9. 1. 3.
කස්සපගොත්ත සූත්‍රය
223. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක ආයුෂ්මත් කාශ්‍යපගෝත්‍ර තෙම කොසොල් රට එක්තරා වනලැහැබෙක වෙසෙයි. එසමයෙහි වනාහි ආයුෂ්මත් කාශ්‍යපගෝත්‍ර තෙම දහවල් විවේකයට ගියේ එක්තරා වැද්දෙකුට (මුවන් මරන්නෙකුට) අවවාද කරයි.
ඉක්බිති ඒ වනලැහැබෙහි අරක්ගත් දේවතාවා ආයුෂ්මත් කාශ්‍යපගෝත්‍රයාහට අනුකම්පා කරන්නේ, වැඩ කැමැත්තේ, ආයුෂ්මත් කාශ්‍යප ගෝත්‍රයන් උනන්දු කරවනු කැමැත්තේ, කාශ්‍යපගෝත්‍රයන් යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් කාශ්‍යපගෝත්‍රට ගාථායෙන් (මෙසේ) කීය:
“පර්‍වත දුර්‍ගයෙහි (යෑමට අපහසු තැනෙහි) හැසිරෙන්නාවූ, නුනුවණ නැත්තාවූ කාරණාකාරණා දැනීමෙහි සමර්ත්‍ථනොවූ මුව වැද්දෙකුට නොකල්හි අවවාද කරන්නාවූ මහණතෙම අඥානමෙන් මට වැටහේ.
“හෙතෙම අසයි, එහි අර්ත්‍ථය නොදනී, බලයි, එහෙත් නොදකී. බණ කියන කල්හි ඒ අඥානතෙම අර්ත්‍ථය අවබෝධ නොකෙරෙයි.
“කාශ්‍යපය, තෝ ඉදින් පහන් (ආලෝක) දසයක් දරන්නෙහි නමුත් හෙතෙම (හේතු) රූපයන් නොදකීමය. යම් හේතුවකින් ඕහට (ප්‍රඥා) ඇස නැද්ද, එහෙයිනි.”
ඉක්බිත් ආයුෂ්මත් කාශ්‍යපගෝත්‍ර තෙම ඒ දේවතාවා විසින් උනන්දු කරන ලද්දේ සංවේගයට පැමිණියේය.
9. 1. 4.
සම්බහුලා සූත්‍රය
224. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක බොහෝ භික්‍ෂුහු කොසොල් රට එක්තරා වනලැහැබෙක වසත්. ඉක්බිති ඒ භික්‍ෂූහු වස් වැසුවා තුන් මාසය ඇවෑමෙන් චාරිකාවට (ගමන් කිරීමට) ගියහ. ඉක්බිති ඒ වන ලැහැබෙහි අරක්ගත් දේවතාවා ඒ භික්‍ෂූන් නොදක්නේ, ඒ වේලාවෙහි මේ ගාථාව කීය:
“හිස්වූ බොහෝ ආසන දැක මට අද නොඇල්මක් මෙන් වැටහෙයි. විසිතුරු ධර්‍ම කථා ඇත්තාවූ, බහුශ්‍රුතවූ ඒ මේ ගෞතම ශ්‍රාවකයෝ කොයි වැඩියෝ ද?”
මෙසේ කීකල අනික් දේවතාවෙක් ඒ දේවතාවාට ගාථායෙන් පිළිතුරු කීය:
“(ඇතැම් කෙනෙක්) මගධ දනව්වට ගියෝය. (ඇතැම් කෙනෙක්) කොසොල් දනව්වට ගියෝය. ඇතැම් කෙනෙක් වැදෑ රටට ගියෝය. භික්‍ෂූහු එකම ස්ථානයෙක ඇල්මක් නැතිව හැසිරෙන්නාහු ගෙවල් නැති මුවන් මෙන් වෙසෙත්.”
9. 1. 5.
ආනන්ද සූත්‍රය
225. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරතෙම කොසොල් රට එක්තරා වනලැහැබෙක වෙසෙයි.
එකල වනාහි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරතෙම බොහෝ වේලා ගිහියන් සැනසීමෙහි යෙදී වෙසෙයි.
ඉක්බිති ඒ වනලැහැබ අරක්ගත් දේවතාවෙක් ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන්ට අනුකම්පා කරන්නේ, හිතවැඩ කැමැත්තේ, ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් සංවේග කරනු කැමැත්තේ, උන්වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන්ට ගාථායෙන් කීය:
“රුක්මුල් සෙනසුන්හි විසීමට පැමිණ, නිර්‍වාණය හෘදයෙහි බහාගෙන වසන්නාවූ නුඹ වහන්සේට (ගිහියන් සමග කරන) මේ බිලි බිලි කථාව කුමක් කරන්නේ ද? ගෞතම ශ්‍රාවකයන් වහන්ස, පුමාද නැත්තෙක් වව. භාවනාවෙහි යෙදෙව.”
ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරතෙම ඒ දේවතාවා විසින් සංවේග කරන ලද්දේ මහත් සංවේග බවට පැමිණියේය.
9. 1. 6.
අනුරුද්ධ සූත්‍රය
226. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරතෙම කොසොල් රට එක්තරා වනලැහැබෙක වෙසෙයි. ඉක්බිති ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන්ගේ පෙර ආත්ම භාවයෙහි භාර්‍ය්‍යාව වූ ජාලිනී නම් වූ එක්තරා තව්තිසා වැසි දෙව්දුවක් ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන්ට ගාථායෙන් (මෙසේ) කීවාය:
“ඔබ පෙර යම් දෙව් ලොවක වුසූයෙහි ද එහි සිත පිහිටුවා, (එවිට) සියලු කාමයන් සර්‍වප්‍රකාරයෙන් සමෘද්‍ධවූ තව්තිසා දෙවියන් කෙරෙහි දෙවඟනන් විසින් පෙරටු කරන ලදුව, පිරිවරණ ලදුව (ඔබ) බබළන්නෙහිය.