1. 5. 5.
5. ඤාතික සූත්‍රය
45. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ නෑයන්ගේ ගම උළු සෙවිලි කොට කරන ලද, මහා ප්‍රාසාදයෙහි (ගිඤ්ජකාවස්ථයෙහි) වැඩ වසන සේක.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ හුදකලාව විවේකයෙන් සිටියේ මේ ධර්මක්‍රමය වදාළ සේක.
“ඇසද, රූපයන්ද නිසා චක්ඛු විඤ්ඤාණය උපදියි. තුන්දෙනාගේ එක්වීමෙන් ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ. වේදනාව නිසා තණ්හාව ඇතිවේ. තණ්හාව නිසා උපාදානය ඇතිවේ. උපාදානය නිසා භවය ඇතිවේ. භවය නිසා ඉපදීම ඇතිවේ. ඉපදීම නිසා ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ ඇතිවෙත්. මෙසේ මේ සියලු දුක් ගොඩ ඇතිවේ.
“කණද, ශබ්දයන්ද නිසා සෝත විඤ්ඤාණය උපදියි... “නැහැයද, ගන්ධයන්ද නිසා ඝාණවිඤ්ඤාණය උපදියි... “දිවද, රසයන්ද නිසා ජිව්හා විඤ්ඤාණය උපදියි... “කයද, ස්පර්ශයන්ද නිසා කාය විඤ්ඤාණය උපදියි... “සිතද, ධර්මයන්ද නිසා මනෝ විඤ්ඤාණය උපදියි. තුන්දෙනාගේ එක්වීමෙන් ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ. වේදනාව නිසා තණ්හාව ඇතිවේ. තණ්හාව නිසා උපාදානය ඇතිවේ. උපාදානය නිසා භවය ඇතිවේ. භවය නිසා ඉපදීම ඇතිවේ. ඉපදීම නිසා ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ ඇතිවෙත්. මෙසේ මේ එකම දුක් සමූහය ඇතිවේ.
“ඇසද, රූපයන්ද නිසා චක්ඛු විඤ්ඤාණය උපදියි. තුන්දෙනාගේ එක්වීමෙන් ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ. වේදනාව නිසා තණ්හාව ඇතිවේ. ඒ තණ්හාව සහමුලින් නැතිකිරීමෙන්ම උපාදානය නැතිවේ. උපාදානය නැතිවීමෙන් භවය නැතිවේ. භවය නැතිවීමෙන් ඉපදීම නැතිවේ. ඉපදීම නැතිවීමෙන් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නැතිවෙත්. මෙසේ මේ සියලු දුක් ගොඩ නැතිවෙයි.
“කණද, ශබ්දයන්ද නිසා සෝත විඤ්ඤාණය උපදියි... “නැහැයද, ගන්ධයන්ද නිසා ඝාණ විඤ්ඤාණය උපදියි... “දිවද, රසයන්ද නිසා ජිව්හා විඤ්ඤාණය උපදියි... “කයද, ස්පර්ශයන්ද නිසා කාය විඤ්ඤාණය උපදියි... “සිතද, ධර්මයන්ද නිසා මනෝ විඤ්ඤාණය උපදියි. තුන්දෙනාගේ එක්වීමෙන් ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ. වේදනාව නිසා තණ්හාව ඇතිවේ. ඒ තණ්හාව සහමුලින් නැතිකිරීමෙන්ම උපාදානය නැතිවේ. උපාදානය නැතිවීමෙන් භවය නැතිවේ. භවය නැතිවීමෙන් ඉපදීම නැතිවේ. ඉපදීම නැතිවීමෙන් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නැතිවෙත්. මෙසේ මේ සියලු දුක් ගොඩ නැතිවෙයි.”
“එකල්හි වනාහි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව ඇසෙන තන්හි සිටියේ වෙයි. සමීපස්ථානයෙහි සිටියාවූ, ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ දුටුසේක. දැක, ඒ භික්ෂුවට මෙය කීසේක. “මහණ, නුඹ අපගේ මේ ධර්ම ක්‍රමය ඇසූයෙහිද?” “එසේය, ස්වාමීනි,” “මහණ, නුඹ මේ ධර්ම ක්‍රමය උගණුව. මහණ, නුඹ මේ ධර්මක්‍රමය පුරුදු කරව. මහණ, නුඹ මේ ධර්මක්‍රමය සිතින් ධාරණය කරව. මහණ, මේ ධර්ම ක්‍රමය අර්ථයෙන් යුක්තය. මාර්ග බ්‍රහ්මචරියාවට පිහිටව සිටියේයයි” වදාළ සේක.
1. 5. 6.
6. අඤ්ඤතර සූත්‍රය
46. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක.
ඉක්බිති එක්තරා බ්‍රාහ්මණයෙක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ හා සමග සතුටු විය. සතුටු වියයුතු වූත් සිහිකටයුතු වූත් කථාව කොට නිමවා, එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ, ඒ බ්‍රාහ්මණ තෙම වනාහි භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය.
“භවත් ගෞතමයිනි, කිමෙක්ද? හෙතෙම කෙරෙයිද? හෙතෙම විඳියිද?” “බමුණ, හෙතෙම කෙරෙයි. හෙතෙම විඳියි යන මෙය වනාහි එක් අන්තයකි.”
“භවත් ගෞතමයිනි, කිමෙක්ද? අනිකෙක් කෙරෙයිද? අනිකෙක් විඳියිද”? “බමුණ, අනිකෙක් කෙරෙයි. අනිකෙක් විඳියි යන මෙය වනාහි දෙවෙනි අන්තයයි.