12. අප්පමාද වර්ගය
1. 9. 12. 1-11.
ජරාමරණාදී සූත්ර
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬුසිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක. “මහණෙනි, ජරාමරණය, තත්වූ පරිදි නොදන්නා විසින්, නොදක්නා විසින් ජරාමරණයෙහි, තත්වූ පරිදි නුවණ ඇතිවීම පිණිස ප්රමාද නොවීම ඇතිකළ යුත්තේය. ජරාමරණයට, හේතුව තත්වූ පරිදි නොදන්නා විසින්, නොදක්නා විසින් ජරාමරණයට, හේතුවෙහි තත්වූ පරිදි ඤාණය ඇතිවීම පිණිස ප්රමාද නොවීම ඇතිකළ යුත්තේය. තත්වූ පරිදි ජරාමරණය, නැතිවීම නොදන්නා විසින්, නොදක්නා විසින් ජරාමරණය නැතිවීමෙහි තත්වූ පරිදි ඤාණය ඇතිවීම පිණිස ප්රමාද නොවීම ඇතිකළ යුත්තේය. තත්වූ පරිදි ජරාමරණය නැතිකිරීමට ගමන් කළයුතු මාර්ගය නොදන්නා විසින්, නොදක්නා විසින් ජරාමරණය නැතිකිරීමට ගමන් කළයුතු මාර්ගයෙහි තත්වූ පරිදි ඤාණය ඇතිවීම පිණිස ප්රමාද නොවීම ඇතිකළ යුත්තේය.” ජාතිය, භවය, උපාදානය (දැඩිව අල්ලා ගැනීම), තණ්හාව, වේදනාව, ස්පර්ශය, සළායතන, නාමරූප, විඤ්ඤාණය, සංස්කාරය ආදී වශයෙන් තවත් සූත්ර දහයකි. දොළොස්වෙනි අප්පමාද වර්ගයයි. (මේ වර්ගයෙහි අප්පමාද සූත්ර එකොළොසක් වේ.)
අන්තර පෙය්යාලය නිමි. නිදාන සංයුත්තය නිමි.
එහි වර්ග උදානය:
ශාස්තෘ, ශික්ෂා, යෝග, ඡන්ද, පස්වැනි උස්සොළ්හි ද,
අප්පටිවානි, ආතප්ප, විරිය, සාතච්ච යැයි කියනු ලැබේ.
සති, සම්පජඤ්ඤ සහ අප්පමාදයෙන් දොළසකි.
අප්පටිවානි, ආතප්ප, විරිය, සාතච්ච යැයි කියනු ලැබේ.
සති, සම්පජඤ්ඤ සහ අප්පමාදයෙන් දොළසකි.
අන්තරපෙය්යාල සූත්ර නිමාවට පත්විය.
වර්ග දොළසක් ද සූත්ර එකසිය තිස් දෙකක් ද වෙති, අන්තර පෙය්යාලයෙහි මොහු චතුරාර්ය සත්ය වශයෙන් කියන ලදහ.
10. අභිසමය වර්ගය
1. 10. 1.
නඛසිඛා සූත්රය
214. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසයකරන සේක. ඉක්බිති භාග්යවතුන් වහන්සේ නිය පිට පස් ස්වල්පයක් තබාගෙන භික්ෂූන් ඇමතූසේක: “මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද? මා විසින් යම් මේ නිය පිට තබන ලද පස් ස්වල්පයද, මේ මහ පොළොවද යන දෙකින් කුමක් වනාහි වඩා ලොකු වෙයිද?”
“ස්වාමීනි, යම් මේ මහ පොළොවක් වේද, එයම වඩා ලොකුවෙයි. භාග්යවතුන් වහන්සේ විසින් නිය පිටට ගන්නා ලද, මේ පස් ස්වල්පය ඉතා සුළුය. භාග්යවතුන් වහන්සේ විසින් නිය පිටට ගන්නා ලද, පස් ස්වල්පය මහ පොළොව හා සමග සසඳා බලන කල්හි, සියයෙන් කොටසකටද නොපැමිණෙයි. දහසින් කොටසකටද නොපැමිණෙයි. ලක්ෂයෙන් කොටසකටද නොපැමිණෙයි.’
“මහණෙනි, එසේම වනාහි සෝවාන් මාර්ග සම්යක්දෘෂ්ටියෙන් යුක්තවූ, නුවණින් ආර්යසත්යය අවබෝධ කළාවූ, ආර්යශ්රාවක පුද්ගලයාගේ යම් මේ දුකක් ක්ෂයවූයේද, කෙළවරවූයේද ඒ ක්ෂයවූ කෙළවරවූ දුකම ඉතා වැඩිය. ඉතිරිවූ දුක ඉතා ස්වල්පය. ක්ෂයවූ කෙළවරවූ, දුක්ගොඩ හා සමග සැසඳීමේදී යම් මේ සත්වරක් (ඉපදීම) පරමකොට ඇති, මේ දුක සියයෙන් කොටසටද නොපැමිණෙයි. දහසින් කොටසටද නොපැමිණෙයි. ලක්ෂයෙන් කොටසටද නොපැමිණෙයි.
“මහණෙනි, ධර්මාවබෝධය වනාහි මේසා මහත්වූ අර්ථ ඇත්තේය. දහම් ඇස ලැබීම මේසා මහත්වූ අර්ථ ඇත්තේය.”
1. 10. 2.
පොක්ඛරණී සූත්රය
215. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසයකරන සේක. එහිදී, භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ.
“මහණෙනි, යම්සේ වනාහි දිගින් පනස් යොදුන්වූ, පුළුලින් පනස් යොදුන්වූ, ගැඹුරින් පනස් යොදුන්වූ, කපුටන්ට පානය කරනු හැකිවනසේ කට ළඟට පිරුණාවූ, පොකුණක් වේද, එයින් පුරුෂයෙක් කුසතණ පතක අගින් දිය බිඳක් ගන්නේය. මහණෙනි, ඒ කිමෙකැයි සිතන්නහුද කුසතණපත් අගින් ගන්නා ලද යම් දිය බිඳක් වේද, පොකුණෙහි ඉතිරිවූ යම් දියක් වේද, මේ දෙකින් කවරක් වනාහි අධිකතර වේද?”
“ස්වාමීනි, යම් මේ පොකුණු දියක් වේද, එයම අධිකතරවේ. කුසතණ අගින් ගන්නා ලද දිය ඉතා ස්වල්පවේ. කුසතණ අගින් ගත් දිය, පොකුණු දිය හා සසඳන කල්හි, සියයෙන් කොටසකටද නොපැමිණෙයි. දහසින් කොටසකටද නොපැමිණෙයි. ලක්ෂයෙන් කොටසකටද නොපැමිණෙයි.”