9. 1. 4.
සම්බහුලා සූත්‍රය
224. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක බොහෝ භික්‍ෂුහු කොසොල් රට එක්තරා වනලැහැබෙක වසත්. ඉක්බිති ඒ භික්‍ෂූහු වස් වැසුවා තුන් මාසය ඇවෑමෙන් චාරිකාවට (ගමන් කිරීමට) ගියහ. ඉක්බිති ඒ වන ලැහැබෙහි අරක්ගත් දේවතාවා ඒ භික්‍ෂූන් නොදක්නේ, ඒ වේලාවෙහි මේ ගාථාව කීය:
“හිස්වූ බොහෝ ආසන දැක මට අද නොඇල්මක් මෙන් වැටහෙයි. විසිතුරු ධර්‍ම කථා ඇත්තාවූ, බහුශ්‍රුතවූ ඒ මේ ගෞතම ශ්‍රාවකයෝ කොයි වැඩියෝ ද?”
මෙසේ කීකල අනික් දේවතාවෙක් ඒ දේවතාවාට ගාථායෙන් පිළිතුරු කීය:
“(ඇතැම් කෙනෙක්) මගධ දනව්වට ගියෝය. (ඇතැම් කෙනෙක්) කොසොල් දනව්වට ගියෝය. ඇතැම් කෙනෙක් වැදෑ රටට ගියෝය. භික්‍ෂූහු එකම ස්ථානයෙක ඇල්මක් නැතිව හැසිරෙන්නාහු ගෙවල් නැති මුවන් මෙන් වෙසෙත්.”
9. 1. 5.
ආනන්ද සූත්‍රය
225. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරතෙම කොසොල් රට එක්තරා වනලැහැබෙක වෙසෙයි.
එකල වනාහි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරතෙම බොහෝ වේලා ගිහියන් සැනසීමෙහි යෙදී වෙසෙයි.
ඉක්බිති ඒ වනලැහැබ අරක්ගත් දේවතාවෙක් ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන්ට අනුකම්පා කරන්නේ, හිතවැඩ කැමැත්තේ, ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් සංවේග කරනු කැමැත්තේ, උන්වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන්ට ගාථායෙන් කීය:
“රුක්මුල් සෙනසුන්හි විසීමට පැමිණ, නිර්‍වාණය හෘදයෙහි බහාගෙන වසන්නාවූ නුඹ වහන්සේට (ගිහියන් සමග කරන) මේ බිලි බිලි කථාව කුමක් කරන්නේ ද? ගෞතම ශ්‍රාවකයන් වහන්ස, පුමාද නැත්තෙක් වව. භාවනාවෙහි යෙදෙව.”
ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරතෙම ඒ දේවතාවා විසින් සංවේග කරන ලද්දේ මහත් සංවේග බවට පැමිණියේය.
9. 1. 6.
අනුරුද්ධ සූත්‍රය
226. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරතෙම කොසොල් රට එක්තරා වනලැහැබෙක වෙසෙයි. ඉක්බිති ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන්ගේ පෙර ආත්ම භාවයෙහි භාර්‍ය්‍යාව වූ ජාලිනී නම් වූ එක්තරා තව්තිසා වැසි දෙව්දුවක් ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන්ට ගාථායෙන් (මෙසේ) කීවාය:
“ඔබ පෙර යම් දෙව් ලොවක වුසූයෙහි ද එහි සිත පිහිටුවා, (එවිට) සියලු කාමයන් සර්‍වප්‍රකාරයෙන් සමෘද්‍ධවූ තව්තිසා දෙවියන් කෙරෙහි දෙවඟනන් විසින් පෙරටු කරන ලදුව, පිරිවරණ ලදුව (ඔබ) බබළන්නෙහිය.
“දිව්‍යඞ්ගනාවෝ දුකට පැමිණියාහුය, පඤ්චස්කන්‍ධයෙහි පිහිටියාහුය. දිව්‍යඞ්ගනාවන් විසින් පතනලද ඒ සත්ත්‍වයෝද දුකට පැමිණියාහුය.”
“යම් කෙනෙක් ඉසුරු ඇත්තාවු, තාවතිංස දිව්‍ය පුරුෂයන්ගේ වාසස්ථානවූ, නන්‍දන නම් වූ උද්‍යානවනය නොදකිත් ද, ඔවුහු සැපය නොදකිත්.”
[අනුරුද්ධො:]
“අඥානවූ නුඹ රහතුන්ගේ වචනය නියම ලෙසින් නොදන්නෙහිය. සියලු සංස්කාරයෝ අනිත්‍යයෝය, ඉපදීම හා නැසීම ස්වභාවකොට ඇත්තෝය, ඉපිද නැතිවෙත්. ඒ සංස්කාරයන්ගේ සංසිඳීමය කියන ලද නිවන සැපය.
“ජාලිනිය, දේවකායෙහි නැවත මාගේ විසීමෙක් නැත. ඒ ඒ තන්හි ඉපදීමයයි කියන ලද සංසාරය නිමවන ලදී. දැන් නැවත ඉපදීමක් මට නැත.”
9. 1. 7.
නාගදත්ත සූත්‍රය
227. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක ආයුෂ්මත් නාගදත්ත ස්ථවිරතෙම කොසොල්දනව්වෙහි එක්තරා වනලැහැබෙක වෙසෙයි. එකල වනාහි ආයුෂ්මත් නාගදත්ත ස්ථවිරතෙම ඉතා කල් ඇතිව ගමට පිඬු පිණිස පිවිසෙයි. ඉතා දවල් ඉන් නික්මයෙයි. ඉක්බිති ඒ වනලැහැබෙහි අරක්ගත් දේවතාවෙක් ආයුෂ්මත් නාගදත්ත තෙරුන්ට අනුකම්පා ඇත්තේ, වැඩ කැමැත්තේ, ආයුෂ්මත් නාගදත්තයන් සංවේග කරනු කැමැත්තේ නාගදත්ත තෙරුන් යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් නාගදත්තයන්ට ගාථායෙන් (මෙසේ) කීය:
“නාගදත්තය, අලුයම්කලම පිඬු පිණිස ගොස්, ඉතා දවල් ආපසු පැමිණ, ගිහියන් හා ගැටුනේ, සමාන සුව දුක් ඇත්තෙක්ව, කාලවේලාදිය ඉක්මවා හැසිරෙන්නෙහිය,
“ඉතා බුහුටිවූ, කුලයන්හි බැඳුනාවූ, ඒ නාගදත්ත ගැන බය ඇත්තෙමි. බලවත්වූ, මරණයට රජවූ, මාරයාගේ වශයට (හෙතෙම) නොපැමිණේවා.”
ඉක්බිති ආයුෂ්මත් නාගදත්ත ස්ථවිරතෙම ඒ දේවතාවා විසින් සංවේග කරන ලද්දේ මහත් සංවේග බවට පැමිණියේය.
9. 1. 8.
කුලඝරණී සූත්‍රය
228. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක එක්තරා භික්‍ෂුවක් කොසොල්දනව්වෙහි එක්තරා වනලැහැබෙක වෙසෙයි. එකල ඒ මහණතෙම එක්තරා කුලයෙක ඉතා ඇතුලත් බවට පැමිණියේව වෙසෙයි.
ඉක්බිති ඒ වනලැහැබෙහි අරක්ගත් යම් දේවතාවෙක් ඒ භික්‍ෂුවට අනුකම්පා ඇත්තේ, වැඩ කැමැත්තේ ඒ භික්‍ෂුව සංවේග කරනු කැමැත්තේ, ඒ කුලයෙහි යම් කුල ගැහැණියක් ඇද්ද ඇගේ වේශය මවා ඒ භික්‍ෂුව යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ ඒ භික්‍ෂුවට ගාථායෙන් (මෙසේ) කීය:
“ගංතෙරවලද, විඩා සංසිඳුවන තැනද, සභාවලද, වීථිවලද ජනයෝ ‘මා’ යිද ‘තා’ යිද (එකිනෙකා ගැන) කථා කෙරෙත්. ඒ කුමන කරුණෙකින්ද?