1. 4. 4.
4. ඤාණවත්ථු සූත්‍රය
34. සැවැත් නුවර–
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසයකරනසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’ යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. “මහණෙනි, ඤාණවස්තූන් හැත්තෑ හතක් නුඹලාට දේශනා කරන්නෙමි. එය අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමියි (දේශනා කළසේක.) එසේය, ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු වනාහි භාග්‍යවතුන් වහන්සේට ප්‍රතිවචන දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළසේක. “මහණෙනි, ඤාණවස්තු හැත්තෑහත කවරහුද?
(1) ඉපදීම නිසා ජරා මරණය ඇතිවේය යන නුවණ. (2) ඉපදීම නැති කල්හි ජරා මරණය නැතිවේය යන නුවණ. (3) අතීත කාලයෙහිද ඉපදීම නිසා ජරා මරණය ඇති වූයේය යන නුවණ. (4) ඉපදීම නැතිවූ කල්හි ජරා මරණය නැතිවූයේය, යන නුවණ. (5) අනාගත කාලයෙහිද ඉපදීම නිසා ජරා මරණය ඇතිවන්නේය යන නුවණ. (6) ඉපදීම නැති කල්හි ජරා මරණය ඇති නොවන්නේය යන නුවණ. (7) යම් ඒ (ඉපදීම නිසා ජරා මරණය ඇතිවේය යන) පටිච්චසමුප්පාදය දන්නා නුවණක්වේද එයද ක්ෂයවන ස්වභාව ඇත්තේය. විනාශවන ස්වභාව ඇත්තේය. නොඇලෙන ස්වභාව ඇත්තේය. නැතිවෙන ස්වභාව ඇත්තේය යන නුවණ.
(8) භවය නිසා ඉපදීම ඇතිවේය යන නුවණ. (9) භවය නැති කල්හි ඉපදීම නැතිවේය යන නුවණ. (10) අතීත කාලයෙහි ද භවය නිසා ඉපදීම ඇතිවූයේය යන නුවණ. (11) භවය නැතිවූ කල්හි ඉපදීම නැතිවූයේය යන නුවණ. (12) අනාගත කාලයෙහි ද භවය නිසා ඉපදීම ඇතිවන්නේය යන නුවණ. (13) භවය නැති කල්හි ඉපදීම ඇති නොවන්නේය යන නුවණ. (14) යම් ඒ (භවය නිසා ඉපදීම ඇතිවේය යන) පටිච්චසමුප්පාදය දන්නා නුවණක් වේ ද, එය ද ක්ෂය වන ස්වභාව ඇත්තේය, විනාශ වන ස්වභාව ඇත්තේය, නොඇලෙන ස්වභාව ඇත්තේය, නිරුද්ධ වන ස්වභාව ඇත්තේය යන නුවණ. (15) උපාදානය නිසා භවය ඇතිවේය යන නුවණ. (16) උපාදානය නැති කල්හි භවය නැතිවේය යන නුවණ. (17) අතීත කාලයෙහි ද උපාදානය නිසා භවය ඇතිවූයේය යන නුවණ. (18) උපාදානය නැතිවූ කල්හි භවය නැතිවූයේය යන නුවණ. (19) අනාගත කාලයෙහි ද උපාදානය නිසා භවය ඇතිවන්නේය යන නුවණ. (20) උපාදානය නැති කල්හි භවය ඇති නොවන්නේය යන නුවණ. (21) යම් ඒ (උපාදානය නිසා භවය ඇතිවේය යන) පටිච්චසමුප්පාදය දන්නා නුවණක් වේ ද, එය ද ක්ෂය වන ස්වභාව ඇත්තේය, විනාශ වන ස්වභාව ඇත්තේය, නොඇලෙන ස්වභාව ඇත්තේය, නිරුද්ධ වන ස්වභාව ඇත්තේය යන නුවණ. (22) තණ්හාව නිසා උපාදානය ඇතිවේය යන නුවණ. (23) තණ්හාව නැති කල්හි උපාදානය නැතිවේය යන නුවණ. (24) අතීත කාලයෙහි ද තණ්හාව නිසා උපාදානය ඇතිවූයේය යන නුවණ. (25) තණ්හාව නැතිවූ කල්හි උපාදානය නැතිවූයේය යන නුවණ. (26) අනාගත කාලයෙහි ද තණ්හාව නිසා උපාදානය ඇතිවන්නේය යන නුවණ. (27) තණ්හාව නැති කල්හි උපාදානය ඇති නොවන්නේය යන නුවණ. (28) යම් ඒ (තණ්හාව නිසා උපාදානය ඇතිවේය යන) පටිච්චසමුප්පාදය දන්නා නුවණක් වේ ද, එය ද ක්ෂය වන ස්වභාව ඇත්තේය, විනාශ වන ස්වභාව ඇත්තේය, නොඇලෙන ස්වභාව ඇත්තේය, නිරුද්ධ වන ස්වභාව ඇත්තේය යන නුවණ. (29) වේදනාව නිසා තණ්හාව ඇතිවේය යන නුවණ. (30) වේදනාව නැති කල්හි තණ්හාව නැතිවේය යන නුවණ. (31) අතීත කාලයෙහි ද වේදනාව නිසා තණ්හාව ඇතිවූයේය යන නුවණ. (32) වේදනාව නැතිවූ කල්හි තණ්හාව නැතිවූයේය යන නුවණ. (33) අනාගත කාලයෙහි ද වේදනාව නිසා තණ්හාව ඇතිවන්නේය යන නුවණ. (34) වේදනාව නැති කල්හි තණ්හාව ඇති නොවන්නේය යන නුවණ. (35) යම් ඒ (වේදනාව නිසා තණ්හාව ඇතිවේය යන) පටිච්චසමුප්පාදය දන්නා නුවණක් වේ ද, එය ද ක්ෂය වන ස්වභාව ඇත්තේය, විනාශ වන ස්වභාව ඇත්තේය, නොඇලෙන ස්වභාව ඇත්තේය, නිරුද්ධ වන ස්වභාව ඇත්තේය යන නුවණ. (36) ස්පර්ශය නිසා වේදනාව ඇතිවේය යන නුවණ. (37) ස්පර්ශය නැති කල්හි වේදනාව නැතිවේය යන නුවණ. (38) අතීත කාලයෙහි ද ස්පර්ශය නිසා වේදනාව ඇතිවූයේය යන නුවණ. (39) ස්පර්ශය නැතිවූ කල්හි වේදනාව නැතිවූයේය යන නුවණ. (40) අනාගත කාලයෙහි ද ස්පර්ශය නිසා වේදනාව ඇතිවන්නේය යන නුවණ. (41) ස්පර්ශය නැති කල්හි වේදනාව ඇති නොවන්නේය යන නුවණ. (42) යම් ඒ (ස්පර්ශය නිසා වේදනාව ඇතිවේය යන) පටිච්චසමුප්පාදය දන්නා නුවණක් වේ ද, එය ද ක්ෂය වන ස්වභාව ඇත්තේය, විනාශ වන ස්වභාව ඇත්තේය, නොඇලෙන ස්වභාව ඇත්තේය, නිරුද්ධ වන ස්වභාව ඇත්තේය යන නුවණ. (43) සළායතන නිසා ස්පර්ශය ඇතිවේය යන නුවණ. (44) සළායතන නැති කල්හි ස්පර්ශය නැතිවේය යන නුවණ. (45) අතීත කාලයෙහි ද සළායතන නිසා ස්පර්ශය ඇතිවූයේය යන නුවණ. (46) සළායතන නැතිවූ කල්හි ස්පර්ශය නැතිවූයේය යන නුවණ. (47) අනාගත කාලයෙහි ද සළායතන නිසා ස්පර්ශය ඇතිවන්නේය යන නුවණ. (48) සළායතන නැති කල්හි ස්පර්ශය ඇති නොවන්නේය යන නුවණ. (49) යම් ඒ (සළායතන නිසා ස්පර්ශය ඇතිවේය යන) පටිච්චසමුප්පාදය දන්නා නුවණක් වේ ද, එය ද ක්ෂය වන ස්වභාව ඇත්තේය, විනාශ වන ස්වභාව ඇත්තේය, නොඇලෙන ස්වභාව ඇත්තේය, නිරුද්ධ වන ස්වභාව ඇත්තේය යන නුවණ. (50) නාමරූප නිසා සළායතන ඇතිවේය යන නුවණ. (51) නාමරූප නැති කල්හි සළායතන නැතිවේය යන නුවණ. (52) අතීත කාලයෙහි ද නාමරූප නිසා සළායතන ඇතිවූයේය යන නුවණ. (53) නාමරූප නැතිවූ කල්හි සළායතන නැතිවූයේය යන නුවණ. (54) අනාගත කාලයෙහි ද නාමරූප නිසා සළායතන ඇතිවන්නේය යන නුවණ. (55) නාමරූප නැති කල්හි සළායතන ඇති නොවන්නේය යන නුවණ. (56) යම් ඒ (නාමරූප නිසා සළායතන ඇතිවේය යන) පටිච්චසමුප්පාදය දන්නා නුවණක් වේ ද, එය ද ක්ෂය වන ස්වභාව ඇත්තේය, විනාශ වන ස්වභාව ඇත්තේය, නොඇලෙන ස්වභාව ඇත්තේය, නිරුද්ධ වන ස්වභාව ඇත්තේය යන නුවණ. (57) විඤ්ඤාණය නිසා නාමරූප ඇතිවේය යන නුවණ. (58) විඤ්ඤාණය නැති කල්හි නාමරූප නැතිවේය යන නුවණ. (59) අතීත කාලයෙහි ද විඤ්ඤාණය නිසා නාමරූප ඇතිවූයේය යන නුවණ. (60) විඤ්ඤාණය නැතිවූ කල්හි නාමරූප නැතිවූයේය යන නුවණ. (61) අනාගත කාලයෙහි ද විඤ්ඤාණය නිසා නාමරූප ඇතිවන්නේය යන නුවණ. (62) විඤ්ඤාණය නැති කල්හි නාමරූප ඇති නොවන්නේය යන නුවණ. (63) යම් ඒ (විඤ්ඤාණය නිසා නාමරූප ඇතිවේය යන) පටිච්චසමුප්පාදය දන්නා නුවණක් වේ ද, එය ද ක්ෂය වන ස්වභාව ඇත්තේය, විනාශ වන ස්වභාව ඇත්තේය, නොඇලෙන ස්වභාව ඇත්තේය, නිරුද්ධ වන ස්වභාව ඇත්තේය යන නුවණ. (64) සංස්කාර නිසා විඤ්ඤාණය ඇතිවේය යන නුවණ. (65) සංස්කාර නැති කල්හි විඤ්ඤාණය නැතිවේය යන නුවණ. (66) අතීත කාලයෙහි ද සංස්කාර නිසා විඤ්ඤාණය ඇතිවූයේය යන නුවණ. (67) සංස්කාර නැතිවූ කල්හි විඤ්ඤාණය නැතිවූයේය යන නුවණ. (68) අනාගත කාලයෙහි ද සංස්කාර නිසා විඤ්ඤාණය ඇතිවන්නේය යන නුවණ. (69) සංස්කාර නැති කල්හි විඤ්ඤාණය ඇති නොවන්නේය යන නුවණ. (70) යම් ඒ (සංස්කාර නිසා විඤ්ඤාණය ඇතිවේය යන) පටිච්චසමුප්පාදය දන්නා නුවණක් වේ ද, එය ද ක්ෂය වන ස්වභාව ඇත්තේය, විනාශ වන ස්වභාව ඇත්තේය, නොඇලෙන ස්වභාව ඇත්තේය, නිරුද්ධ වන ස්වභාව ඇත්තේය යන නුවණ.
(71) අවිජ්ජාව නිසා සංස්කාර ඇතිවේය යන නුවණ. (72) අවිජ්ජාව නැති කල්හි සංස්කාරය නැතිවේය යන නුවණ. (73) අතීත කාලයෙහිද අවිජ්ජාව නිසා සංස්කාර ඇති වූයේය යන නුවණ. (74) අවිජ්ජාව නැතිවූ කල්හි සංස්කාරය නැතිවූයේය යන නුවණ. (75) අනාගත කාලයෙහිද අවිජ්ජාව නිසා සංස්කාරය ඇතිවන්නේය යන නුවණ. (76) අවිජ්ජාව නැති කල්හි සංස්කාරය ඇති නොවන්නේය යන නුවණ. (77) යම් ඒ (අවිජ්ජාව නිසා සංස්කාර ඇතිවේය යන) පටිච්චසමුප්පාදය දන්නා නුවණක්වේද, එයද ක්ෂයවන ස්වභාව ඇත්තේය. විනාශවන ස්වභාව ඇත්තේය. නොඇලෙන ස්වභාව ඇත්තේය. නැතිවෙන ස්වභාව ඇත්තේය යන නුවණ. “මහණෙනි, මොවුහු ඤාණවස්තු සැත්තෑසතයයි කියනු ලැබෙත්.
1. 4. 5.
5. අවිජ්ජා සූත්‍රය
35. සැවැත් නුවර–
මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. “මහණෙනි, අවිජ්ජාව නිසා සංස්කාර ඇතිවේ. සංස්කාර නිසා විඤ්ඤාණය ඇතිවේ. විඤ්ඤාණය නිසා නාම රූප ඇතිවේ. නාමරූප නිසා සළායතන ඇතිවේ. සළායතන නිසා ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ. වේදනාව නිසා තණ්හාව ඇතිවේ. තණ්හාව නිසා උපාදානය ඇතිවේ. උපාදානය නිසා භවය ඇතිවේ. භවය නිසා (ජාතිය) ඉපදීම ඇතිවේ. ඉපදීම (ජාතිය) නිසා ජරා, මරණද, ශෝකවීම් හැඬීම්, දුක්වීම්, දොම්නස්වීම් සහ වැළපීම් ඇතිවේ. මෙසේ මේ තනිකර දුක් සමූහයාගේ පහළවීම ඇතිවේ.”
මෙසේ කී කල්හි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “ස්වාමීනි, ජරාමරණය වනාහි කවරේද? මේ ජරාමරණය වනාහි කාගේද?” භාග්‍යවතුන් වහන්සේ ප්‍රශ්නය නුසුදුසුයයි වදාළ සේක. “මහණ ජරාමරණය කවරේද? මේ ජරා මරණය කාගේ දැයි’ මෙසේ හෝ යමෙක් කියන්නේද, මහණ, ජරාමරණය අනිකකි. මේ ජරාමරණය වනාහි අනිකකුගේයයි. මෙසේ හෝ යමෙක් කියන්නේද මේ කීම් දෙකම ඒකාර්ථය. ව්‍යඤ්ජන පමණක් වෙනසි.
මහණ, ජීවයත් එයය. ශරීරයත් එයමයයි යන දෘෂ්ටිය හෝ ඇති කල්හි ආර්ය මාර්ගයට පැමිණීමක් නොවේ. මහණ, ජීවය අනිකකි. ශරීරය අනිකකියි යන දෘෂ්ටි හෝ ඇති කල්හි ආර්ය මාර්ගයට පැමිණීමක් නොවේ. මහණ ඒ මේ අන්ත දෙකට නොපැමිණ, ජාතිය නිසා ජරාමරණය ඇතිවේ යයි” තථාගතයන් වහන්සේ ධර්මය දේශනා කරන සේක.”
“ස්වාමීනි, ජාතිය කවරේද? මේ ජාතිය කාගේද?” භාග්‍යවතුන් වහන්සේ ප්‍රශ්නය නුසුදුසුයයි වදාළ සේක:- “මහණ, ජාතිය කවරේද? මේ ජාතිය කාගේ දැයි? මෙසේ හෝ යමෙක් කියන්නේ වේද, මහණ, ජාතිය අනිකකි. මේ ජාතිය වනාහි අනිකකුගේ යයි මෙසේ හෝ යමෙක් කියන්නේ වේද, මේ කීම් දෙකම ඒකාර්ථය. ව්‍යඤ්ජන පමණක් වෙනසි.
මහණ, ජීවයත් එයය. ශරීරයත් එයමයයි යන දෘෂ්ටිය හෝ ඇති කල්හි මාර්ග බ්‍රහ්මචර්යාව නොවේ. මහණ, ජීවය අනිකකි. ශරීරය අනිකකියි යන දෘෂ්ටිය හෝ ඇති කල්හි හෝ මාර්ග බ්‍රහ්මචර්යාව නොවේ. මහණ, මේ අන්ත දෙකට නොපැමිණ, භවය නිසා ජාතිය ඇතිවේයයි තථාගතයන් වහන්සේ ධර්මය දේශනා කරන සේක.