1. 7. 3.
පුත්ර මාංශ සූත්රය
63. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’ යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, උපන් සත්වයින්ගේ පැවැත්ම පිණිසද, නූපන් සත්වයින්ට (ඉපදීම බලාපොරොත්තුවන සත්වයින්ට) උපකාර පිණිසද පවත්නාවූ මේ ආහාරයෝ සතරක් වෙත්. කවර සතරක්ද, දළවූ හෝ සියුම්වූ හෝ කබලිංකාරාහාරය (පිඬුකොට කෑයුතු ආහාරය) පළමුවැන්නය, ස්පර්ශාහාරය දෙවැන්නය, චේතනාහාරය තුන්වැන්නය, විඤ්ඤාණාහාරය සිව්වැන්නය. මහණෙනි, මේ සතරාහාරයෝ උපන් සත්වයින්ගේ පැවැත්ම පිණිසද, නූපන් සත්වයින්ට (ඉපදීම බලාපොරොත්තුවෙන සත්වයින්ට) උපකාර පිණිසද වෙත්.
“මහණෙනි, කබළිංකාරාහාරය වනාහි කෙසේ දතයුතු වන්නේද? මහණෙනි, යම්සේ අඹුසැමි දෙදෙනෙක් වනාහි සුළු මග වියදමක් ගෙන, කාන්තාර මාර්ගයකට පිළිපන්නාහුය. ඔවුන්ගේ ප්රියවූ, මනාපවූ, එකම දරුවෙක්ද වූයේය. මහණෙනි, පසුව කාන්තාර මාර්ගයේ ගමන්ගත් ඒ අඹු සැමි දෙදෙනාගේ යම් සුළු මගවියදමක් වීද, එය ක්ෂයවීමට, අවසන්වීමට යන්නේය. ඔවුන්ට කාන්තාරය තරණය කළ නොහැකිවූයේය, ඉතුරු වූයේද විය. මහණෙනි, ඉක්බිති ඒ අඹු සැමි දෙදෙනාට මේ අදහස ඇතිවූයේය. අපේ යම් සුළු මග වියදමක් වීද, එය වනාහි වියදම්වී අවසාන විය. මේ කාන්තාරයද අවසන් නොවූයේ, ඉතුරු විය. ඒකාන්තයෙන් අපි මේ ප්රිය මනාප එකම දරුවා මරා, ඝන තුනී වශයෙන් (මස්) දෙකොටසක් කොට, පුත්රමාංශ කන්නාහු දෙදෙනාම මේ ඉතුරුවූ කාන්තාරය එතර කරන්නෙමු. නැතහොත් තුන්දෙනාම විනාශ වන්නෙමුය කියායි. “මහණෙනි, අනතුරුව ඒ අඹු සැමි දෙදෙනා ඒ ප්රියවූ, මනාපවූ; එකම දරුවා මරා, ඝන-තුනී වශයෙන් (මස්) දෙකොටසක් කොට, පුත්රමාංශ කන්නාහු, මෙසේ ඒ ඉතිරිවූ, කාන්තාරය එතර කරන්නාහුය. ඔවුහු පුත්රමාංශයද කමින් (අපේ) එකම පුතා කොහිද! (අපේ) එකම පුතා කොහිදැ!!යි කියමින් (ඔවුන්ගේ) පපුවටද ගසාගන්නාහුය.
මහණෙනි, එය කුමකැයි කියා සිතන්නහුද? ඔවුහු සෙල්ලම් පිණිස හෝ ආහාර ගන්නාහුද, මද ඇතිවීම පිණිස හෝ ආහාර ගන්නාහුද, අලංකාරවීම පිණිස හෝ ආහාර ගන්නාහුද, සැරසීම පිණිස හෝ ආහාර ගන්නාහුද?” “ස්වාමීනි, ඒ එසේ නොවේ.” “මහණෙනි, ඔවුහු යම්තාක් කාන්තාරය එතරකිරීම පිණිසම ආහාර ගන්නෝ නොවෙත්ද?” එසේය ස්වාමීනි.” “මහණෙනි, කබලිංකාරාහාරය (පිඬුකොට කෑයුතු ආහාරය) එසේ දතයුතුයයි මම කියමි.
“මහණෙනි, කබලිංකාරාහාරය (පිඬුකොට කෑයුතු ආහාරය) පිරිසිඳ දත් කල්හි පඤ්චකාමගුණ පිළිබඳවූ රාගය පිරිසිඳ දැනගන්නා ලද්දේ වෙයි. පඤ්චකාම ගුණ පිළිබඳ රාගය පිරිසිඳ දත් කල්හි යම් සංයෝජනයකින් (බැඳුමකින්) බැඳුනු ආර්යශ්රාවක තෙම නැවත මේ ලෝකයට එන්නේද, ඒ සංයෝජනය (බැඳුම) නැතිවේ.
“මහණෙනි, ස්පර්ශාහාරය කෙසේ දතයුතු වන්නේද? මහණෙනි, යම්සේ වනාහි හම නැති එළදෙනක් ඉදින්, බිත්තියක් ඇසුරුකොට සිටින්නේ නම්, (ඒ) බිත්තිය ඇසුරු කොට යම්කිසි සත්තු සිටිත්ද, ඔවුහු ඇය කන්නාහ. ඉදින් ගසක් ඇසුරුකොට සිටින්නේ නම් (ඒ) ගස ඇසුරුකොට යම්කිසි සත්තු සිටිත්ද, ඔවුහු ඇය කන්නාහ. ඉදින් වතුර ඇසුරුකොට සිටින්නේ නම් (ඒ) වතුර ඇසුරුකොට, යම්කිසි සත්තු සිටිත්ද, ඔවුහු ඇය කන්නාහ. ඉදින් අහස ඇසුරු කොට සිටින්නේ නම්, (ඒ) අහස ඇසුරුකොට යම්කිසි සත්තු සිටිත්ද, ඔවුහු ඇය කන්නාහ. මහණෙනි, යමක් ඇසුරුකොට ඒ හම නැති එළදෙන සිටින්නී නම්, ඒ දේ ඇසුරුකොට යම්කිසි සත්තු සිටිත්ද, ඔවුහු ඇය කන්නාහ. මහණෙනි, ස්පර්ශාහාරය වනාහි එසේ දතයුතුයයි මම කියමි.
මහණෙනි, ස්පර්ශාහාරය පිරිසිඳ දත් කල්හි ත්රිවිධ වේදනාවෝ පිරිසිඳ දැනගන්නා ලද්දාහුවෙත්. වේදනා තුන පිරිසිඳ දැනගත් කල්හි ආර්යශ්රාවකයාට මතු කිසි කළයුත්තක් නැතැයි කියමි.