9. 1. 8.
කුලඝරණී සූත්‍රය
228. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක එක්තරා භික්‍ෂුවක් කොසොල්දනව්වෙහි එක්තරා වනලැහැබෙක වෙසෙයි. එකල ඒ මහණතෙම එක්තරා කුලයෙක ඉතා ඇතුලත් බවට පැමිණියේව වෙසෙයි.
ඉක්බිති ඒ වනලැහැබෙහි අරක්ගත් යම් දේවතාවෙක් ඒ භික්‍ෂුවට අනුකම්පා ඇත්තේ, වැඩ කැමැත්තේ ඒ භික්‍ෂුව සංවේග කරනු කැමැත්තේ, ඒ කුලයෙහි යම් කුල ගැහැණියක් ඇද්ද ඇගේ වේශය මවා ඒ භික්‍ෂුව යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ ඒ භික්‍ෂුවට ගාථායෙන් (මෙසේ) කීය:
“ගංතෙරවලද, විඩා සංසිඳුවන තැනද, සභාවලද, වීථිවලද ජනයෝ ‘මා’ යිද ‘තා’ යිද (එකිනෙකා ගැන) කථා කෙරෙත්. ඒ කුමන කරුණෙකින්ද?
“තාපසයන් විසින් ඉවසිය යුතුවූ මේ ස්වාභාවයට විරුද්‍ධ ශබ්දයෝ ලොව බොහෝ වෙති. ඒ කාරණයෙන් දුර්මුඛ නොවිය යුතුයි. තාපසයා ඒ අනුන් කී බසින් කිලිටි නොවේ.
“යම් තාපසයෙක් වෙනෙහි වෘක මෘගයකු මෙන් සුලු ශබ්දයෙන්ද තැතිගන්නේද, හෙතෙම සැහැල්ලු සිත් ඇත්තෙකැයි කියත්. සැහැල්ලු සිත් ඇති මහණහුගේ සීලය සම්පූර්‍ණ නොවේ.”
9. 1. 9.
වජ්ජිපුත්ත සූත්‍රය
229. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක එක්තරා වජ්ජි පුත්‍රක භික්‍ෂුවක් විසාලා නුවර අසල යම් කිසි වනලැහැබෙක වෙසෙයි. එකල විසාලා නුවර නැකැත් කෙළියෙක් වෙයි. ඉක්බිති ඒ මහණතෙම විසාලානුවර තූර්‍ය්‍යයන්ගේ ගයන වයන ශබ්දය අසා හඬමින්, ඒ වේලායෙහි මේ ගාථාවන් කීය:
“අපි ආරණ්‍යයෙහි තනිව වනෙහි දමන ලද දර කෑල්ලක් මෙන් මෙවැනි රාත්‍රියෙහි වාසය කරම්හ. අපට වැඩි අවාසනා වන්තවූ අන් කවරෙක් නම් වේද?”
ඉක්බිති ඒ වනලැහැබෙහි අරක්ගත් දේවතාවෙක් ඒ භික්‍ෂුවට අනුකම්පා ඇත්තේ, වැඩ කැමැත්තේ සංවේග කරනු කැමැත්තේ, ඒ භික්‍ෂුව යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ ඒ භික්‍ෂුවට ගාථාවෙන් (මෙසේ) කීය.
“නුඹ ආරණ්‍යයෙහි තනිව, වෙනෙහි දමන ලද දර කෑල්ලක් මෙන් වෙසෙහිය. ස්වර්‍ගයට යන්නහු පතන්නාවූ නිරිසතුන්මෙන් එසේවූ යුෂ්මතුන්ද බොහෝ දෙනෙක් පතත්.
ඉක්බිති ඒ භික්‍ෂුතෙම ඒ දේවතාවා විසින් සංවේග කරන ලද්දේ සංවේගයට පැමිණියේය.
9. 1. 10.
සජ්ඣාය සූත්‍රය
230. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක එක්තරා භික්‍ෂුවක් කොසොල්දනව්වෙහි එක්තරා වනලැහැබෙක වෙසෙයි. ඒ භික්‍ෂුව වනාහි පෙර ඉතා බොහෝ වේලා (ධර්‍මය) සජඣායනා කිරීමෙහි යෙදී වාසය කෙළේය. නමුත් හෙතෙම පසු කලෙක උත්සාහය අඩු වූයේ නිශ්ශබ්ද වූයේ ඵලසමවත් සුවයෙන් කල් යවයි.
ඉක්බිති ඒ වනලැහැබෙහි අරක්ගත් දේවතාවා ඒ භික්‍ෂුවගෙන් ධර්‍මයක් නොඅසන්නේ ඒ භික්‍ෂුව යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ ඒ භික්‍ෂුවට ගාථායෙන් මෙසේ කීය:
“මහණ, නුඹ භික්‍ෂූන් සමග වෙසෙමින් කවර හෙයෙකින් ධර්‍මපදයන් සජඣායනා නොකරන්නෙහිද? ධර්‍මය අසා ප්‍රසාදය ලබයි. මේ ආත්මභාවයෙහිම ප්‍රශංසාවද ලබයි.”
“යම්තාක් ආර්‍ය්‍ය මාර්‍ගයෙන් (නිවන් අවබෝධයට) නොපැමිණියෙමුද (ඒ තාක්) පෙර ධර්‍මපදයන්හි ආශාව මා තුළ වූයේය. යම් හේතුවකින් (දැන්) ආර්‍ය්‍යමාර්‍ගයෙන් යුක්ත යෙම්ද, (එහෙයින් ධර්‍මය සජඣායනා නොකරම්හ,) ඇසින් දුටු රූපයක් හෝ කණින් ඇසූ ශබ්දයක් හෝ කයින් ස්පර්‍ශකළ ස්පර්‍ශයක් හෝ වේද, (ඒ සියල්ලම අනිත්‍යාදී වශයෙන්) දැන බැහැරලීම ආර්‍ය්‍යයෝ කියත්.”