රෝගයන් නිසාමවූ දුක විඳින්නාවූ, අමනාපයන් හා සමග එක්වීමෙන් මනාපයන්ගෙන් වෙන්වීමෙන්, හඬන්නාවූද, වැළපෙන්නාවූද තොපගේ යම් කඳුලක් වේද, එයම ඉතා අධිකවේ. සතර මහා සාගරයෙහි දිය අධික නොවේමය. ඊට හේතුව කවරේද? මහණෙනි, අවිජ්ජාවෙන් වැසුණු තණ්හාවෙන් බැඳුනු, ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ සත්වයන්ගේ මේ සංසාරය නොදක්නා ලද, අග ඇත්තේ වේද, මුල් කොනත් නොදකියිද, එහෙයිනි. මහණෙනි, මෙසේ තොප විසින් දුක් අනුභව කරන ලදී. දැඩි දුක් අනුභව කරන ලදී. ව්යසන අනුභව කරන ලදී. සොහොන් බිම තර කරන ලදී. මහණෙනි, සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුමය. නො ඇලීමට සුදුසුමය. ඔවුන්ගෙන් මිදීමට සුදුසුමය.