1. 6. 8.
8. නාමරූප සූත්රය
58. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්යවතුන් වහන්සේ මහණෙනියි කියා භික්ෂූන් ඇමතූසේක. ස්වාමීනියි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, සංයෝජනයන්ට අරමුණු වන ධර්මයන්හි රස විඳගැනීම අනුව බලමින් වාසය කරන්නහුගේ නාමරූපයට බැස ගැනීම වෙයි. නාමරූප නිසා සළායතන ඇතිවේ. සළායතන නිසා ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ. වේදනාව නිසා තණ්හාව ඇතිවේ. තණ්හාව නිසා උපාදානය (දැඩිව අල්ලා ගැනීම) ඇතිවේ. උපාදානය (දැඩිව අල්ලා ගැනීම) නිසා භවය ඇතිවේ. භවය නිසා ජාතිය (ඉපදීම) ඇතිවේ. ජාතිය (ඉපදීම) නිසා ජරා, මරණ, ශෝකවීම්, හැඬීම්, දුක්වීම්, දොම්නස්වීම් සහ වැළපීම් ඇති වෙත්. මෙසේ මේ සියලු දුක් ගොඩ ඇතිවෙයි.
“මහණෙනි, යම්සේ මහ ගසක් වේද, ඒ ගසේ යටට ගමන් කරන්නාවූ, යම් යටට බස්නා මුල් වෙත්ද, හරහට ගමන් කරන්නාවූ යම් මුල් වෙත්ද, ඒ සියල්ලම උඩට ඕජාව ගෙනයෙත්. මහණෙනි, එසේ වනාහි ඒ මහ ගස ඒ (ඕජාව) නිසා ඒ හේතුවෙන් බොහෝ දීර්ඝ කාලයක් සිටින්නේය.
“මහණෙනි, එසේම වනාහි දස සංයෝජනය ධර්මයන්හි රස විඳ ගැනීම අනුව බලමින් වාසය කරන්නහුගේ නාම රූපයට බැසගැනීම වෙයි. නාමරූප නිසා සළායතන ඇතිවේ. සළායතන නිසා ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ. වේදනාව නිසා තණ්හාව ඇතිවේ. තණ්හාව නිසා උපාදානය (දැඩිව අල්ලා ගැනීම) ඇතිවේ. උපාදානය (දැඩිව අල්ලා ගැනීම) නිසා භවය ඇතිවේ. භවය නිසා ජාතිය (ඉපදීම) ඇතිවේ. ජාතිය (ඉපදීම) නිසා ජරාමරණ, ශෝකවීම්, හැඬීම්, දුක්වීම දොම්නස්වීම් සහ වැළපීම් ඇතිවෙත්. මෙසේ මේ සියලු දුක්ගොඩ ඇතිවෙයි.
“මහණෙනි, සංයෝජනයන්ට අරමුණු වන ධර්මයන්හි ආදීනව අනුව බලමින් වාසය කරන්නහුගේ නාමරූපයට බැස ගැනීම නොවෙයි. නාමරූප නැතිවීමෙන් සළායතන නැතිවෙයි. සළායතන නැතිවීමෙන් ස්පර්ශය නැතිවෙයි. ස්පර්ශය නැතිවීමෙන් වේදනාව නැතිවෙයි. වේදනාව නැතිවීමෙන් තණ්හාව නැතිවෙයි. තණ්හාව නැතිවීමෙන් උපාදානය (දැඩිව අල්ලා ගැන්ම) නැතිවෙයි. උපාදානය (දැඩිව අල්ලා ගැනීම) නැතිවීමෙන් භවය නැතිවෙයි. භවය නැතිවීමෙන් ජාතිය (ඉපදීම) නැතිවෙයි. ජාතිය (ඉපදීම) නැතිවීමෙන් ජරා, මරණ, ශෝකවීම්, හැඬීම්, දුක්වීම්, දොම්නස්වීම් සහ වැළපීම් නැතිවෙත්. මෙසේ මේ එකම දුක් සමූහය නැතිවෙයි.
“මහණෙනි, යම්සේ මහ ගසක් වේද, ඉක්බිති පුරුෂයෙක් උදැල්ලක් සහ කූඩයක් ගෙන එන්නේය. (අවුත්) හෙතෙම ඒ ගසේ මුල් කපන්නේය. මුල් කපා මුල් හාරන්නේය. මුල් හාරා, යටත් පිරිසෙයින් සැවැන්න මුල් පමණවූද, මුල් උදුරන්නේය. හෙතෙම ඒ ගස කඩ කඩ කොට කපන්නේය. කඩ කඩ කොට කපා, පළන්නේය. පළා, කැබලි කැබලි කරන්නේය. කැබලි කැබලි කොට පවනෙහි සහ අවුවෙහි වේලන්නේය. පවනෙහි සහ අවුවෙහි වේලා, ගින්නෙන් පුළුස්සන්නේය. ගින්නෙන් පුළුස්සා අළු කරන්නේය. අළුකොට, තද සුළඟෙහි හෝ පොලා හරින්නේය. ශීඝ්රයෙන් (ඉක්මණින්) ගලා බස්නාවූ දිය දහරින් යුත් ගඟෙහි හෝ පාකර හරින්නේය. මහණෙනි, මෙසේ වනාහි ඒ මහ ගස මුල් කපන ලද්දේ තල් කඳක් මෙන් කරන ලද්දේ මත්තෙහි නොවැඩෙනසේ අභාවයට පත්කරන ලද්දේ වන්නේය.
“මහණෙනි, මෙසේ වනාහි සංයෝජනයන්ට අරමුණුවන ධර්මයන්හි ආදීනව අනුව බලමින් වාසය කරන්නහුගේ නාම රූපයන්ට බැස ගැනීම නොවෙයි. නාමරූපයන් නැතිවීමෙන් සළායතනයන් නැතිවෙයි. සළායතනයන් නැතිවීමෙන් ස්පර්ශය නැතිවේ. ස්පර්ශය නැතිවීමෙන් වේදනාව නැතිවෙයි. වේදනාව නැතිවීමෙන් තණ්හාව නැතිවෙයි. තණ්හාව නැතිවීමෙන් උපාදානය (දැඩිව අල්ලා ගැන්ම) නැතිවෙයි. උපාදානය (දැඩිව අල්ලා ගැනීම) නැතිවීමෙන් භවය නැතිවෙයි. භවය නැතිවීමෙන් ජාතිය (ඉපදීම) නැතිවෙයි. ජාතිය (ඉපදීම) නැතිවීමෙන් ජරා, මරණ, ශෝකවීම් හැඬීම්, දුක්වීම්, දොම්නස්වීම් සහ වැළපීම් නැතිවෙත්. මෙසේ මේ එකම දුක් සමූහය නැතිවෙයි.
1. 6. 9.
9. විඤ්ඤාණ සූත්රය
59. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී, භාග්යවතුන් වහන්සේ “මහණෙනි”යි කියා භික්ෂූන් ඇමතූහ. “ස්වාමීනි” කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, සංයෝජනයන්ට අරමුණුවන ධර්මයන්හි රස විඳගැනීම අනුව බලමින් වාසය කරන්නහුගේ විඤ්ඤාණයට බැසගැනීමවෙයි. විඤ්ඤාණය නිසා නාමරූප ඇතිවෙයි. නාමරූප නිසා සළායතන ඇතිවෙයි. සළායතන නිසා ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ. වේදනාව නිසා තණ්හාව ඇතිවේ. තණ්හාව නිසා උපාදානය (දැඩිව අල්ලා ගැනීම) ඇතිවේ. උපාදානය (දැඩිව අල්ලාගැනීම) නිසා භවය ඇතිවේ. භවය නිසා ජාතිය (ඉපදීම) ඇතිවේ. ජාතිය (ඉපදීම) නිසා ජරා, මරණ, ශෝකවීම්, හැඬීම්, දුක්වීම්, දොම්නස්වීම් සහ වැළපීම් ඇතිවෙත්. මෙසේ මේ සියලු දුක්ගොඩ ඇතිවෙයි.
“මහණෙනි, මහගසක් යම්සේ වේද, ඒ ගසේ යටට යන්නාවූ, යම් යටට බස්නාවූ මුල් වෙත්ද, හරහට ගමන් කරන්නාවූ යම් මුල් වෙත්ද, ඒ සියල්ලම උඩට ඕජාව ගෙනයෙත් මහණෙනි, එසේ වනාහි ඒ මහගස ඒ ඕජාව නිසා ඒ හේතුවෙන් බොහෝ දීර්ඝ කාලයක් සිටින්නේය.
“මහණෙනි, එසේම වනාහි දස සංයෝජනයන්ට අරමුණු වන ධර්මයන්හි රස විඳගැනීම අනුව බලමින් වාසය කරන්නහුගේ විඤ්ඤාණයට බැසගැනීම වෙයි. විඤ්ඤාණය නිසා නාමරූප ඇතිවෙයි. නාමරූප නිසා සළායතන ඇති වෙයි. සළායතන නිසා ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ. වේදනාව නිසා තණ්හාව ඇතිවේ. තණ්හාව නිසා උපාදානය (දැඩිව අල්ලාගැනීම) ඇතිවේ. උපාදානය (දැඩිව අල්ලාගැනීම) නිසා භවය ඇතිවේ. භවය නිසා ජාතිය (ඉපදීම) ඇතිවේ. ජාතිය (ඉපදීම) නිසා ජරා, මරණ, ශෝකවීම්, හැඬීම්, දුක්වීම්, දොම්නස්වීම සහ වැළපීම් ඇතිවෙත්. මෙසේ මේ සියලු දුක්ගොඩ ඇතිවෙයි.
“මහණෙනි, සංයෝජනයන්ට අරමුණු වන ධර්මයන්හි ආදීනව අනුව බලමින් වාසය කරන්නහුගේ විඤ්ඤාණයට බැසගැනීම නොවෙයි. විඤ්ඤාණය නැතිවීමෙන් නාමරූප නැතිවෙයි. නාමරූප නැතිවීමෙන් සළායතන නැතිවෙයි. සළායතන නැතිවීමෙන් ස්පර්ශය නැතිවෙයි. ස්පර්ශය නැති වීමෙන් වේදනාව නැතිවෙයි. වේදනාව නැතිවීමෙන් තණ්හාව නැතිවෙයි. තණ්හාව නැතිවීමෙන් උපාදානය (දැඩිව අල්ලාගැනීම) නැතිවෙයි. උපාදානය (දැඩිව අල්ලාගැනීම) නැතිවීමෙන් භවය නැතිවෙයි. භවය නැතිවීමෙන් ජාතිය (ඉපදීම) නැතිවෙයි. ජාතිය (ඉපදීම) නැතිවීමෙන් ජරා, මරණ, ශෝකවීම්, හැඬීම්, දුක්වීම්, දොම්නස්වීම් සහ වැළපීම් නැතිවෙත් මෙසේ මේ එකම දුක් සමූහය නැතිවෙයි.
“මහණෙනි, මහගසක් යම්සේ වේද, ඉක්බිති පුරුෂයෙක් උදැල්ලක් සහ කූඩයක් ගෙන එන්නේය. (අවුත්) හෙතෙම ඒ ගසේ මුල් කපන්නේය. මුල් කපා, මුල් හාරන්නේය. මුල් හාරා, යටත්පිරිසෙයින් සැවැන්න මුල් පමණවූද, මුල් උදුරන්නේය. හෙතෙම ඒ ගස කඩ කඩ කොට කපන්නේය. කඩ කඩ කොට කපා, පළන්නේය. පළා, කැබලි කැබලි කොට පවනෙහි සහ අවුවෙහි වේලන්නේය. පවනෙහි සහ අවුවෙහි වේලා, ගින්නෙන් පුළුස්සන්නේය. ගින්නෙන් පුළුස්සා අළුකරන්නේය. අළුකොට තද සුළගෙහි හෝ පොලා හරින්නේය. ශීඝ්රයෙන් (ඉක්මණින්) ගලාබස්නාවූ දියදහරින් යුත් ගඟෙහි හෝ පාකර හරින්නේය. මහණෙනි, මෙසේ වනාහි ඒ මහගස මුල් කපන ලද්දේ. තල් කඳක්මෙන් කරන ලද්දේ. මත්තෙහි නොවැඩෙනසේ අභාවයට පත්කරන ලද්දේ වන්නේය.
“මහණෙනි. මෙසේ වනාහි දස සංයෝජන ධර්මයන්හි ආදීනව අනුව බලමින් වාසය කරන්නහුගේ විඤ්ඤාණයට බැසගැනීම නොවෙයි. විඤ්ඤාණය නැතිවීමෙන් නාමරූප නැතිවේ. නාමරූප නැතිවීමෙන් සළායතන නැතිවෙයි. සළායතන නැතිවීමෙන් ස්පර්ශය නැතිවේ. ස්පර්ශයනැතිවීමෙන් වේදනාව නැතිවෙයි. වේදනාව නැතිවීමෙන් තණ්හාව නැතිවෙයි. තණ්හාව නැතිවීමෙන් උපාදානය (දැඩිව අල්ලාගැනීම) නැතිවෙයි. උපාදානය (දැඩිව අල්ලාගැනීම) නැතිවීමෙන් භවය නැතිවෙයි. භවය නැතිවීමෙන් ජාතිය (ඉපදීම) නැතිවෙයි. ජාතිය (ඉපදීම) නැතිවීමෙන් ජරා, මරණ, ශෝකවීම්, හැඬීම්, දුක්වීම්, දොම්නස්වීම් සහ වැළපීම් නැතිවෙත්. මෙසේ මේ එකම දුක් සමූහය නැතිවෙයි.
1. 6. 10.
10. නිදාන සූත්රය
60. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ “කම්මාස්සදම්ම” නම්වූ කුරුරට වැස්සන්ගේ නියම්ගම ගොදුරුගම් කොට කුරුරට වාසය කරනසේක. ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම භාග්යවතුන් වහන්සේ යම් තැනකද එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේට වැඳ, එක්පැත්තක හිඳගත්තේය. එක්පැත්තක හිඳගත්තාවූ, ඇවැත් ආනන්ද තෙම වනාහි භාග්යවතුන් වහන්සේට මෙය කීයේය. “ස්වාමීනි, මේ පටිච්චසමුප්පාදය ඉතා ගැඹුරු වූයේත්, ගැඹුරු දැකුම් ඇත්තේත් වේද, එතකුදු වුවත් මට වනාහි නොගැඹුරුව නොගැඹුරුව මෙන් වැටහෙයි” කියායි.
“ආනන්දය, එසේ නොකියව. ආනන්දය, එසේ නොකියව. ආනන්දය, මේ පටිච්චසමුප්පාදය ගැඹුරු වූයේද, ගැඹුරු දැකුම් ඇත්තේද වෙයි. ආනන්දය, මෙසේ මේ ධර්මයාගේ නොදැනීමෙන්, අවබෝධ නොකිරීමෙන්, ප්රතිවෙධ නොකිරීමෙන්, මේ ප්රජාතොමෝ නූල් අවුලක් මෙන් වූවා, කැදැල්ලක් මෙන් වූවා. මුදුතණ හා බබුස්තණ මෙන් වූවා. සැප නැත්තාවූ, නපුරුගති ඇත්තාවූ, විෂම වැටීම් ඇත්තාවූ, සංසාරය ඉක්මවා නොයන්නීය.
ආනන්දය, තෘෂ්ණා දෘෂ්ටි ආදීන් විසින් අල්වා ගනු ලබන ධර්මයන්හි රස විඳගැනීම අනුව බලමින් වාසය කරන්නහුගේ තණ්හා තොමෝ වැඩෙන්නීය. තණ්හාව නිසා උපාදානය ඇතිවෙයි. උපාදානය (දැඩිව අල්ලාගැනීම) නිසා භවය ඇතිවෙයි. භවය නිසා ජාතිය (උත්පත්තිය) ඇතිවෙයි. ජාතිය (උත්පත්තිය) නිසා ජරා මරණ, ශෝකවීම්, හැඬීම්, දුක්වීම්, දොම්නස්වීම් සහ වැළපීම් ඇතිවේ. මෙසේ මේ එකම දුක්ගොඩ ඇතිවෙයි.
“ආනන්දය, යම්සේ වනාහි මහ ගසක් වේද, ඒ ගසේ යටට ගමන්කරන්නාවූ යම් මුල්වෙත්ද, හරහට ගමන් කරන්නාවූ යම් මුල් වෙත්ද, ඒ සියල්ල උඩට ඕජාවගෙන යෙත්ද, ආනන්දය, මෙසේ වනාහි ඒ මහගස ඒ (ඕජාව) නිසා ඒ හේතුවෙන් බොහෝ දීර්ඝ කාලයක් සිටින්නේය.
ආනන්දය, එසේම වනාහි තෘෂ්ණා දෘෂ්ටි ආදීන් විසින් අල්වාගනු ලබන ධර්මයන්හි රස විඳගැනීම අනුව බලමින් වාසය කරන්නහුගේ තණ්හා තොමෝ වැඩෙන්නීය. තණ්හාව නිසා උපාදානය ඇතිවෙයි. උපාදානය (දැඩිව අල්ලා ගැනීම) නිසා භවය ඇතිවෙයි. භවය නිසා ජාතිය (උත්පත්තිය) ඇතිවෙයි. ජාතිය (උත්පත්තිය) නිසා ජරා මරණ ශෝකවීම්, හැඬීම්, දුක්වීම්, දොම්නස්වීම් සහ වැළපීම් ඇතිවෙත්. මෙසේ මේ එකම දුක්ගොඩ ඇතිවෙයි.
“ආනන්දය, තෘෂ්ණාදෘෂ්ටි ආදීන් විසින් අල්වාගනු ලබන ධර්මයන්හි ආදිනව අනුව බලමින් වාසය කරන්නහුගේ තණ්හා තොමෝ නැතිවන්නීය. තණ්හාව නැතිවීමෙන් උපාදානය නැතිවෙයි. උපාදානය (දැඩිව අල්ලාගැනීම) නැතිවීමෙන් භවය නැතිවෙයි. භවය නැතිවීමෙන් ජාතිය (උත්පත්තිය) නැතිවෙයි. ජාතිය (උත්පත්තිය) නැතිවීමෙන් ජරා, මරණ, ශෝක, පරිදේව (හැඬීම්), දුක්, දොම්නස් සහ උපායාස (වැළපීම්) නැතිවෙත්. මෙසේ මේ එකම දුක්ගොඩ නැතිවෙයි.