2. 2. 1.
සත්තධාතු සූත්රය
235. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී, භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. “ස්වාමීනි” කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, මේ ධාතූහු සත්දෙනෙක් වෙති. ඒ ධාතු තුමූ කවරේද? ආභාධාතුව (ආලෝක කසිණයෙන් උපදවා ගත් ධ්යානය) සුභා ධාතුව, (සුභකසිණයන් ගෙන් උපදවාගත් ධ්යානය) ආකාසානඤ්චායතන ධාතුව, විඤ්ඤාණඤ්චායතන ධාතුව, ආකිඤ්චඤ්ඤායතන ධාතුව, නෙවසඤ්ඤානාසඤ්ඤායතන ධාතුව සහ සඤ්ඤාවෙදයිත නිරෝධ ධාතුවයි. මහණෙනි, මොවුහු වනාහි සත්ත ධාතූහු නම් වෙත්.
මෙසේ වදාළ කල්හි එක්තරා භික්ෂුවක් භාග්යවතුන් වහන්සේට මෙය කීයේය. “ස්වාමීනි, යම් මේ ආභාධාතුවක් වේද, යම් සුභාධාතුවක් වේද, යම් ආකාසානඤ්චායතන ධාතුවක් වේද, මේ යම් විඤ්ඤාණඤ්චායතන ධාතුවක් වේද, යම් මේ ආකිඤ්චඤ්ඤායතන ධාතුවක් වේද, යම් නෙවසඤ්ඤානාසඤ්ඤායතන ධාතුවක් වේද, යම් සඤ්ඤාවේදයිත නිරෝධ ධාතුවක් වේද, ස්වාමීනි, මේ ධාතූහු වනාහි කුමක් නිසා ප්රකට වෙත්ද”?
“මහණ, යම් මේ ආභාධාතුවක් වේද, මේ ධාතුව අන්ධකාරය නිසා ප්රකට වෙයි. මහණ, යම් මේ සුභාධාතුවක් වේද, මේ ධාතුව අසුභය නිසා ප්රකට වෙයි. මහණ, යම් මේ ආකාසානඤ්ඤායතන ධාතුවක් වේද, මේ ධාතුව රූපය නිසා ප්රකට වෙයි. මහණ, යම් මේ විඤ්ඤාණඤ්චායතන ධාතුවක් වේද, මේ ධාතුව ආකාසානඤ්චායතනය නිසා ප්රකට වෙයි. මහණ, යම් මේ ආකිඤ්චඤ්ඤායතන ධාතුවක් වේද, මේ ධාතුව විඤ්ඤාණඤ්චායතනය නිසා ප්රකට වෙයි. මහණ, යම් මේ නෙවසඤ්ඤානාසඤ්ඤායතන ධාතුවක් වේද, මේ ධාතුව ආකිඤ්චඤ්ඤායතනය නිසා ප්රකට වෙයි. මහණ, යම් මේ සඤ්ඤාවේදයිත නිරෝධ ධාතුවක් වේද, මේ ධාතුව නිරෝධය (නොපැවැත්ම) නිසා ප්රකට වෙයි.
“ස්වාමීනි, යම් මේ ආභාධාතුවක් වේද, යම් සුභා ධාතුවක් වේද, යම් ආකාසානඤ්චායතන ධාතුවක් වේද, යම් විඤ්ඤාණඤ්චායතන ධාතුවක් වේද, යම් ආකිඤ්චඤ්ඤායතන ධාතුවක් වේද, යම් නෙවසඤ්ඤානාසඤ්ඤායතන ධාතුවක් වේද, යම් සඤ්ඤාවේදයිත නිරෝධ ධාතුවක් වේද, ස්වාමීනි, මේ ධාතූන්ට වනාහි කවර සමාපත්තියක් වශයෙන් පැමිණිය යුත්තේද”?
“මහණ, යම් මේ ආභාධාතුවක් වේද, යම් සුභාධාතුවක් වේද, යම් ආකාසානඤ්චායතන ධාතුවක් වේද, යම් විඤ්ඤාණඤ්චායතන ධාතුවක් වේද, යම් ආකිඤ්චඤ්ඤායතන ධාතුවක් වේද, මේ ධාතූන්ට සඤ්ඤාසමාපත්ති වශයෙන් පැමිණිය යුත්තේය. මහණ, යම් මේ නේවසඤ්ඤානාසඤ්ඤායතන ධාතුවක් වේද, මේ ධාතුවට සංඛාරාවසේස සමාපත්ති වශයෙන් පැමිණිය යුත්තේය. මහණ, යම් මේ සඤ්ඤාවේදයිත නිරෝධ ධාතුවක් වේද, මේ ධාතුවට නිරෝධ සමාපත්ති වශයෙන් පැමිණිය යුත්තේය.
2. 2. 2.
සනිදාන සූත්රය
236. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
මහණෙනි, කාම විතර්කය හේතු සහිතව උපදී, හේතු රහිතව නූපදී. ව්යාපාද විතර්කය හේතු සහිතව උපදී. හේතු රහිතව නූපදී. විහිංසා විතර්කය හේතු සහිතව උපදී. හේතු රහිතව නූපදී.
“මහණෙනි, කෙසේ නම් කාම විතර්කය හේතු සහිතව උපදීද? හේතු රහිතව නූපදීද? ව්යාපාද විතර්කය හේතු සහිතව උපදීද? හේතු රහිතව නූපදීද? විහිංසා විතර්කය හේතු සහිතව උපදීද? හේතු රහිතව නූපදීද”?
“මහණෙනි, කාම ධාතූන් නිසා කාම සංඥාව උපදී. කාම සංඥාව නිසා කාම සංකල්පනාව උපදී. කාම සංකල්පනාව නිසා කාමච්ඡන්දය උපදී, කාමච්ඡන්දය නිසා කාම පරිදාහය (කාම දැවිල්ල) උපදී, කාමපරිදාහය නිසා කාම පරියේසනය (කම්සැප සෙවීම) උපදී. මහණෙනි, කාම පරියේසනය (කම්සැප සෙවීම) කරන්නාවූ, අශ්රැතවත් (බොහෝ ඇසූ පිරූ තැන් නැති) පෘථග්ජන තෙම, කයින්, වචනයෙන් සහ මනසින් යන තුන් තැනින්, වරදවා පිළිපදියි.
“මහණෙනි, ව්යාපාද ධාතුව නිසා ව්යාපාද සංඥාව උපදී, ව්යාපාද සංඥාව නිසා ව්යාපාද සංකල්පනාව උපදියි. ව්යාපාද සංකල්පනාව නිසා ව්යාපාදච්ඡන්දය උපදියි. ව්යාපාදච්ඡන්දය නිසා ව්යාපාද පරිදාහය උපදියි. ව්යාපාද පරිදාහය නිසා ව්යාපාද පරියේසනය උපදී. මහණෙනි, ව්යාපාද පරියේසනය කරන්නාවූ, අශ්රැතවත් (බොහෝ ඇසූ පිරූ තැන් නැති) පෘථග්ජන තෙම කයින්, වචනයෙන් සහ මනසින් යන තුන් තැනින් වරදවා පිළිපදියි.
“මහණෙනි, විහිංසා ධාතුව නිසා විහිංසා සංඥාව උපදී. විහිංසා සංඥාව නිසා විහිංසා සංකල්පනාව උපදියි. විහිංසා සංකල්පනාව නිසා විංහිසාච්ඡන්දය උපදියි. විහිංසාච්ඡන්දය නිසා විහිංසා පරිදාහය උපදියි. විහිංසා පරිදාහය නිසා විහිංසා පරියේසනය උපදියි. මහණෙනි, විහිංසා පරියේසනය කරන්නාවූ, අශ්රැතවත් (බොහෝ ඇසූ පිරූ තැන් නැති) පෘථග්ජන තෙම කයින් වචනයෙන් සහ මනසින් යන තුන් තැනින් වරදවා පිළිපදියි.
“මහණෙනි, යම්සේ වනාහි පුරුෂයෙක් ඇවුළුනු තණහුලක් වියලුනු තණ ගොඩක දමන්නේද, ඉදින් අතින් හෝ පයින් හෝ වහාම නොනිවන්නේ නම් මහණෙනි, එකල්හි වනාහි තෘණ කෘෂ්ටයන් (තණකොළ සහ ලීදඬු) ඇසුරු කළාවූ යම් ප්රාණීහු වෙත්ද, ඔවුහු විනාශයට පැමිණෙන්නාහුය.
“මහණෙනි, එසේම වනාහි යම්කිසි ශ්රමණයෙක් හෝ බ්රාහ්මණයෙක් හෝ උපන්නාවූ, රාගාදියෙන් විෂමවූ අකුසල සංඥාව වහාම අත් නොහරියිද, දුරු නොකෙරෙයිද, නැති නො කෙරෙයිද, අභාවයට පත් නොකෙරෙයිද? හෙතෙම මේ ආත්මයෙහිම දුක් සහිතව විනාශ සහිතව, වෙහෙස සහිතව, දැවීම් සහිතව වාසය කෙරෙයි. කය බිඳීමෙන් මරණින් මතු දුර්ගතිය කැමැති විය යුතුයි.
“මහණෙනි, නෛෂ්ක්රම්ය විතර්කය හේතු සහිතව උපදියි. හේතු රහිතව නූපදියි. අව්යාපාද විතර්කය හේතු සහිතව උපදියි. හේතු රහිතව නූපදියි. අවිහිංසා විතර්කය හේතු සහිතව උපදියි. හේතු රහිතව නූපදියි.