1. 4. 7.
7. නතුම්හාක සූත්‍රය
37. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී, භාග්‍යවතුන්වහන්සේ “මහණෙනියි” කියා භික්ෂූන් ඇමතූහ. “ස්වාමීනි” කියා භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, මේ කය නුඹලාගේ නොවේ. අනුන්ගේද නොවේ. මහණෙනි, මේ කය පුරාණවූ කර්මයෙන් උපන්නේය. ප්රත්යයන්ගෙන් කරන ලද්දේය. චේතනාව මුල් කොට ඇත්තේයයිද, වේදනාව වස්තුයයිද දතයුතුය.
මහණෙනි, එහිදී, ශ්‍රැතවත් (බොහෝ ඇසූපිරූ තැන් ඇති) ආර්යශ්‍රාවකතෙම වනාහි “පටිච්චසමුප්පාදයම” මනාකොට නුවණින් මෙනෙහි කරයි. ‘මෙසේ මේ හේතුව ඇති කල්හි මේ ඵලය ඇති වෙයි. මේ හේතුව ඇතිවීමෙන් මේ ඵලය ඇතිවේ. මේ හේතුව නැති කල්හි මේ ඵලය නැතිවේ. මේ හේතුව නැතිවීමෙන් මේ ඵලය නැතිවේ, යනුවෙනි. හේ මෙසේයි:- “අවිජ්ජාව නිසා සංස්කාර ඇතිවේ. සංස්කාර නිසා විඤ්ඥාණය ඇතිවේ. විඤ්ඤාණය නිසා නාමරූප ඇතිවේ. නාමරූප නිසා සළායතන ඇතිවේ. සළායතන නිසා ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ. වේදනාව නිසා තණ්හාව ඇතිවේ. තණ්හාව නිසා උපාදානය ඇතිවේ. උපාදානය නිසා භවය ඇතිවේ. භවය නිසා ජාතිය (ඉපදීම) ඇතිවේ. (ඉපදීම) ජාතිය නිසා ජරාමරණද, ශෝකවීම්, හැඬීම්, දුක්වීම්, දොම්නස්වීම් සහ වැළපීම්, ඇතිවෙත්. මෙසේ මේ සියලු (එකම) දුක් සමූහය ඇතිවේ. අවිජ්ජාව සහමුලින් නැතිකිරීමෙන්ම සංස්කාර නැතිවේ. සංස්කාර නැතිවීමෙන් විඤ්ඤාණය නැතිවේ විඤ්ඤාණය නැතිවීමෙන් නාමරූප නැතිවෙයි. නාමරූප නැතිවීමෙන් සළායතන නැතිවෙයි. සළායතන නැතිවීමෙන් ස්පර්ශය නැති වෙයි. ස්පර්ශය නැතිවීමෙන් වේදනාව නැතිවෙයි. වේදනාව නැතිවීමෙන් තණ්හාව නැතිවෙයි. තණ්හාව නැතිවීමෙන් උපාදානය නැතිවෙයි. උපාදානය නැතිවීමෙන් භවය නැති වෙයි, භවය නැතිවීමෙන් ජාතිය (උත්පත්තිය) නැතිවෙයි ජාතිය (උත්පත්තිය) නැතිවීමෙන් ජරා මරණ, ශෝක පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නැතිවෙත්. මෙසේ මේ සියලු (එකම) දුක් සමූහය නැතිවෙයි.
1. 4. 8.
8. චේතනා සූත්‍රය
38. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ජේතවනයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවනලද ආරාමයෙහි වැඩ වසන සේක. එහිදී භාග්‍යවතුන්වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’ යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, යමක් සිතයිද, යමක් කල්පනා කෙරෙයිද, යමක් නැවත නැවත පවතියිද, මෙය කර්මවිඤ්ඤාණයාගේ පැවැත්මට හේතු වෙයි. හේතුව ඇතිකල්හි කර්ම විඥානයාගේ පිහිටීම වෙයි. කර්ම විඥානය පිහිටි කල්හි, වැඩුණු කල්හි, මත්තෙහි නැවත භවයක ඉපදීම වෙයි. මත්තෙහි නැවත භවයක ඉපදීම ඇති කල්හි, මත්තෙහි ජාති, ජරා, මරණ, ශෝකවීම්, හැඬීම්, දුක්වීම්, දොම්නස්වීම් සහ වැළපීම් ඇතිවෙත්. මෙසේ මේ සැපයෙන් අමිශ්‍ර දුක් සමූහය ඇතිවෙයි.
මහණෙනි, ඉදින් නොසිතයිද, කල්පනා නොකෙරෙයිද, එතකුදු වුවත් නැවත නැවත පවතියිද, මෙය කර්ම විඤ්ඤාණයාගේ පැවැත්ම පිණිස හේතු වෙයි. හේතුව ඇති කල්හි, කර්ම විඤ්ඤාණය පිහිටයි. ඒ කර්ම විඤ්ඤාණය පිහිටි කල්හි, වැඩුණු කල්හි, මත්තෙහි නැවත භවයක ඉපදීම ඇතිවෙයි. මත්තෙහි ඉපදීම ඇති කල්හි ජාති, ජරා, මරණ, ශෝකවීම්, හැඬීම්, දුක්වීම්, දොම්නස් වීම් සහ වැළපීම් ඇති වෙත්. මෙසේ මේ සියලු (එකම) දුක් ගොඩ ඇතිවේ.
“මහණෙනි, යම් හේතුවකින් ඉදින් නොසිතයිද, කල්පනා නොකෙරෙයිද, නොපවතියිද මෙය විඤ්ඤාණයාගේ පැවැත්ම පිණිස හේතු නොවෙයි. හේතු නැති කල්හි කර්ම විඥානය නොපිහිටයි. කර්මවිඥානය නොපිහිටි කල්හි, නොවැඩුණ කල්හි, මත්තෙහි නැවත භවයක ඉපදීම නොවෙයි. මත්තෙහි නැවත භවයක ඉපදීම නැතිකල්හි, මත්තෙහි ජාති, ජරා, මරණ, ශෝක, හැඬීම්, දුක්වීම්, දොම්නස්වීම් සහ වැළපීම් නැතිවෙත්. මෙසේ මේ සියලු (එකම) දුක් සමූහය නැතිවේ.
1. 4. 9.
9. චේතනා සූත්‍රය
39. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. එහිදී භාග්‍යවතුන්වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’ යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන්වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, යමක් සිතයිද, යමක් කල්පනා කෙරෙයිද, යමක් නැවත නැවත පවතියිද, මෙය කර්මවිඤ්ඤාණයාගේ පැවැත්මට හේතු වෙයි. හේතුව ඇතිකල්හි කර්මවිඤ්ඤාණය පිහිටයි. කර්මවිඤ්ඤාණය පිහිටි කල්හි, කර්මවිඤ්ඤාණය වැඩුණු කල්හි, නාමරූපයාගේ බැසගැනීම වෙයි. නාමරූප නිසා සළායතන ඇතිවේ. සළායතන නිසා ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ. වේදනාව නිසා තණ්හාව ඇතිවේ. තණ්හාව නිසා උපාදානය ඇතිවේ. උපාදානය නිසා භවය ඇතිවේ. භවය නිසා ජාතිය (ඉපදීම) ඇතිවේ. ජාතිය (ඉපදීම) නිසා ජරාමරණද ශෝකවීම්, හැඬීම්, දුක්වීම්, දොම්නස්වීම් සහ වැළපීම් ඇතිවෙත්. මෙසේ මේ සියලු (එකම) දුක් ගොඩ ඇතිවේ.
“මහණෙනි ඉදින් නොසිතයිද, කල්පනා නොකෙරෙයිද, එහෙත් නැවත නැවත පවතියිද, මෙය විඤ්ඤාණයාගේ පැවැත්ම පිණිස හේතුව වෙයි. හේතුව ඇති කල්හි කර්මවිඤ්ඤාණය පිහිටයි. කර්මවිඤ්ඤාණය පිහිටි කල්හි විඤ්ඤාණය වැඩුණු කල්හි නාමරූපයාගේ බැසගැනීම වෙයි. නාමරූප නිසා සළායතන ඇතිවේ. සළායතන නිසා ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ. වේදනාව නිසා තණ්හාව ඇතිවේ. තණ්හාව නිසා උපාදානය ඇතිවේ. උපාදානය නිසා භවය ඇතිවේ. භවය නිසා ජාතිය (ඉපදීම) ඇතිවේ. ජාතිය (ඉපදීම) නිසා ජරාමරණද, ශෝකවීම්, හැඬීම්, දුක්වීම්, දොම්නස්වීම් සහ වැළපීම් ඇතිවෙත්. මෙසේ මේ සියලු (එකම) දුක් ගොඩ ඇතිවේ.