9. 1. 9.
වජ්ජිපුත්ත සූත්රය
229. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක එක්තරා වජ්ජි පුත්රක භික්ෂුවක් විසාලා නුවර අසල යම් කිසි වනලැහැබෙක වෙසෙයි. එකල විසාලා නුවර නැකැත් කෙළියෙක් වෙයි. ඉක්බිති ඒ මහණතෙම විසාලානුවර තූර්ය්යයන්ගේ ගයන වයන ශබ්දය අසා හඬමින්, ඒ වේලායෙහි මේ ගාථාවන් කීය:
“අපි ආරණ්යයෙහි තනිව වනෙහි දමන ලද දර කෑල්ලක් මෙන් මෙවැනි රාත්රියෙහි වාසය කරම්හ. අපට වැඩි අවාසනා වන්තවූ අන් කවරෙක් නම් වේද?”
ඉක්බිති ඒ වනලැහැබෙහි අරක්ගත් දේවතාවෙක් ඒ භික්ෂුවට අනුකම්පා ඇත්තේ, වැඩ කැමැත්තේ සංවේග කරනු කැමැත්තේ, ඒ භික්ෂුව යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ ඒ භික්ෂුවට ගාථාවෙන් (මෙසේ) කීය.
“නුඹ ආරණ්යයෙහි තනිව, වෙනෙහි දමන ලද දර කෑල්ලක් මෙන් වෙසෙහිය. ස්වර්ගයට යන්නහු පතන්නාවූ නිරිසතුන්මෙන් එසේවූ යුෂ්මතුන්ද බොහෝ දෙනෙක් පතත්.
ඉක්බිති ඒ භික්ෂුතෙම ඒ දේවතාවා විසින් සංවේග කරන ලද්දේ සංවේගයට පැමිණියේය.
9. 1. 10.
සජ්ඣාය සූත්රය
230. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක එක්තරා භික්ෂුවක් කොසොල්දනව්වෙහි එක්තරා වනලැහැබෙක වෙසෙයි. ඒ භික්ෂුව වනාහි පෙර ඉතා බොහෝ වේලා (ධර්මය) සජඣායනා කිරීමෙහි යෙදී වාසය කෙළේය. නමුත් හෙතෙම පසු කලෙක උත්සාහය අඩු වූයේ නිශ්ශබ්ද වූයේ ඵලසමවත් සුවයෙන් කල් යවයි.
ඉක්බිති ඒ වනලැහැබෙහි අරක්ගත් දේවතාවා ඒ භික්ෂුවගෙන් ධර්මයක් නොඅසන්නේ ඒ භික්ෂුව යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ ඒ භික්ෂුවට ගාථායෙන් මෙසේ කීය:
“මහණ, නුඹ භික්ෂූන් සමග වෙසෙමින් කවර හෙයෙකින් ධර්මපදයන් සජඣායනා නොකරන්නෙහිද? ධර්මය අසා ප්රසාදය ලබයි. මේ ආත්මභාවයෙහිම ප්රශංසාවද ලබයි.”
“යම්තාක් ආර්ය්ය මාර්ගයෙන් (නිවන් අවබෝධයට) නොපැමිණියෙමුද (ඒ තාක්) පෙර ධර්මපදයන්හි ආශාව මා තුළ වූයේය. යම් හේතුවකින් (දැන්) ආර්ය්යමාර්ගයෙන් යුක්ත යෙම්ද, (එහෙයින් ධර්මය සජඣායනා නොකරම්හ,) ඇසින් දුටු රූපයක් හෝ කණින් ඇසූ ශබ්දයක් හෝ කයින් ස්පර්ශකළ ස්පර්ශයක් හෝ වේද, (ඒ සියල්ලම අනිත්යාදී වශයෙන්) දැන බැහැරලීම ආර්ය්යයෝ කියත්.”
9. 1. 11.
අයෝනිසෝ සූත්රය
231. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක එක්තරා භික්ෂුවක් කොසොල්දනව්වෙහි එක්තරා වනලැහැබෙක වෙසෙයි. එකල වනාහි ඒ මහණතෙම දහවල් විවේකයට ගියේ ලාමක අකුසල විතර්කයන් සිතයි. ඒ කවරේද? කාමයන් පිළිබඳ කල්පනාය, ව්යාපාදය පිළිබඳ කල්පනාය, විහිංසාව පිළිබඳ කල්පනාය යනුයි.
ඉක්බිති ඒ වනලැහැබෙහි අරක්ගත් දේවතාවා ඒ භික්ෂුවට අනුකම්පා ඇත්තේ, වැඩ කැමැත්තේ, ඒ භික්ෂුව සංවේග කරනු කැමැත්තේ, ඒ භික්ෂුව යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ ඒ භික්ෂුවට ගාථායෙන් (මෙසේ කීය:
“නුනුවණින් මෙනෙහි කිරීම නිසා පාප විතර්කයන් විසින් පෙළනු ලබන්නෙහිය, මේ අනුවණ කමින් මෙනෙහි කිරීම බැහැර කරව, නුවණින් මෙනෙහි කිරීමෙන් කල්පනා කරව.
“ශාස්තෲන්වහන්සේද, ධර්මයද, සඞ්ඝයාද මෙනෙහි කොට ඒකාන්තයෙන්ම ප්රීතියටද බලවත් ප්රීතියට හා සැපයටද, පැමිණෙන්නෙහිය. එයින් ප්රීතිය බහුල කොට ඇත්තෙක්ව දුක් කෙළවර කරන්නෙහිය.”
ඉක්බිති ඒ මහණතෙම ඒ දේවතාවා විසින් සංවේග කරන ලද්දේ මහත් සංවේගයට පැමිණියේය.
9. 1. 12.
මජ්ඣන්තික සූත්රය
232. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක එක්තරා භික්ෂුවක් කොසොල්දනව්වෙහි එක්තරා වනලැහැබෙක වසයි. ඉක්බිති ඒ වනලැහැබ අරක්ගත් දේවතාවා ඒ භික්ෂුව යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, ඒ භික්ෂුව සමීපයෙහි මේ ගාථාව කීය:
“ඉර මුදුන් කාලය පැමිණි කල්හි පක්ෂීන් සන්සුන්ව හුන් විට මහ වනය මහ හඬ පතුරුවන්නක් මෙනි. එය මට බියක් සේ වැටහෙයි.”
[භික්ෂුව:]
“ඉර මුදුන් කාලය පැමිණි කල්හි, පක්ෂීන් සන්සුන්ව හුන් විට මහා වනය ශබ්ද කරන්නාක් මෙනි. ඒ මට හිතට මහත් සතුටක් සේ වැටහෙයි.”
9. 1. 13.
පාකතින්ද්රිය සූත්රය
233. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක බොහෝ භික්ෂූහු උඩඟු වූවෝ, උස්ව නැඟි මාන නළ ඇත්තෝ, චපල වූවෝ, අසංවර වචන ඇත්තෝ, මුළාවූ සිහි ඇත්තෝ, නුවණ නැත්තෝ, සමාධි නැත්තෝ, නොදැමුණු ඉන්ද්රිය ඇත්තෝ කොසොල්දනව්වෙහි එක්තරා වනලැහැබෙක වෙසෙති.
ඉක්බිති ඒ වන ලැහැබෙහි අරක්ගත් දේවතාවා ඒ භික්ෂූන්ට අනුකම්පා ඇත්තේ, වැඩ කැමැත්තේ, ඒ භික්ෂූන් සංවේග කරනු කැමැත්තේ ඒ භික්ෂූන් යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, ඒ භික්ෂූන්ට ගාථායෙන් (මෙසේ) කීය: