1. 4. 2.
2. කළාරඛත්තිය සූත්රය
32. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක.
ඉක්බිති “කළාරඛත්තිය” නම් මහණතෙම ආයුෂ්මත් සැරියුත් තෙරුන් යම්තැනකද, එතැනට පැමිණියේය පැමිණ, ආයුෂ්මත් සැරියුත් තෙරුන් හා සමග සතුටුවිය. සතුටු වියයුතුවූත්, සිහිකටයුතුවූත්, කථාවකොට නිමවා, එක් පැත්තෙක හුන්නේය. එක්පැත්තක හුන්නාවූ, “කළාරඛත්තිය” මහණතෙම වනාහි ආයුෂ්මත් සැරියුත් තෙරුන් හට මෙය කීයේය.
“ආයුෂ්මත් ශාරිපුත්ර ස්ථවිරයෙනි, “මෝලියඵග්ගුණ” මහණතෙම ශික්ෂාව ප්රතික්ෂේපකොට (උපසම්පදා ශීලය ඉවත් කොට) ගිහි වූයේය. ඒ ඇවැත්තෙම මේ ශාසනයෙහි පිහිට ඒකාන්තයෙන් නොලැබීය. එසේ වුවත් ආයුෂ්මත් ශාරිපුත්රස්ථවිරතෙම මේ ශාසනයෙහි පිහිට ලැබුවේද? ඇවැත්නි, මම වනාහි (ඒ ගැන) සැක නොකරමි. ඇවැත්නි නැවත ඉපදීම වනාහි නැතිකරන ලදද, ඇවැත්නි, මම වනාහි (ඒ ගැන) සැක නොකරමි.
ඉක්බිති “කළාරඛත්තිය” මහණතෙම ආසනයෙන් නැගිට භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේට වැඳ, එක් පැත්තෙක හුන්නේය. එක්පැත්තක හුන්නාවූ “කළාරඛත්තිය” මහණතෙම භාග්යවතුන් වහන්සේට මෙය කීයේය. “ස්වාමීනි, ආයුෂ්මත් ශාරිපුත්රස්ථවිරයන් විසින් රහත් බව ප්රකාශ කරන ලදී. (කෙසේද?) ‘ඉපදීම නැතිවූයේය. බ්රහ්මචරියාවෙහි හැසිර අවසානය. කළයුත්ත කරනලදී. මේ ආත්මයේදී කළයුතු අනිකක් නැතැයි දනිමි’ කියායි.
ඉක්බිති භාග්යවතුන් වහන්සේ එක්තරා භික්ෂුවකට කථාකළේය. “මහණ, නුඹ මෙහි එව. මාගේ වචනයෙන් සැරියුත්තෙරුන් කැඳවන්න” කියායි. “එසේය ස්වාමීනි” කියා ඒ මහණතෙම භාග්යවතුන්වහන්සේට උත්තරදී, ආයුෂ්මත් ශාරිපුත්රස්ථවිරයන් වහන්සේ යම්තැනකද එතැනට පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් ශාරිපුත්රස්ථවිරයන් වහන්සේට මෙය කීයේය. “ආයුෂ්මත් ශාරිපුත්රස්ථවිරයෙනි, ශාස්තෲන් වහන්සේ ඔබ කැඳවනසේකැයි” කියායි. ඇවැත්නි යහපති, කියා ආයුෂ්මත් ශාරිපුත්ර ස්ථවිරතෙම ඒ මහණහට උත්තරදී, භාග්යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේට වැඳ, එක්පැත්තක හුන්නේය. එක්පැත්තක හුන්නාවූ, ආයුෂ්මත් ශාරිපුත්ර ස්ථවිරයන්හට වනාහි භාග්යවතුන් වහන්සේ මෙය වදාළේය.
“ශාරිපුත්රයෙනි, නුඹ විසින් රහත් බව ප්රකාශකරනු ලැබීය යනු සැබෑද? (කෙසේද?) ‘ඉපදීම නැතිවූයේය. බ්රහ්මචරියාවෙහි හැසිර අවසානය. කළයුත්ත කරන ලදී. මේ ආත්මයේදී කළයුතු අනිකක් නැතැයි දනිමි’ කියායි “ස්වාමීනි, මේ පදයන්ගෙන්, මේ අක්ෂරයන්ගෙන් අදහස නොකියනලදී. ශාරිපුත්රයෙනි, යම්කිසි ක්රමයකින් වනාහි කුලපුත්රතෙම රහත් බව ප්රකාශ කෙරේද, එසේ ප්රකාශ කරන ලද්ද ප්රකාශ කරන ලද්ද වශයෙන් දතයුතුය. ස්වාමීනි, මමද එසේ කියන්නෙම් නොවේද? ස්වාමීනි, මේ පදයන්ගෙන්, මේ අක්ෂරයන්ගෙන් අදහස නොකියන ලදී” යනුවෙනි.
“ඉදින් ශාරිපුත්රයෙනි, ඔබෙන් මෙසේ අසත් නම්, ‘ඇවැත් ශාරිපුත්රයෙනි, කෙසේ දන්නාවූ, කෙසේ දක්නාවූ ඔබ විසින් රහත් බව පළකරන ලද්දේද? (කෙසේද?) ඉපදීම නැතිවූයේය. බ්රහ්මචරියාවෙහි හැසිර අවසානය. කළයුත්ත කරන ලදී. මේ ආත්මයේදී කළයුතු අනිකක් නැතැයි දනිමි’ කියායි. ශාරිපුත්රයෙනි, මෙසේ අසනලද ඔබ කිමැයි පැහැදිලි කරන්නේද?”
“ස්වාමීනි, ඉදින් මාගෙන් මෙසේ අසත් නම්, ‘ඇවැත් ශාරිපුත්රයෙනි, කෙසේ දන්නාවූ, කෙසේ දක්නාවූ, ඔබ විසින් රහත් බව ප්රකාශ කරන ලද්දේද? (කෙසේද?) ‘ඉපදීම නැති වූයේය. බ්රහ්මචරියාවෙහි හැසිර අවසානය. කළයුත්ත කරනලදී. මේ ආත්මයේදී කළයුතු අනිකක් නැතැයි දනිමි’ කියායි. ස්වාමීනි, මෙසේ අසන ලද්දේ මම මෙසේ විසඳන්නෙමි.
ඇවැත්නි, යමක් හේතුකොට ඉපදීම ඇතිවේද, ඒ හේතුවගේ නැතිවීමෙන් ඉපදීමේ හේතුව නැතිවූ කල්හි ඉපදීම් නම් ඵලය නැතිවූයේයයි දැනගන්නා ලදී. ඉපදීමේ හේතුව නැතිවූ කල්හි ඉපදීම් නම් ඵලය නැතිවූයේයයි දැන, ‘ඉපදීම නැතිවූයේය. බ්රහ්මචරියාවෙහි හැසිර අවසානය. කළයුත්ත කරන ලදී. මේ ආත්මයේදී කළයුතු අනිකක් නැතැයි දනිමි’ කියායි. ස්වාමීනි, මෙසේ අසන ලද්දේ, මම මෙසේ විසඳන්නෙමි”.
“ඉදින් ශාරිපුත්රයෙනි, ඔබෙන් මෙසේ අසත් නම්:-‘ඇවැත් ශාරිපුත්රයෙනි, ජාතිය වනාහි කුමක් නිදානකොට ඇත්තේද, කුමක් හේතුකොට ඇත්තේද, කුමක් ජාතිකොට ඇත්තේද, කුමක් පටන්ගැන්මකොට ඇත්තේද?’ කියායි. ශාරිපුත්රයෙනි, මෙසේ අසනලද්දේ, ඔබ කිමැයි පැහැදිළි කරන්නෙහිද?”
“ඉදින් ස්වාමීනි, මාගෙන් මෙසේ අසත් නම්:-‘ඇවැත් ශාරිපුත්රයෙනි, ජාතිය (ඉපදීම) වනාහි කුමක් නිදානකොට ඇත්තේද, කුමක් හේතුකොට ඇත්තේද, කුමක් ජාති (උත්පත්ති) කොට ඇත්තේද, කුමක් පටන්ගැන්මකොට ඇත්තේද’ කියායි. ස්වාමීනි, මෙසේ අසනලද්දාවූ මම මෙසේ පැහැදිළි කරන්නෙමි. ‘ඇවැත්නි, ජාතිය වනාහි භවය (කර්මභවය) නිදානකොට ඇත්තේය. කර්මභවය හේතුකොට ඇත්තේය. භවය ජාති (උත්පත්ති) කොට ඇත්තේය. භවය පටන්ගැන්මකොට ඇත්තේය. ස්වාමීනි, මෙසේ අසන ලද්දාවූ මම මෙසේ පැහැදිළි කරන්නෙමි.
“ඉදින් ශාරිපුත්රයෙනි, ඔබෙන් මෙසේ වනාහි අසත් නම්:-‘ඇවැත් ශාරිපුත්රයෙනි, භවය වනාහි කුමක් නිදානකොට ඇත්තේද, කුමක් සමුදයකොට ඇත්තේද, කුමක් ජාති (උප්පත්ති) කොට ඇත්තේද, කුමක් ප්රභව කොට ඇත්තේද’ කියායි. ශාරිපුත්රයෙනි, මෙසේ අසන ලද්දේ, ඔබකිමැයි පැහැදිළි කරන්නෙහිද?
ඉදින් ස්වාමීනි, මාගෙන් මෙසේ අසත් නම්:-‘ඇවැත් ශාරිපුත්රයෙනි භවය වනාහි කුමක් නිදානකොට ඇත්තේද, කුමක් හේතුකොට ඇත්තේද, කුමක් ජාති (උත්පත්ති) කොට ඇත්තේද, කුමක් පටන්ගැන්මකොට ඇත්තේද? කියායි. ස්වාමීනි, මෙසේ අසනලද්දාවූ මම මෙසේ පැහැදිළි කරන්නෙමි. ‘ඇවැත්නි, භවය වනාහි උපාදානය (තෘෂ්ණාවෙන් දැඩිකොට අල්වාගැනීම) නිදානකොට ඇත්තේය. කර්මඋපාදානය හේතුකොට ඇත්තේය. උපාදානය ජාති (උත්පත්ති) කොට ඇත්තේය. උපාදානය පටන්ගැන්ම කොට ඇත්තේය. ස්වාමීනි, මෙසේ අසනලද්දාවූ මම මෙසේ පැහැදිළි කරන්නෙමි.