1. 6. 2.
2. උපාදාන සූත්රය
52. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසයකරන සේක. එහිදී, භාග්යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’ කියා ඒ භික්ෂුහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, තෘෂ්ණාදෘෂ්ටි ආදීන් විසින් අල්වාගනු ලබන ධර්මයන්හි රස විඳ ගැනීම අනුව බලමින් වාසය කරන්නාගේ තණ්හා තොමෝ වැඩෙන්නීය. තණ්හාව නිසා උපාදානය ඇතිවෙයි. උපාදානය නිසා භවය ඇතිවෙයි. භවය නිසා ජාතිය (ඉපදීම) ඇතිවෙයි. ජාතිය (ඉපදීම) නිසා ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ (වැළපීම්) ඇතිවෙත්. මෙසේ මේ සියලු දුක්ගොඩ ඇතිවෙයි.
“මහණෙනි, යම්සේ දර කරත්ත දහයකින් හෝ දර කරත්ත විස්සකින් හෝ දර කරත්ත තිහකින් හෝ දර කරත්ත හතළිසකින් හෝ මහ ගිනි කඳක් දල්වන්නේය, පුරුෂයෙක් එහි කලින් කල වියලි තණ දමන්නේ, වියලි ගොම වැරැටි දමන්නේ, වියලි දර දමන්නේ වේද,
මහණෙනි, එසේ වනාහි ඒ (දර ආදිය) නිසා ඒ හේතුවෙන් ඒ ගිනිකඳ බොහෝ දීර්ඝ කාලයක් දැල්වෙන්නේ වේද, මහණෙනි එසේම තෘෂ්ණාදෘෂ්ටි ආදීන් විසින් අල්වාගනු ලබන ධර්මයන්හි රසවිඳ ගැනීම අනුව බලමින් වසන්නාගේ තණ්හාව වැඩෙයි. තණ්හාව නිසා උපාදානය ඇතිවෙයි. උපාදානය නිසා භවය ඇතිවෙයි. භවය නිසා ජාතිය (ඉපදීම) ඇතිවෙයි. ජාතිය (ඉපදීම) නිසා ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ (වැළපීම්) ඇතිවෙත්. මෙසේ මේ සියලු දුක් ගොඩ ඇතිවෙයි.
“මහණෙනි, තෘෂ්ණාදෘෂ්ටි ආදීන් විසින් අල්වාගනු ලබන ධර්මයන්හි ආදීනව අනුව බලමින් වාසය කරන්නාගේ තණ්හාව නැතිවෙයි. තණ්හාව නැතිවීමෙන් උපාදානය නැතිවෙයි. උපාදානය නැතිවීමෙන් භවය නැතිවෙයි. භවය නැතිවීමෙන් ජාතිය (ඉපදීම) නැතිවෙයි. ජාතිය (ඉපදීම) නැතිවීමෙන් ජරා, මරණ, ශෝක, පරිදේව (හැඬීම්), දුක්, දොම්නස් සහ උපායාසයෝ (වැළපීම්) නැතිවෙත්. මෙසේ මේ සියලු දුක් ගොඩ නැතිවෙයි.
“මහණෙනි, යම්සේ දරකරත්ත දහයකින් හෝ දර කරත්ත විස්සකින් හෝ දරකරත්ත තිහකින් හෝ දර කරත්ත හතළිහකින් හෝ මහ ගිනි කඳක් දල්වන්නේ පුරුෂයෙක් එහි කලින්කල වියලි තණ නොදමන්නේ, වියලි ගොම වැරැටි නොදමන්නේ, වියලි දර නොදමන්නේ වේද, මහණෙනි, එසේ ඒ ගිනිකඳ වනාහි පූර්වවූ දර ආදිය නැතිවී යාමෙන් සහ අන්යවූ දර ආදිය නොලැබීමෙන් හේතු නැති වූයේ නිවී යන්නේය.
මහණෙනි, එසේම තෘෂ්ණාදෘෂ්ටි ආදීන් විසින් අල්වාගනු ලබන ධර්මයන්හි ආදීනව අනුව බලමින් වාසය කරන්නාගේ තණ්හාව නැතිවෙයි. තණ්හාව නැතිවීමෙන් උපාදානය නැතිවේ. උපාදානය නැතිවීමෙන් භවය නැතිවෙයි. භවය නැතිවීමෙන් ජාතිය (ඉපදීම) නැති වෙයි. ජාතිය (ඉපදීම) නැතිවීමෙන් ජරා, මරණ, ශෝක, පරිදේව (හැඬීම), දුක්, දොම්නස් සහ උපායාසයෝ (වැළපීම්) නැතිවෙත්. මෙසේ මේ සියලු දුක්ගොඩ නැතිවෙයි’ කියායි.
1. 6. 3.
3. සංයෝජන සූත්රය
53. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසයකරන සේක. එහිදී, භාග්යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, සංයෝජනයන්ට අරමුණු වන්නාවූ ධර්මයන්හි රසවිඳගැනීම අනුව බලමින් වාසය කරන්නාගේ තණ්හා තොමෝ වැඩෙන්නීය. තණ්හාව නිසා උපාදානය ඇතිවෙයි. උපාදානය නිසා භවය ඇතිවෙයි. භවය නිසා ජාතිය (ඉපදීම) ඇතිවෙයි. ජාතිය (ඉපදීම) නිසා ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ (වැළපීම්) ඇතිවෙත්. මෙසේ මේ සියලු දුක් ගොඩ ඇතිවෙයි.
“මහණෙනි, යම්සේ තෙල්ද වැටියද නිසා තෙල් පහන දැල්වෙන්නේද, එහි පුරුෂයෙක් කලින් කල තෙල් වත්කරන්නේද, වැටි දමන්නේද, මහණෙනි, එසේ වනාහි ඒ තෙල් පහන ඒ (තෙල් ආදිය) නිසා, ඒ හේතුවෙන් බොහෝ දීර්ඝ කාලයක් දැල්වෙන්නේද,
මහණෙනි, එසේම වනාහි සංයෝජනයන්ට අරමුණු වන්නාවූ ධර්මයන්හි රසවිඳ ගැනීම අනුව බලමින් වාසය කරන්නාගේ තණ්හා තොමෝ වැඩෙන්නීය. තණ්හාව නිසා උපාදානය ඇතිවෙයි. උපාදානය නිසා භවය ඇතිවෙයි. භවය නිසා ජාතිය (ඉපදීම) ඇතිවෙයි. ජාතිය (ඉපදීම) නිසා ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ (වැළපීම්) ඇතිවෙත්. මෙසේ මේ සියලු දුක් ගොඩ ඇතිවෙයි.
“මහණෙනි, සංයෝජනයන්ට අරමුණු වන්නාවූ ධර්මයන්හි ආදීනව අනුව බලමින් වාසය කරන්නහුගේ තණ්හා තොමෝ නැති වන්නීය. තණ්හාව නැතිවීමෙන් උපාදානය නැතිවෙයි. උපාදානය නැතිවීමෙන් භවය නැතිවෙයි. භවය නැතිවීමෙන් ජාතිය (ඉපදීම) නැතිවෙයි. ජාතිය (ඉපදීම) නැතිවීමෙන් ජරා, මරණ, ශෝක, පරිදේව (හැඬීම්), දුක්, දොම්නස් සහ උපායාසයෝ (වැළපීම්) නැතිවෙත්. මෙසේ මේ සියලු දුක්ගොඩ නැතිවෙයි.
“මහණෙනි, යම්සේ තෙල්ද වැටියද නිසා තෙල් පහන දැල්වෙන්නේද, එහි පුරුෂයෙක් කලින්කල තෙල් වත්නොකරන්නේද, වැටි නොදමන්නේද, මහණෙනි, මෙසේ වනාහි ඒ තෙල් පහන පූර්වවූ, (තේලාදී) හේතූන් නැතිවීයාමෙන් සහ අන්යවූ ආහාර නොලැබීමෙන් නිරාහාර වූයේ නිවී යන්නේය.
මහණෙනි, එසේම වනාහි සංයෝජනයන්ට අරමුණුවන ධර්මයන්හි ආදීනව අනුව බලමින් වාසය කරන්නහුගේ තණ්හා තොමෝ නැති වන්නීය. තණ්හාව නැතිවීමෙන් උපාදානය නැතිවෙයි. උපාදානය නැතිවීමෙන් භවය නැතිවෙයි. භවය නැතිවීමෙන් ජාතිය (ඉපදීම) නැතිවෙයි. ජාතිය (ඉපදීම) නැතිවීමෙන් ජරා, මරණ, ශෝක, පරිදේව (හැඬීම්), දුක්, දොම්නස් සහ උපායාසයෝ (වැළපීම්) නැතිවෙත්. මෙසේ මේ සියලු දුක් ගොඩ නැතිවෙයි.
1. 6. 4.
4. සංයෝජන සූත්රය
54. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසයකරනසේක. එහිදී භාග්යවතුන් වහන්සේ මහණෙනියි කියා භික්ෂූන් ඇමතූහ. ස්වාමීනියි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, යම්සේ වනාහි තෙල්ද නිසා වැටියද නිසා තෙල් පහන දැල්වෙන්නේද, එහි පුරුෂයෙක් කලින් කල තෙල් වත් කරන්නේද, වැටි දමන්නේද, මහණෙනි, එසේ වනාහි ඒ තෙල් පහන ඒ (තේලාදිය) නිසා, ඒ හේතුවෙන් බොහෝ දීර්ඝ කාලයක් දැල් වෙන්නේද,
මහණෙනි, එසේම වනාහි සංයෝජනයන්ට අරමුණුවන ධර්මයන්හි රසවිඳීම් අනුව බලමින් වාසය කරන්නහුගේ තණ්හා තොමෝ වැඩෙන්නීය. තණ්හාව නිසා උපාදානය ඇතිවෙයි. උපාදානය නිසා භවය ඇතිවෙයි. භවය නිසා ජාතිය (ඉපදීම) ඇතිවෙයි. ජාතිය (ඉපදීම) නිසා ජරා, මරණ, ශෝක, පරිදේව, (හැඬීම්) දුක් දොම්නස් සහ උපායාසයෝ (වැළපීම්) ඇතිවෙත්. මෙසේ මේ සියලු දුක්ගොඩ ඇතිවෙයි.
“මහණෙනි, යම්සේ තෙල්ද නිසා වැටියද නිසා තෙල් පහන දැල්වෙන්නේද, එහි පුරුෂයෙක් කලින් කල තෙල් වත්නොකරන්නේද, වැටි නොදමන්නේද, මහණෙනි, මෙසේ වනාහි ඒ තෙල් පහන පූර්වවූ, (තෙල් ආදී) හේතූන් නැතිවීයාමෙන් සහ අන්යවූ ආහාර නොලැබීමෙන් නිරාහාර වූයේ නිවීයන්නේය.
මහණෙනි, එසේම වනාහි සංයෝජනයන්ට අරමුණුවූ ධර්මයන්හි ආදීනව අනුව බලමින් වාසය කරන්නහුගේ තණ්හාතොමෝ නැතිවන්නීය. තණ්හාව නැතිවීමෙන් උපාදානය නැතිවේ. උපාදානය නැතිවීමෙන් භවය නැතිවෙයි. භවය නැතිවීමෙන් ජාතිය (ඉපදීම) නැති වෙයි. ජාතිය (ඉපදීම) නැතිවීමෙන් ජරා, මරණ, ශෝක පරිදේව (හැඬීම්) දුක්, දොම්නස් සහ උපායාසයෝ (වැළපීම්) නැතිවෙත්. මෙසේ මේ සියලු දුක් ගොඩ නැතිවේ.