2. 4. 10.
සමණ බ්රාහ්මණ සූත්රය
263. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි, කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, යම්කිසි ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ හෝ පඨවි ධාතුව නොදනිත්ද, පඨවිධාතුව ඇතිවීමේ හේතුව නොදනිත්ද, පඨවිධාතුවේ නැතිවීම නොදනිත්ද, පඨවි ධාතුව නැති කිරීමට ගමන් කළයුතු මාර්ගය නොදනිත්ද, ආපෝධාතුව නොදනිත්ද, ආපෝධාතුව ඇතිවීමට හේතුව නොදනිත්ද, ආපෝධාතුවේ නැතිවීම නොදනිත්ද, ආපෝධාතුව නැති කිරීමට ගමන් කළයුතු මාර්ගය නොදනිත්ද, තේජෝ ධාතුව නොදනිත්ද, තේජෝධාතුව ඇතිවීමට හේතුව නොදනිත්ද, තේජෝධාතුවේ නැතිවීම නොදනිත්ද, තේජෝ ධාතුව නැතිකිරීමට ගමන්කළයුතු මාර්ගය නොදනිත්ද, වායෝ ධාතුව නොදනිත්ද, වායෝධාතුව ඇතිවීමට හේතුව නොදනිත්ද, වායෝධාතුවේ නැතිවීම නොදනිත්ද, වායෝධාතුව නැතිකිරීමට ගමන්කළයුතු මාර්ගය නොදනිත්ද, “මහණෙනි, ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ හෝ ශ්රමණයන් කෙරෙහි ශ්රමණ සම්මතද, බ්රාහ්මණයන් කෙරෙහි බ්රාහ්මණ සම්මතද නොවෙත්. ඒ ආයුෂ්මත්හු වනාහි ශ්රමණ භාවයේ ඵලය හෝ බ්රාහ්මණ භාවයේ ඵලය හෝ මේ ආත්ම භාවයෙහිදීම තෙමේ දැන, ප්රත්යක්ෂකොට, ඊට පැමිණ, වාසය නොකෙරෙත්.
“මහණෙනි, යම්කිසි ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ හෝ පඨවි ධාතුව දනිත්ද, පඨවි ධාතුව දනිත්ද, පඨවි ධාතුව ඇතිවීමේ හේතුව දනිත්ද පඨවිධාතුවේ නැතිවීම දනිත්ද, පඨවිධාතුව නැති කිරීමට ගමන් කළයුතු මාර්ගය දනිත්ද, ආපෝධාතුව දනිත්ද, ආපෝධාතුව ඇතිවීමට හේතුව දනිත්ද, ආපෝධාතුවේ නැති වීම දනිත්ද ආපෝධාතුව නැතිකිරීමට ගමන් කළයුතු මාර්ගය දනිත්ද, තේජෝධාතුව දනිත්ද, තේජෝධාතුව ඇතිවීමට හේතුව දනිත්ද, තේජෝධාතුවේ නැතිවීම දනිත්ද, තේජෝ ධාතුව නැතිකිරීමට ගමන්කළයුතු මාර්ගය දනිත්ද, වායෝ ධාතුව දනිත්ද, වායෝධාතුව ඇතිවීමට හේතුව දනිත්ද, වායෝධාතුවේ නැතිවීම දනිත්ද, වායෝධාතුව නැතිකිරීමට ගමන් කළයුතු මාර්ගය දනිත්ද, “මහණෙනි, මේ ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ හෝ ශ්රමණයන් කෙරෙහි ශ්රමණ සම්මතද, බ්රාහ්මණයන් කෙරෙහි බ්රාහ්මණ සම්මද වෙත්. ඒ ආයුෂ්මත්හු වනාහි ශ්රමණභාවයේ ඵලය හෝ බ්රාහ්මණ භාවයේ ඵලය හෝ මේ ආත්මභාවයෙහිදීම තෙමේ දැන, ප්රත්යක්ෂකොට, ඊට පැමිණ, වාසය කෙරෙත්.
චතු ධාතු වර්ගය නිමි.
උද්දානය:
චතු සූත්රයද, පුබ්බ සූත්රයද, අචරි සූත්රයද, නොවෙදං සූත්රයද, දුක්ඛ සූත්රයද, අභිනන්දන සූත්රයද, උප්පාද සූත්රය සහ සමණ බ්රාහ්මණ සූත්ර තුනදැයි මේ වර්ගයෙහි සූත්ර දසයකි.
ධාතු සංයුක්තය නිමි.
3. අනමතග්ගසංයුත්තය
1. ප්රථම වර්ගය
3. 1. 1.
තිණකට්ඨ සූත්රය
264. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී, භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි, කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්යවතුන්වහන්සේට උත්තර දුන්හ. භාග්යවතුන්වහන්සේ මෙය වදාළසේක:
මහණෙනි, අවිජ්ජාවෙන් වැසී තණ්හාවෙන් බැඳී ගමන් කරන්නාවූ සැරිසරන්නාවූ සත්වයන්ගේ මේ සංසාරය නොදක්නා ලද අග (කෙළවර) ඇත්තේය. පූර්ව කෙළවරක් නොපෙනෙන්නේය. මහණෙනි, යම්සේ වනාහි පුරුෂයෙක් මේ දඹදිව යම්තාක් තණ, ලී දඬු, අතු සහ කොළ වේද, (ඒ සියල්ල) කපා එක් තැනකට රැස්කරන්නේ වේද, රැස්කොට සතරඟුල් සතරඟුල් කෑලි කපා ‘මේ මාගේ මවය. මේ මාගේ මවුගේ මවය’යි කියා තබන්නේ වේද. මහණෙනි, ඒ පුරුෂයාගේ මවුගේ මවුවරු කෙළවරක් නොවෙත්. එහෙත් මේ දඹදිව තණ, ලී දඬු, අතු, කොළ, කෙළවර වන්නේය. අවසාන වන්නේය. ඊට හේතුව කවරේද? මහණෙනි, අවිජ්ජාවෙන් වැසුනු තණ්හාවෙන් බැඳුණු ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ සත්වයාගේ මේ සංසාරය නොදක්නා ලද, කෙළවර ඇත්තේ වේද, පූර්ව කෙළවරක් නොපෙනෙයිද එහෙයිනි.
මහණෙනි, මෙසේ තොප විසින් බොහෝ කලක් මුළුල්ලෙහි දුක් අනුභව කරනලදී. දැඩි දුක් අනුභව කරන ලදී. ව්යසන අනුභව කරන ලදී සොහොන් බිම තර කරන ලදී. මහණෙනි, මේ සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුමය. නො ඇලීමට සුදුසුමය. ඔවුන්ගෙන් මිදීමට සුදුසුමය.
3. 1. 2.
පඨවි සූත්රය
265. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී, භාග්යවතුන්වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්යවතුන් වහන්සේ මෙය වදාළසේක:
මහණෙනි, අවිජ්ජාවෙන් වැසී, තණ්හාවෙන් බැඳී, ගමන් කරන්නාවූ, සැරිසරන්නාවූ, සත්වයන්ගේ මේ සංසාරය නොදක්නා ලද අග (කෙළවර) ඇත්තේය. මුල් කොනත් නොපෙනෙන්නේය. මහණෙනි, යම්සේ වනාහි පුරුෂයෙක් මේ මහ පොළොව ඩෙබර ඇට ඩෙබර ඇට පමණ ගුළිකොට, “මේ මාගේ පියාය, මේ ඔහුගේ පියායයි” කියා එක් තැනක තබන්නේ වේද, මහණෙනි, ඒ පුරුෂයාගේ පියවරුන්ගේ පියවරු කෙළවරට නොපැමිණෙත්. එහෙත් මේ මහ පොළොව කෙළවරවීමට, අවසානවීමට යන්නේය. ඊට හේතුව කවරේද? මහණෙනි, අවිජ්ජාවෙන් වැසුණු, තණ්හාවෙන් බැඳුණු, ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ, සත්වයන්ගේ මේ සංසාරය නොදක්නා ලද අග ඇත්තේ වේද, මුල් කොනත් නොදකියිද, එහෙයිනි.