1. 1. 4.
4. විපස්සී සූත්රය
4. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. එහිදී භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, භාග්යවත්වූ, අර්හත්වූ, විපස්සී නම් සම්මා සම්බුදුන්ට බුදුවීමට පළමු බෝසත් කාලයෙහි මේ සිත පහළ විය. ‘මේ සත්වලෝකයා දුකට පැමිණියේ වෙයි. උපදී, ජරාවට පත්වෙයි, මැරෙයි, චුතවෙයි, පිළිසිඳ ගනියි, එතකුදු වුවත් ජරා මරණයෙන් යුත් මේ දුක නැති කිරීම නොදනී. කවර කලක ජරා මරණයෙන් යුත් මේ දුක නැතිකිරීම දකින්නේද?’ කියායි.
ඉක්බිති විපස්සී නම් බෝසතුන්ට මේ අදහස පහළ විය. “කුමක් ඇතිකල්හි ජරාව සහ මරණය ඇතිවේද, කුමක් නිසා ජරාව සහ මරණය ඇතිවේද?” කියායි. “මහණෙනි, ඉක්බිති විපස්සී නම් බෝසතුන්ට බුදුවීමට පළමු බෝසත් කාලයෙහි ඇති තතු මෙනෙහි කිරීමෙන් ඉපදීම ඇතිකල වනාහි ජරාව සහ මරණය ඇති වෙයි කියා (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි, ඉක්බිති විපස්සී නම් බෝසතුන්ට මේ සිත පහළ විය. ‘කුමක් ඇති කල්හි ඉපදීම ඇති වේද, කුමක් නිසා ඉපදීම ඇතිවේද?’ කියායි. මහණෙනි, ඉක්බිති විපස්සී නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් භවය ඇතිකල්හි වනාහි ඉපදීම ඇතිවේයයි (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි, ඉක්බිති විපස්සී නම් බෝසතුන්ට මේ අදහස පහළ විය. ‘කුමක් ඇතිකල්හි වනාහි භවය ඇතිවේද, කුමක් නිසා භවය ඇතිවේද?’ කියායි. මහණෙනි, ඉක්බිති විපස්සී නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘උපාදානය (තදින් ඇලීම) ඇති කල්හි වනාහි භවය ඇතිවෙයි, උපාදානය නිසා භවය ඇතිවෙයි’ කියා (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි, ඉක්බිති විපස්සී නම් බෝසතුන්ට මේ අදහස පහළ විය. ‘කුමක් ඇතිකල්හි වනාහි උපාදානය ඇතිවේද, කුමක් නිසා උපාදානය ඇතිවේද?’ කියායි. මහණෙනි, ඉක්බිති විපස්සී නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් සහ නුවණින් මෙනෙහි කිරීමෙන් තණ්හාව ඇතිකල්හි වනාහි උපාදනය ඇතිවෙයි, තණ්හාව නිසා උපාදානය ඇතිවෙයි’ කියා (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි, ඉක්බිති විපස්සී නම් බෝසතුන්ට මේ අදහස පහළවිය, ‘කුමක් ඇති කල්හි වනාහි තණ්හාව ඇතිවේද කුමක් නිසා තණ්හාව ඇතිවේද?’ කියායි. මහණෙනි, ඉක්බිති විපස්සී නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘වේදනාව ඇතිකල්හි වනාහි තණ්හාව ඇතිවෙයි,’ කියා (නුවණින්) අවබෝධ විය.
මහණෙනි; ඉක්බිති විපස්සී නම් බෝසතුන්ට මේ අදහස පහළවිය. ‘කුමක් ඇති කල්හි වනාහි වේදනාව ඇතිවේද, කුමක් නිසා වේදනාව ඇතිවේද?’ කියායි. මහණෙනි; ඉක්බිති විපස්සී නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘ස්පර්ශය ඇති කල්හි වනාහි වේදනාව ඇතිවෙයි. ස්පර්ශය නිසා වේදනාව ඇතිවෙයි,’ කියා (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි, ඉක්බිති විපස්සී නම් බෝසතුන්ට මේ අදහස පහළවිය. ‘කුමක් ඇති කල්හි වනාහි ස්පර්ශය ඇතිවේද, කුමක් නිසා ස්පර්ශය ඇතිවේද?’ කියායි. මහණෙනි, ඉක්බිති විපස්සී නම් බෝසතුන්ට, ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘සළායතනයන් ඇති කල්හි වනාහි ස්පර්ශය ඇතිවෙයි. සළායතනයන් නිසා ස්පර්ශය ඇතිවෙයි කියා (නුවණින්) අවබෝධ විය.”
“මහණෙනි; ඉක්බිති විපස්සී නම් බෝසතුන්ට මේ අදහස පහළවිය. ‘කුමක් ඇතිකල්හි වනාහි සළායතනයන් ඇතිවේද, කුමක් නිසා සළායතනයන් ඇතිවේද?’ කියායි. මහණෙනි, විපස්සී නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘නාමරූපයන් ඇති කල්හි වනාහි සළායතනයන් ඇතිවෙයි. නාමරූපයන් නිසා සළායතනයන් ඇතිවෙයි’ කියා (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි; ඉක්බිති විපස්සී නම් බෝසතුන්ට මේ අදහස පහළවිය. ‘කුමක් ඇති කල්හි වනාහි නාමරූපයන් ඇතිවේද, කුමක් නිසා නාමරූපයන් ඇතිවේද?’ කියායි. මහණෙනි, විපස්සී නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘විඤ්ඤාණය ඇති කල්හි නාමරූප ඇතිවෙයි, විඤ්ඤාණය නිසා නාමරූප ඇතිවෙයි’ කියා (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි, ඉක්බිති විපස්සී නම් බෝසතුන්ට මේ අදහස පහළවිය. ‘කුමක් ඇති කල්හි වනාහි විඤ්ඤාණය ඇතිවේද?, කුමක් නිසා විඤ්ඤාණය ඇතිවේද?’ කියායි. මහණෙනි; විපස්සී නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘සංස්කාරයන් ඇති කල්හි වනාහි විඤ්ඤාණය ඇතිවෙයි. සංස්කාරයන් නිසා විඤ්ඤාණය ඇතිවෙයි’ කියා (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි; විපස්සී නම් බෝසතුන්ට මේ අදහස පහළවිය. ‘කුමක් ඇති කල්හි වනාහි සංස්කාරයෝ ඇති වෙත්ද?, කුමක් නිසා සංස්කාරයෝ ඇතිවෙත්ද?’ කියායි. මහණෙනි, ඉක්බිති විපස්සී නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘අවිද්යාව ඇති කල්හි වනාහි සංස්කාරයෝ ඇතිවෙත්. අවිද්යා නිසා සංස්කාරයෝ ඇතිවෙත්’ කියා (නුවණින්) අවබෝධ විය.