2. 4. 3.
අචරි සූත්‍රය
256. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි, වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, මම පඨවි ධාතුවේ අස්සාදය (රසවිඳීම) සෙවීමෙහි හැසුරුනෙමි. පඨවි ධාතුවේ යම් අස්සාදයක්වීද, එය අවබෝධ කෙළෙමි. යම්තාක් පඨවි ධාතුවේ අස්සාදයක් වේද, මාගේ ප්‍රඥාවෙන් එය දක්නාලදී. මහණෙනි, මම පඨවි ධාතුවේ ආදීනව (දෝෂ) සෙවීමෙහි හැසුරුනෙමි. පඨවි ධාතුවේ යම් ආදීනවයක් වේද, එය අවබෝධ කෙළෙමි. යම්තාක් පඨවි ධාතුවේ ආදීනවයක් වේද, (ඒ තාක්) මාගේ ප්‍රඥාවෙන් එය දැනගන්නා ලදී. මහණෙනි, මම පඨවි ධාතුවේ නිස්සරණය (නිදහස්වීම) සෙවීමෙහි හැසුරුනෙමි. පඨවි ධාතුවේ යම් නිස්සරණයක් වීද, එය අවබෝධ කෙළෙමි. යම් තාක් පඨවි ධාතුවේ නිස්සරණයක් වේද, මාගේ ප්‍රඥාවෙන් එය දැන ගන්නා ලදී.
“මහණෙනි, මම ආපෝ ධාතුවේ අස්සාදය සෙවීමෙහි හැසුරුනෙමි. ආපෝ ධාතුවේ යම් අස්සාදයක් වේද, එය අවබෝධ කෙළෙමි. යම්තාක් ආපෝධාතුවේ අස්සාදයක් වීද, (ඒතාක්) මාගේ ප්‍රඥාවෙන් එය දක්නාලදී. මහණෙනි, මම ආපෝ ධාතුවේ ආදීනව සෙවීමෙහි හැසුරුනෙමි. ආපෝ ධාතුවේ යම් ආදීනවයක් වේද, එය අවබෝධ කෙළෙමි. යම්තාක් ආපෝ ධාතුවේ ආදීනවයක් වේද, (ඒතාක්) මාගේ ප්‍රඥාවෙන් එය දැනගන්නාලදී. මහණෙනි, මම ආපෝ ධාතුවේ නිස්සරණය සෙවීමෙහි හැසුරුනෙමි. ආපෝ ධාතුවේ යම් නිස්සරණයක්වීද, එය අවබෝධ කෙළෙමි. යම්තාක් ආපෝ ධාතුවේ යම් නිස්සරණයක් වේද, (ඒතාක්) මාගේ ප්‍රඥාවෙන් එය දැනගන්නාලදී. “මහණෙනි, මම තේජෝ ධාතුවේ අස්සාදය සෙවීමෙහි හැසුරුනෙමි. තේජෝ ධාතුවෙහි යම් අස්සාදයක් වේද, එය අවබෝධ කෙළෙමි. යම්තාක් තේජෝ ධාතුවේ අස්සාදයක් වීද, (ඒතාක්) මාගේ ප්‍රඥාවෙන් එය දක්නාලදී. මහණෙනි, මම තේජෝ ධාතුවේ ආදීනව සෙවීමෙහි හැසුරුනෙමි. තේජෝ ධාතුවේ යම් ආදීනවයක් වේද, එය අවබෝධ කෙළෙමි. යම්තාක් තේජෝ ධාතුවේ ආදීනවයක් වේද, (ඒතාක්) මාගේ ප්‍රඥාවෙන් එය දැනගන්නාලදී. මහණෙනි, මම තේජෝ ධාතුවේ නිස්සරණය සෙවීමෙහි හැසුරුනෙමි. තේජෝධාතුවේ යම් නිස්සරණයක් වීද, එය අවබෝධ කෙළෙමි. යම්තාක් තේජෝ ධාතුවේ නිස්සරණයක් වේද, (ඒතාක්) මාගේ ප්‍රඥාවෙන් එය දැනගන්නාලදී. “මහණෙනි, මම වායෝ ධාතුවේ අස්සාදය සෙවීමෙහි හැසුරුනෙමි. වායෝ ධාතුවේ යම් අස්සාදයක් වේද, එය අවබෝධ කෙළෙමි. යම්තාක් වායෝ ධාතුවේ අස්සාදයක් වීද, (ඒතාක්) මාගේ ප්‍රඥාවෙන් එය දක්නාලදී. මහණෙනි, මම වායෝ ධාතුවේ ආදීනව සෙවීමෙහි හැසුරුනෙමි. වායෝ ධාතුවේ යම් ආදීනවයක් වේද, එය අවබෝධ කෙළෙමි. යම්තාක් වායෝ ධාතුවේ ආදීනවයක් වේද, (ඒතාක්) මාගේ ප්‍රඥාවෙන් එය දැනගන්නාලදී. මහණෙනි, මම වායෝ ධාතුවේ නිස්සරණය සෙවීමෙහි හැසුරුනෙමි. වායෝ ධාතුවේ යම් නිස්සරණයක් වීද, එය අවබෝධ කෙළෙමි. යම්තාක් වායෝ ධාතුවේ නිස්සරණයක් වේද, (ඒතාක්) මාගේ ප්‍රඥාවෙන් එය දැනගන්නාලදී.
“මහණෙනි, මම යම්තාක් කල් මේ සතර ධාතූන්ගේ අස්සාදය අස්සාදය වශයෙන්ද, ආදීනව ආදීනව වශයෙන්ද, නිස්සරණය නිස්සරණය වශයෙන්ද, ඇතිසේ දැන නොගත්තෙම්ද, මහණෙනි, ඒතාක් මම දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, මහණ බමුණන් සහිත, දෙවිමිනිසුන් සහිත, ප්‍රජාව සහිත, ලෝකයෙහි අතිඋතුම් සම්‍යක් සම්බෝධියට නොපැමිණියෙම්යයි දැනනොගත්තෙමි.
මහණෙනි, යම් තැනක පටන් මම මේ සතර ධාතූන්ගේ අස්සාදය අස්සාදය වශයෙන්ද, ආදීනව ආදීනව වශයෙන්ද, නිස්සරණය නිස්සරණය වශයෙන්ද, ඇතිසේ දැනගත්තෙම්ද, මහණෙනි, ඉක්බිති, මම දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, මහණ බමුණන් සහිත, ප්‍රජාව සහිත, ලෝකයෙහි අතිඋතුම් සම්‍යක් සම්බෝධියට පැමිණියෙම්යයි දැනගත්තෙමි. මාහට ප්‍රත්‍යවෙක්ෂා ඥානයෙන් දැකීම්ද පහළවිය. මාගේ අර්හත්ඵල සමාධිය කම්පා නොකළ හැකිය යන ඥානය පහළවිය. මේ අන්තිම ජාතියයි. දැන් නැවත ඉපදීමක් නැත්තේය.”
2. 4. 4.
නොවෙදං සූත්‍රය
257. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසයකරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, ඉදින් මේ පඨවි ධාතුවෙහි අස්සාදයක් (රස විඳීමක්) නැත්තේ නම් සත්වයෝ මේ පඨවි ධාතුවෙහි නො ඇලෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් වනාහි පඨවි ධාතුවෙහි අස්සාදයක් ඇත්තේ වේද, එනිසා සත්වයෝ පඨවි ධාතුවෙහි ඇලෙති. මහණෙනි, ඉදින් මේ පඨවි ධාතුවෙහි ආදීනවයක් (දෝෂයක්) නැත්තේ නම් මේ සත්වයෝ පඨවි ධාතුවෙහි නොකලකිරෙන්නාහුය මහණෙනි, යම් හෙයකින් වනාහි පඨවි ධාතුවෙහි ආදීනවයක් ඇත්තේ වේද, එනිසා සත්වයෝ පඨවි ධාතුවෙහි කලකිරෙති. මහණෙනි, ඉදින් මේ පඨවි ධාතුවෙහි නිස්සරණයක් (නිදහස්වීමක්) නොවූයේ නම් සත්වයෝ පඨවි ධාතුවෙන් නික්ම නොයන්නාහුය. මහණෙනි, යම් හෙයකින් වනාහි පඨවි ධාතුවෙහි නිස්සරණය ඇත්තේ වේද, එනිසා සත්වයෝ පඨවි ධාතුවෙන් නික්ම යෙති.
“මහණෙනි, ඉදින් මේ ආපෝ ධාතුවෙහි අස්සාදයක් නොවූයේ නම් සත්වයෝ මේ ආපෝ ධාතුවෙහි නොඇලෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් වනාහි ආපෝ ධාතුවෙහි අස්සාදයක් ඇත්තේ වේද, එනිසා සත්වයෝ ආපෝ ධාතුවෙහි ඇලෙති. මහණෙනි, ඉදින් මේ ආපෝ ධාතුවෙහි ආදීනව නොවූයේ නම් මේ සත්වයෝ ආපෝ ධාතුවෙහි නොකලකිරෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් වනාහි ආපෝ ධාතුවෙහි ආදීනව ඇත්තේ වේද, එනිසා සත්වයෝ ආපෝ ධාතුවෙහි කලකිරෙති. මහණෙනි, ඉදින් මේ ආපෝ ධාතුවෙහි නිස්සරණයක් නොවූයේ නම් සත්වයෝ මේ ආපෝ ධාතුවෙන් නිදහස් නොවෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් වනාහි ආපෝ ධාතුවෙහි නිස්සරණයක් ඇත්තේ වේද එනිසා සත්වයෝ ආපෝ ධාතුවෙන් නිදහස් වෙති. “මහණෙනි, ඉදින් මේ තේජෝ ධාතුවෙහි අස්සාදයක් නොවූයේ නම් සත්වයෝ මේ තේජෝ ධාතුවෙහි නොඇලෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් වනාහි තේජෝ ධාතුවෙහි අස්සාදයක් ඇත්තේ වේද, එනිසා සත්වයෝ තේජෝ ධාතුවෙහි ඇලෙති. මහණෙනි, ඉදින් මේ තේජෝ ධාතුවෙහි ආදීනව නොවූයේ නම් මේ සත්වයෝ තේජෝ ධාතුවෙහි නොකලකිරෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් වනාහි තේජෝ ධාතුවේ ආදීනව ඇත්තේ වේද, එනිසා සත්වයෝ තේජෝ ධාතුවෙහි කලකිරෙයි. මහණෙනි, ඉදින් තේජෝ ධාතුවෙහි නිස්සරණයක් නොවූයේ නම් සත්වයෝ මේ තේජෝ ධාතුවෙන් නිදහස් නොවන්නාහුය. මහණෙනි, යම් හෙයකින් වනාහි තේජෝ ධාතුවෙහි නිස්සරණයක් ඇත්තේ වේද, එනිසා සත්වයෝ තේජෝ ධාතුවෙන් නිදහස් වෙති. “මහණෙනි, ඉදින් මේ වායෝ ධාතුවෙහි අස්සාදයක් නොවූයේ නම් සත්වයෝ මේ වායෝ ධාතුවෙහි නොඇලෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් වනාහි වායෝ ධාතුවෙහි අස්සාදයක් ඇත්තේ වේද, එනිසා සත්වයෝ වායෝධාතුවෙහි ඇලෙති. මහණෙනි, ඉදින් මේ වායෝ ධාතුවෙහි ආදීනව නොවූයේ නම් මේ සත්වයෝ වායෝ ධාතුවෙහි නොකලකිරෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් වනාහි වායෝ ධාතුවේ ආදීනව ඇත්තේ වේද, එනිසා සත්වයෝ වායෝ ධාතුවෙහි කලකිරෙති. මහණෙනි, ඉදින් මේ වායෝ ධාතුවෙහි නිස්සරණයක් නොවූයේ නම් සත්වයෝ මේ වායෝ ධාතුවෙන් නිදහස් නොවන්නාහුය. මහණෙනි, යම් හෙයකින් වනාහි වායෝ ධාතුවෙහි නිස්සරණයක් ඇත්තේ වේද, එනිසා සත්වයෝ වායෝ ධාතුවෙන් නිදහස් වෙති.