1. 3. 10.
ශ්‍රමණ බ්‍රාහ්මණ සූත්‍රය
30. මා විසින් මෙසේ අසනලදී එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එහිදී, භාග්‍යවතුන්වහන්සේ “මහණෙනියි” කියා භික්ෂූන් ඇමතූහ. “ස්වාමීනි” කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන්වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ජරා මරණය නොදනිත්ද, ජරා මරණය ඇතිවීම නොදනිත්ද, ජරා මරණය නැතිවීම නොදනිත්ද, ජරා මරණය නැතිවෙන මාර්ගය නොදනිත්ද, ඔවුහු වනාහි ජරා මරණය ඉක්මවා සිටිති, යන මෙය විද්‍යමාන නොවේ.
මහණෙනි, යම් කිසි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ජාතිය (ඉපදීම) නොදනිත් ද, ජාතිය ඇතිවීම නොදනිත් ද, ජාතිය නැතිවීම නොදනිත් ද, ජාතිය නැතිකරන මාර්ගය නොදනිත් ද, ඔවුහු වනාහි ජාතිය ඉක්මවා සිටින්නාහුය යන මේ කාරණය විද්‍යමාන නොවේ. භවය නොදනිත් ද, භවය ඇතිවීම නොදනිත් ද, භවය නැතිවීම නොදනිත් ද, භවය නැතිකරන මාර්ගය නොදනිත් ද, ඔවුහු වනාහි භවය ඉක්මවා සිටින්නාහුය යන මේ කාරණය විද්‍යමාන නොවේ. උපාදානය (දැඩිව ඇලීම) නොදනිත් ද, උපාදානය ඇතිවීම නොදනිත් ද, උපාදානය නැතිවීම නොදනිත් ද, උපාදානය නැතිකරන මාර්ගය නොදනිත් ද, ඔවුහු වනාහි උපාදානය ඉක්මවා සිටින්නාහුය යන මේ කාරණය විද්‍යමාන නොවේ. තණ්හාව නොදනිත් ද, තණ්හාව ඇතිවීම නොදනිත් ද, තණ්හාව නැතිවීම නොදනිත් ද, තණ්හාව නැතිකරන මාර්ගය නොදනිත් ද, ඔවුහු වනාහි තණ්හාව ඉක්මවා සිටින්නාහුය යන මේ කාරණය විද්‍යමාන නොවේ. වේදනාව නොදනිත් ද, වේදනාව ඇතිවීම නොදනිත් ද, වේදනාව නැතිවීම නොදනිත් ද, වේදනාව නැතිකරන මාර්ගය නොදනිත් ද, ඔවුහු වනාහි වේදනාව ඉක්මවා සිටින්නාහුය යන මේ කාරණය විද්‍යමාන නොවේ. ස්පර්ශය නොදනිත් ද, ස්පර්ශය ඇතිවීම නොදනිත් ද, ස්පර්ශය නැතිවීම නොදනිත් ද, ස්පර්ශය නැතිකරන මාර්ගය නොදනිත් ද, ඔවුහු වනාහි ස්පර්ශය ඉක්මවා සිටින්නාහුය යන මේ කාරණය විද්‍යමාන නොවේ. සළායතන නොදනිත් ද, සළායතන ඇතිවීම නොදනිත් ද, සළායතන නැතිවීම නොදනිත් ද, සළායතන නැතිකරන මාර්ගය නොදනිත් ද, ඔවුහු වනාහි සළායතන ඉක්මවා සිටින්නාහුය යන මේ කාරණය විද්‍යමාන නොවේ. නාමරූප නොදනිත් ද, නාමරූප ඇතිවීම නොදනිත් ද, නාමරූප නැතිවීම නොදනිත් ද, නාමරූප නැතිකරන මාර්ගය නොදනිත් ද, ඔවුහු වනාහි නාමරූප ඉක්මවා සිටින්නාහුය යන මේ කාරණය විද්‍යමාන නොවේ. විඤ්ඤාණය නොදනිත් ද, විඤ්ඤාණය ඇතිවීම නොදනිත් ද, විඤ්ඤාණය නැතිවීම නොදනිත් ද, විඤ්ඤාණය නැතිකරන මාර්ගය නොදනිත් ද, ඔවුහු වනාහි විඤ්ඤාණය ඉක්මවා සිටින්නාහුය යන මේ කාරණය විද්‍යමාන නොවේ. සංස්කාර නොදනිත් ද, සංස්කාර ඇතිවීම නොදනිත් ද, සංස්කාර නැතිවීම නොදනිත් ද, සංස්කාර නැතිකරන මාර්ගය නොදනිත් ද, ඔවුහු වනාහි සංස්කාර ඉක්මවා සිටින්නාහුය යන මේ කාරණය විද්‍යමාන නොවේ.
මහණෙනි, යම් කිසි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ජරාමරණය දනිත් ද, ජරාමරණයට හේතුව දනිත් ද, ජරාමරණය නැතිවීම දනිත් ද, ජරාමරණය නැතිකරන මාර්ගය දනිත් ද, ඔවුහු වනාහි ජරාමරණය ඉක්මවා සිටින්නාහුය යන මේ කාරණය විද්‍යමාන වේ.
මහණෙනි, යම් කිසි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ජාතිය (ඉපදීම) දනිත් ද, ජාතිය ඇතිවීම දනිත් ද, ජාතිය නැතිවීම දනිත් ද, ජාතිය නැතිකරන මාර්ගය දනිත් ද, ඔවුහු වනාහි ජාතිය ඉක්මවා සිටින්නාහුය යන මේ කාරණය විද්‍යමාන වේ. භවය දනිත් ද, භවය ඇතිවීම දනිත් ද, භවය නැතිවීම දනිත් ද, භවය නැතිකරන මාර්ගය දනිත් ද, ඔවුහු වනාහි භවය ඉක්මවා සිටින්නාහුය යන මේ කාරණය විද්‍යමාන වේ. උපාදානය (දැඩිව ඇලීම) දනිත් ද, උපාදානය ඇතිවීම දනිත් ද, උපාදානය නැතිවීම දනිත් ද, උපාදානය නැතිකරන මාර්ගය දනිත් ද, ඔවුහු වනාහි උපාදානය ඉක්මවා සිටින්නාහුය යන මේ කාරණය විද්‍යමාන වේ. තණ්හාව දනිත් ද, තණ්හාව ඇතිවීම දනිත් ද, තණ්හාව නැතිවීම දනිත් ද, තණ්හාව නැතිකරන මාර්ගය දනිත් ද, ඔවුහු වනාහි තණ්හාව ඉක්මවා සිටින්නාහුය යන මේ කාරණය විද්‍යමාන වේ. වේදනාව දනිත් ද, වේදනාව ඇතිවීම දනිත් ද, වේදනාව නැතිවීම දනිත් ද, වේදනාව නැතිකරන මාර්ගය දනිත් ද, ඔවුහු වනාහි වේදනාව ඉක්මවා සිටින්නාහුය යන මේ කාරණය විද්‍යමාන වේ. ස්පර්ශය දනිත් ද, ස්පර්ශය ඇතිවීම දනිත් ද, ස්පර්ශය නැතිවීම දනිත් ද, ස්පර්ශය නැතිකරන මාර්ගය දනිත් ද, ඔවුහු වනාහි ස්පර්ශය ඉක්මවා සිටින්නාහුය යන මේ කාරණය විද්‍යමාන වේ. සළායතන දනිත් ද, සළායතන ඇතිවීම දනිත් ද, සළායතන නැතිවීම දනිත් ද, සළායතන නැතිකරන මාර්ගය දනිත් ද, ඔවුහු වනාහි සළායතන ඉක්මවා සිටින්නාහුය යන මේ කාරණය විද්‍යමාන වේ. නාමරූප දනිත් ද, නාමරූප ඇතිවීම දනිත් ද, නාමරූප නැතිවීම දනිත් ද, නාමරූප නැතිකරන මාර්ගය දනිත් ද, ඔවුහු වනාහි නාමරූප ඉක්මවා සිටින්නාහුය යන මේ කාරණය විද්‍යමාන වේ. විඤ්ඤාණය දනිත් ද, විඤ්ඤාණය ඇතිවීම දනිත් ද, විඤ්ඤාණය නැතිවීම දනිත් ද, විඤ්ඤාණය නැතිකරන මාර්ගය දනිත් ද, ඔවුහු වනාහි විඤ්ඤාණය ඉක්මවා සිටින්නාහුය යන මේ කාරණය විද්‍යමාන වේ. සංස්කාර දනිත් ද, සංස්කාර ඇතිවීම දනිත් ද, සංස්කාර නැතිවීම දනිත් ද, සංස්කාර නැතිකරන මාර්ගය දනිත් ද, ඔවුහු වනාහි සංස්කාර ඉක්මවා සිටින්නාහුය යන මේ කාරණය විද්‍යමාන වේ.
තුන්වෙනි දසබල වර්ගයි.
එහි උද්දානය:
දසබල සූත්‍ර දෙකය, උපනිසා සූත්‍රය, අඤ්ඤතිත්ථිය සූත්‍රය, භූමිජ සූත්‍රය, උපවාණ සූත්‍රය, පච්චය සූත්‍රය, භික්ෂු සූත්‍රය සහ ශ්‍රමණ බ්‍රාහ්මණ සූත්‍ර දෙකදැයි යන මේ සූත්‍ර දහයක්වූ තුන්වෙනි දසබල වර්ගයයි.
4. කළාරඛත්තිය වර්ගය
1. 4. 1.
භූතමිදං සූත්‍රය
31. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි, වැඩවසන සේක.
එහිදී භාග්‍යවතුන් වහන්සේ සැරියුත් තෙරුන්ට කථා කළ සේක. “ශාරිපුත්‍රයෙනි, මෙය පාරායන සූත්‍රයෙහි අජිත මාණවකයා විසින් අසන ලද ප්‍රශ්නයේදී, (මා විසින්) දේශනා කරන ලදී.”
‘නිදුකාණෙනි, නුවණැත්තාවූ ඔබවහන්සේ මේ ශාසනයෙහි දැනගන්නා ලද ධර්මය ඇති, යම් අය වෙත්ද, හික්මෙන්නාවූ යම් ආර්ය පුද්ගලයෝ සත් දෙනෙක් වෙත්ද, ඔවුන්ගේ ප්‍රතිපත්තිය අසන ලද මට කියා දෙනු මැනවි.’
“ශාරිපුත්‍රයෙනි, සංක්ෂේපයෙන් කියන ලද මෙහි අර්ථ විස්තර වශයෙන් කෙසේ දත යුතු දැයි ඇසූහ. මෙසේ ඇසූ කල්හි ආයුෂ්මත් ශාරිපුත්‍රතෙමේ නිශ්ශබ්ද විය. දෙවෙනුවත් භාග්‍යවතුන් වහන්සේ ශාරිපුත්‍ර තෙරුන්හට කථා කළ සේක. ශාරිපුත්‍රයෙනි, මෙය “පාරායන” සූත්‍රයෙහි අජිතමාණවකයා විසින් අසන ලද ප්‍රශ්නයේදී, (මා විසින්) දේශනා කරන ලදී. ‘නිදුකාණෙනි, නුවණැත්තාවූ ඔබ මේ ශාසනයෙහි දැනගන්නා ලද ධර්මය ඇති, යම් අය වෙත්ද, හික්මෙන්නාවූ යම් ආර්ය පුද්ගලයෝ සත් දෙනෙක් වෙත්ද, ඔවුන්ගේ ප්‍රතිපත්තිය අසන ලද මට කියා දෙනු මැනවි.’ “ශාරිපුත්‍රයෙනි, මෙය විස්තර වශයෙන් කෙසේ තේරුම දත යුතුද කියායි මෙසේ වදාළ කල්හි, දෙවනුවත් ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙම නිශ්ශබ්ද විය.
තෙවෙනුවත් භාග්‍යවතුන් වහන්සේ ශාරිපුත්‍ර තෙරුන් හට කථාකළසේක. “ශාරිපුත්‍රයෙනි, මෙය “පාරායන” සූත්‍රයෙහි අජිත මාණවකයා විසින් අසන ලද ප්‍රශ්නයේදී, (මා විසින්) දේශනා කරන ලදී.
‘නිදුකාණෙනි, නුවණැත්තාවූ ඔබ මේ ශාසනයෙහි දැනගන්නා ලද ධර්මය ඇති, යම් අය වෙත්ද, හික්මෙන්නාවූ යම් ආර්ය පුද්ගලයෝ සත් දෙනෙක් වෙත්ද, ඔවුන්ගේ ප්‍රතිපත්තිය අසන ලද මට කියා දෙනු මැනවි.’
“ශාරිපුත්‍රයෙනි, මෙය විස්තර වශයෙන් කෙසේ තේරුම දතයුතුද කියායි. මෙසේ වදාළ කල්හි, තෙවනුවත් ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙම නිශ්ශබ්ද විය.
“ශාරිපුත්‍රයෙනි, මේ හටගත් පඤ්චස්කන්ධය දක්නෙහි දැයි” ඇසූහ. ‘ස්වාමීනි, මේ හටගත් පඤ්චස්කන්ධය ඇතිසැටියෙන් විදර්ශනා, ඥානයෙන් හා මාර්ගඥානයෙන් මනාකොට දකීයයි’ කීයේය. මේ හටගත් පඤ්චස්කන්ධය තත්ත්වාකාරයෙන් විදර්ශනා ඥානයෙහි මාර්ග ඥානයෙන් මනාකොට දැක, පඤ්චස්කන්ධයට කලකිරීම පිණිස, නොඇලීම පිණිස, (එය) නැති කිරීම පිණිස පිළිපන්නේ වෙයි. මේ පඤ්චස්කන්ධය හේතූන් නිසා හට ගන්නේයයි තත්ත්වාකාරයෙන් විදර්ශනා ඥානයෙන් සහ මාර්ග ඥානයෙන් දකියි. මේ පඤ්චස්කන්ධය හේතූන් නිසා හට ගත්තේයයි ඇතිසේ විදර්ශනා ඥානයෙන් සහ මාර්ගඥානයෙන් මනාකොට දැන, හේතුවෙන් හටගත් පඤ්චස්කන්ධයෙහි කලකිරීම පිණිස, නොඇලීම පිණිස, (එය) නැති කිරීම පිණිස පිළිපන්නේවෙයි. යම් පඤ්චස්කන්ධයක් වෙයිද එය හේතූන්ගේ නිරුද්ධවීමෙන් නිරුද්ධවන ස්වභාවය ඇත්තේයයි ඇතිසේ විදර්ශනාඥානයෙන් හා මාර්ගඥානයෙන් මනාකොට දකියි. යම් පඤ්චස්කන්ධයක් වේද, එය හේතූන්ගේ නිරෝධයෙන් නිරුද්ධ වන ස්වභාවය ඇත්තේයයි ඇතිසේ විදර්ශනා ඥානයෙන් හා මාර්ග ඥානයෙන් මනාකොට දැක, නිරුද්ධවන ස්වභාවය ඇත්තාවූ පඤ්චස්කන්ධයේ කලකිරීම පිණිස, නොඇලීම පිණිස, (එය) නැතිකිරීම පිණිස පිළිපන්නේ වෙයි. ස්වාමීනි, මෙසේ වනාහි සේඛ පුද්ගල තෙමේ වෙයි.