9. 1. 2.
උපට්ඨාන සූත්රය
222. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක එක්තරා භික්ෂුවක් කොසොල් රට එක්තරා වනලැහැබෙක වෙසෙයි. එකල වනාහි ඒ භික්ෂුව දහවල් විවේකයට ගියේ නිදයි. ඉක්බිති ඒ වනලැහැබෙහි අරක්ගත් යම් දේවතාවෙක් වූයේද, හෙතෙම ඒ භික්ෂුවට අනුකම්පා සහිතවූයේ, හිත කැමැත්තේ, ඒ භික්ෂුව උනන්දු කරනු කැමැත්තේ, ඒ භික්ෂුව යම් තැනෙකද එතැනට පැමිණියේය.
පැමිණ, ඒ භික්ෂුවට ගාථායෙන් (මෙසේ) කීය:
“මහණ, නැගිටුව, කිම නිදන්නෙහි ද? නින්දෙන් තට කිනම් ප්රයෝජනයෙක් ද? ක්ලේශාතුරවූ, තෘෂ්ණා නමැති හුලින් හෘදය විදින ලද්දාවූ, වෙහෙසෙන්නාවූ, යුෂ්මත්හුට කවර නින්දක් ද?
“යම් බඳු ශ්රද්ධායෙකින් ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදි වූයෙහි ද, ඒ ශ්රද්ධාවම වඩා නින්දට වසඟ නොවව.”
“යම් කාමයන්හි නුවණ මඳ වූ පෘතග්ජන තෙමේ මුසපත් වූයේ ද, එම කාමයෝ අනිත්යයෝය. නස්නා සුලුයහ. බන්ධනයන් කෙරෙන් මිදුනාවූ, තණ්හාවෙන් නොබැඳුනාවූ, ආශාවයන් නැතිකළ (රහත්) පැවිද්දෙකු (වූ මා) කවර හෙයකින් තවන්නේ ද?
“ඡන්දරාගය වැනසීම නිසාද, අවිද්යාව ඉක්මවූ බැවින්ද, ඒ ඥානය අතිශයින් පිරිසිදුය, (එබඳු නුවණැති) පැවිද්දකු කවර හෙයකින් තවන්නේ ද?
“විද්යායෙන් අවිද්යාව බිඳ, (කාමාදී) ආශ්රවයන් ක්ෂය කිරීම් හේතුවෙන් ශෝක නැත්තා වූ, උපායාස (තද ශෝක) නැත්තාවූ පැවිද්දකු කවර හෙයකින් (නිදිව) තවන්නේ ද?
“සම්පූර්ණ වීර්ය්ය ඇති, නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති, දැඩි පරාක්රමයෙන් යුත්, නිවන් පතන්නාවූ පැවිද්දකු කවර හෙයකින් නිදීම තවන්නේ ද?”
9. 1. 3.
කස්සපගොත්ත සූත්රය
223. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක ආයුෂ්මත් කාශ්යපගෝත්ර තෙම කොසොල් රට එක්තරා වනලැහැබෙක වෙසෙයි. එසමයෙහි වනාහි ආයුෂ්මත් කාශ්යපගෝත්ර තෙම දහවල් විවේකයට ගියේ එක්තරා වැද්දෙකුට (මුවන් මරන්නෙකුට) අවවාද කරයි.
ඉක්බිති ඒ වනලැහැබෙහි අරක්ගත් දේවතාවා ආයුෂ්මත් කාශ්යපගෝත්රයාහට අනුකම්පා කරන්නේ, වැඩ කැමැත්තේ, ආයුෂ්මත් කාශ්යප ගෝත්රයන් උනන්දු කරවනු කැමැත්තේ, කාශ්යපගෝත්රයන් යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් කාශ්යපගෝත්රට ගාථායෙන් (මෙසේ) කීය:
“පර්වත දුර්ගයෙහි (යෑමට අපහසු තැනෙහි) හැසිරෙන්නාවූ, නුනුවණ නැත්තාවූ කාරණාකාරණා දැනීමෙහි සමර්ත්ථනොවූ මුව වැද්දෙකුට නොකල්හි අවවාද කරන්නාවූ මහණතෙම අඥානමෙන් මට වැටහේ.
“හෙතෙම අසයි, එහි අර්ත්ථය නොදනී, බලයි, එහෙත් නොදකී. බණ කියන කල්හි ඒ අඥානතෙම අර්ත්ථය අවබෝධ නොකෙරෙයි.
“කාශ්යපය, තෝ ඉදින් පහන් (ආලෝක) දසයක් දරන්නෙහි නමුත් හෙතෙම (හේතු) රූපයන් නොදකීමය. යම් හේතුවකින් ඕහට (ප්රඥා) ඇස නැද්ද, එහෙයිනි.”
ඉක්බිත් ආයුෂ්මත් කාශ්යපගෝත්ර තෙම ඒ දේවතාවා විසින් උනන්දු කරන ලද්දේ සංවේගයට පැමිණියේය.