2. 4. 5.
දුක්ඛ සූත්‍රය
258. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරනසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, මේ පඨවි ඒකාන්තයෙන් දුක් වූවක්, දුකින් පෙළුණක්, දුකට බැසගන්නා ලද්දක්, සැපයෙන් බැස නොගන්නා ලද්දක් වීනම් සත්වයෝ මේ පඨවි ධාතුවෙහි නොඇලෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් වනාහි පඨවි ධාතුව සැප වූවක්, සැපයෙන් යුක්ත වූවක්, සැපයෙන් බැස ගන්නා ලද්දක්, දුකින් බැස නොගන්නා ලද්දක් වූයේ නම් මේ සත්වයෝ පඨවි ධාතුවෙහි ඇලෙත්. “මහණෙනි, මේ ආපෝ ධාතුවද වනාහි ඒකාන්තයෙන් දුක් වූවක්, දුකින් යුක්ත වූවක්, දුකින් බැසගන්නා ලද්දක්, සැපයෙන් බැස නොගන්නා ලද්දක් නම් සත්වයෝ මේ ආපෝධාතුවෙහි නොඇලෙන්නාහුය. මහණෙනි, යම්හෙයකින් වනාහි ආපෝ ධාතුව සැප වූවක්, සැපයෙන් යුක්ත වූවක්, සැපයෙන් බැසගන්නා ලද්දක්, දුකින් බැස නොගන්නා ලද්දක් වේද, එනිසා සත්වයෝ ආපෝ ධාතුවෙහි ඇලෙත්. “මහණෙනි, මේ තේජෝ ධාතුවද වනාහි ඒකාන්තයෙන් දුක් වූවක්, දුකින් යුක්ත වූවක්, දුකින් බැස ගන්නා ලද්දක්, සැපයෙන් බැස නොගන්නා ලද්දක් නම් සත්වයෝ මේ තේජෝ ධාතුවෙහි නොඇලෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් වනාහි තේජෝධාතුව සැපවූවක්, සැපයෙන් යුක්තවූවක්, සැපයෙන් බැසගන්නාලද්දක් දුකින් බැසනොගන්නා ලද්දක් වේද, එනිසා සත්වයෝ තේජෝ ධාතුවෙහි ඇලෙත්. “මහණෙනි, මේ වායෝ ධාතුවද වනාහි ඒකාන්තයෙන් දුක් වූවක්, දුකින් යුක්තවූවක්, දුකින් බැසගන්නා ලද්දක්, සැපයෙන් බැස නොගන්නා ලද්දක් නම් සත්වයෝ මේ වායෝ ධාතුවෙහි නොඇලෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් වනාහි වායෝ ධාතුව සැප වූවක්, සැපයෙන් යුක්තවූවක්, සැපයෙන් බැසගන්නා ලද්දක්, දුකින් බැස නොගන්නා ලද්දක් වේද, එනිසා සත්වයෝ වායෝ ධාතුවෙහි ඇලෙත්.
“මහණෙනි, මේ පඨවි ධාතුවද ඒකාන්තයෙන් සැප වූවක්, සැපයෙන් යුක්තවූවක්, සැපයෙන් බැසගන්නා ලද්දක්, දුකින් බැස නොගන්නා ලද්දක් වූයේ නම් සත්වයෝ මේ පඨවි ධාතුවෙහි නො කලකිරෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් වනාහි පඨවි ධාතුව දුක්වූවක්, දුකින් යුක්ත වූවක්, දුකින් බැසගන්නා ලද්දක්, සැපයෙන් බැස නොගන්නා ලද්දක් වේද, එනිසා සත්වයෝ පඨවි ධාතුවෙහි කලකිරෙත්. ‘මහණෙනි, මේ ආපෝ ධාතුවද වනාහි ඒකාන්තයෙන් සැපවූවක්, සැපයෙන් යුක්තවූවක්, සැපයෙන් බැස ගන්නා ලද්දක්, දුකින් බැස නොගන්නා ලද්දක් නම් සත්වයෝ මේ ආපෝ ධාතුවෙහි නො කලකිරෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් වනාහි ආපෝ ධාතුව දුක් වූවක්, දුකින් යුක්ත වූවක්, දුකින් බැස ගන්නා ලද්දක්, සැපයෙන් බැස නොගන්නා ලද්දක් වේද, එනිසා සත්වයෝ ආපෝ ධාතුවෙහි කලකිරෙත්. “මහණෙනි, මේ තේජෝධාතුවද වනාහි ඒකාන්තයෙන් සැපවූවක්, සැපයෙන් යුක්තවූවක්, සැපයෙන් බැසගන්නා ලද්දක්, දුකින් බැසනොගන්නා ලද්දක් නම් සත්වයෝ මේ තේජෝ ධාතුවෙහි නො කලකිරෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් වනාහි තේජෝ ධාතුව දුක්වූවක්, දුකින් යුක්ත වූවක්, දුකින් බැස ගන්නා ලද්දක්, සැපයෙන් බැස නොගන්නා ලද්දක් වේද, එනිසා සත්වයෝ තේජෝ ධාතුවෙහි කලකිරෙත්. “මහණෙනි, මේ වායෝධාතුවද වනාහි ඒකාන්තයෙන් සැපවූවක්, සැපයෙන් යුක්තවූවක් සැපයෙන් බැසගන්නා ලද්දක්, දුකින් බැස නොගන්නා ලද්දක් නම් සත්වයෝ මේ වායෝ ධාතුවෙහි නො කලකිරෙන්නාහුය මහණෙනි, යම් හෙයකින් වනාහි වායෝ ධාතුව දුක් වූවක්, දුකින් යුක්ත වූවක්, දුකින් බැසගන්නා ලද්දක්, සැපයෙන් බැස නොගන්නා ලද්දක් වේද, එනිසා සත්වයෝ වායෝ ධාතුවෙහි කලකිරෙත්.”
2. 4. 6.
අභිනන්දන සූත්‍රය
259. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරනසේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තරදුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, යමෙක් පඨවි ධාතුවට සතුටු වෙයිද, හෙතෙම දුකට සතුටු වෙයි. යමෙක් දුකට සතුටු වෙයිද, හෙතෙම දුකින් නොමිදුනේයයි කියමි. “යමෙක් අපෝ ධාතුවට සතුටුවෙයිද, හෙතෙම දුකට සතුටු වෙයි. යමෙක් දුකට සතුටු වෙයිද, හෙතෙම දුකින් නොමිදුනේයයි කියමි. “යමෙක් තේජෝ ධාතුවට සතුටු වෙයිද, හෙතෙම දුකට සතුටු වෙයි. යමෙක් දුකට සතුටු වෙයිද, හෙතෙම දුකින් නොමිදුනේයයි කියමි. “යමෙක් වායෝ ධාතුවට කැමති වෙයිද, හෙතෙම දුකට සතුටු වෙයි. යමෙක් දුකට සතුටු වෙයිද, හෙතෙම දුකින් නොමිදුනේයයි කියමි.”
“මහණෙනි, යමෙක් පඨවි ධාතුවට සතුටු නොවෙයිද, හෙතෙම දුකට සතුටු නොවෙයි. යමෙක් දුකට සතුටු නොවෙයිද, හෙතෙම දුකින් මිදුනේයයි කියමි. “මහණෙනි, යමෙක් ආපෝ ධාතුවට සතුටු නොවෙයිද, හෙතෙම දුකට සතුටු නොවෙයි. යමෙක් දුකට සතුටු නොවෙයිද, හෙතෙම දුකින් මිදුනේයයි කියමි. “මහණෙනි, යමෙක් තේජෝ ධාතුවට සතුටු නොවෙයිද, හෙතෙම දුකට සතුටු නොවෙයි. යමෙක් දුකට සතුටු නොවෙයිද, හෙතෙම දුකින් මිදුනේයයි කියමි. “මහණෙනි, යමෙක් වායෝ ධාතුවට සතුටු නොවෙයිද, හෙතෙම දුකට සතුටු නොවෙයි. යමෙක් දුකට සතුටු නොවෙයිද, හෙතෙම දුකින් මිදුනේයයි කියමි.
2. 4. 7.
උප්පාද සූත්‍රය
260. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසයකරනසේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන්වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, පඨවි ධාතුවෙහි යම් හටගැන්මක්, සිටීමක්, ඉපදීමක්, පහළවීමක් වේද, එය දුක්ඛයාගේ ඉපදීමයි. රෝගයන්ගේ සිටීමයි. ජරාමරණයාගේ පහළවීමයි. “ආපෝ ධාතුවෙහි යම් හටගැන්මක්, සිටීමක්, ඉපදීමක්, පහළවීමක් වේද, මෙය දුක්ඛයාගේ ඉපදීමයි. රෝගයන්ගේ සිටීමයි. ජරාමරණයාගේ පහළවීමයි. “තේජෝ ධාතුවෙහි යම් හටගැන්මක්, සිටීමක්, ඉපදීමක්, පහළවීමක් වේද, මෙය දුක්ඛයාගේ ඉපදීමයි. රෝගයන්ගේ සිටීමයි. ජරාමරණයාගේ පහළවීමයි. “වායෝ ධාතුවෙහි යම් හටගැන්මක්, සිටීමක්, ඉපදීමක්, පහළවීමක් වේද, මෙය දුක්ඛයාගේ ඉපදීමයි. රෝගයන්ගේ සිටීමයි. ජරාමරණයාගේ පහළවීමයි.
“මහණෙනි, පඨවි ධාතුවෙහි වනාහි යම් නැතිවීමක් (නිරෝධයක්), සංසිඳීමක්, විනාශවීමක් වේද, මෙයද දුක්ඛයාගේ නැතිවීමයි. (නිරෝධයයි.) රෝගයන්ගේ සංසිඳීමයි. ජරාමරණයාගේ විනාශයයි. “ආපෝ ධාතුවෙහි යම් නැතිවීමක් (නිරෝධයක්), සංසිඳීමක්, විනාශවීමක් වේද, මෙයද දුක්ඛයාගේ නැතිවීමයි. (නිරෝධයයි.) රෝගයන්ගේ සංසිඳීමයි. ජරාමරණයාගේ විනාශයයි. “තේජෝ ධාතුවෙහි යම් නැතිවීමක් (නිරෝධයක්), සංසිඳීමක්, විනාශවීමක් වේද, මෙයද දුක්ඛයාගේ නැතිවීමයි. (නිරෝධයයි.) රෝගයන්ගේ සංසිඳීමයි. ජරාමරණයාගේ විනාශයයි. “වායෝ ධාතුවෙහි යම් නැතිවීමක් (නිරෝධයක්), සංසිඳීමක්, විනාශවීමක් වේද, මෙයද දුක්ඛයාගේ නැතිවීමයි. (නිරෝධයයි.) රෝගයන්ගේ සංසිඳීමයි. ජරාමරණයාගේ විනාශයයි.”
2. 4. 8.
සමණ බ්‍රාහ්මණ සූත්‍රය
261. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරනසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, මේ ධාතු සතරදෙනෙකි. (ඒ) සතර කවරේද? පඨවිධාතුව, ආපෝධාතුව, තේජෝධාතුව සහ වායෝධාතුවයි.
“මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මේ සතරධාතූන්ගේ අස්සාදයද, ආදීනවද, නිස්සරණයද, ඇතිසේ නොදනිත්ද, මහණෙනි, මේ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණ සම්මතද, බ්‍රාහ්මණයන් කෙරෙහි බ්‍රාහ්මණ සම්මතද නොවෙති. ඒ ආයුෂ්මත්හු වනාහි ශ්‍රමණාර්ථය හෝ බ්‍රාහ්මණාර්ථය හෝ මේ ආත්මයෙහිදීම තෙමේ දැන, ප්‍රත්‍යක්ෂකොට, ඊට පැමිණ වාසය නොකෙරෙත්.