9. 1. 13.
පාකතින්ද්‍රිය සූත්‍රය
233. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක බොහෝ භික්‍ෂූහු උඩඟු වූවෝ, උස්ව නැඟි මාන නළ ඇත්තෝ, චපල වූවෝ, අසංවර වචන ඇත්තෝ, මුළාවූ සිහි ඇත්තෝ, නුවණ නැත්තෝ, සමාධි නැත්තෝ, නොදැමුණු ඉන්‍ද්‍රිය ඇත්තෝ කොසොල්දනව්වෙහි එක්තරා වනලැහැබෙක වෙසෙති.
ඉක්බිති ඒ වන ලැහැබෙහි අරක්ගත් දේවතාවා ඒ භික්‍ෂූන්ට අනුකම්පා ඇත්තේ, වැඩ කැමැත්තේ, ඒ භික්‍ෂූන් සංවේග කරනු කැමැත්තේ ඒ භික්‍ෂූන් යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, ඒ භික්‍ෂූන්ට ගාථායෙන් (මෙසේ) කීය:
“ගෞතම ශ්‍රාවකවූ භික්‍ෂූහු පෙර සැපවූ ජීවිකා වෘත්ති ඇත්තෝ වූහ. ආසා නැත්තෝව පිඬු සොයන්නෝ වූහ. (ආශා) රහිතයෝව සෙනසුන් සොයන්නෝ වූහ. ලෝකයෙහි අනිත්‍ය බව දැන දුක් කෙළවර කළාහුය.
“මම සංඝයාට ඇඳිලිකොට කියමි. ඇතැම් මහණ කෙනෙක් ගමෙහි ගම්මුදලියන් මෙන් තමා පෝෂ්‍ය කිරීමට අපහසු වූවෙක් කොට, කකා ක්ලේශයන්ගෙන් මුසපත්ව, අනුන්ගේ ගෙවල්වල නිදත්. ඔහු (ආචාර්‍ය්‍ය උපාධ්‍යායන් විසින්) බැහැර කරන ලද්දාහුය. පිහිට රහිතයෝය, ඔවුහු මළවුන් මෙනි.
“යම් මහණ කෙනෙක් ප්‍රමාදව වෙසෙත්ද, ඔවුන් සඳහා මා විසින් මෙය කියන ලද්දේය. යම් මහණකෙනෙක් අප්‍රමාදව වෙසෙත්ද, උන්වහන්සේට මම නමස්කාර කරමි.”
ඉක්බිති ඒ භික්‍ෂූහු ඒ දේවතාවා විසින් සංවේග කරන ලද්දේ මහත් සංවේගයට පැමිණියෝය.
9. 1. 14.
පදුමපුප්ඵ සූත්‍රය
234. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක එක්තරා භික්‍ෂුවක් කොසොල්දනව්වෙහි එක්තරා වනලැහැබෙක වෙසෙයි. එකල වනාහි ඒ භික්‍ෂුතෙම පිණ්ඩපාතය නිමවා බත් වළඳා පොකුණට බැස පියුමක් සිඹී.
ඉක්බිති වනාහි ඒ වනලැහැබෙහි අරක්ගත් දේවතාවා ඒ භික්‍ෂුව කෙරෙහි අනුකම්පා ඇත්තේ, වැඩ කැමැත්තේ, ඒ භික්‍ෂුව සංවේග කරනු කැමැත්තේ, ඒ භික්‍ෂුව යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, ඒ භික්‍ෂුවට ගාථායෙන් (මෙසේ) කීය:
“නොදෙන ලද්දාවූ යම් මේ නෙලුම් මලක් සිඹිනෙහිද, ඒ මෙය සොරකම් කිරීම් අතුරෙන් එක් කොට්ඨාසයෙකි, නිදුකාණෙනි, (එහෙයින් ඔබ) සුවඳ සොරෙක් වෙහිය.”
[භික්‍ෂුව:]
“මම මේ නෙලුම් මල ගෙන නොයමි, නොකඩමි, දුර සිට සිඹිමි, එසේ ඇති කල කවර කාරණයෙකින් සුවඳ සොරායයි කියනු ලැබේද?
[දේවතාවා:]
“යම් තවුසෙක් තෙම නෙලුම් අල හාරාද, පියුම් නෙලයිද, මෙසේ අපිරිසිදු කර්‍මාන්ත ඇති ඒ තවුස් තෙම කවර හෙයකින් සුවඳ හොරාය කියා හෝ මල් හොරාය කියා හෝ කියනු නොලැබේද?”
“ඒ පුරුෂ තෙම බොහෝ පව් ඇත්තෙකි. හෙතෙම කිරිමවක් හැඳි වස්ත්‍රය (මල මූත්‍රාදියෙන්) ගැවසුනාක් මෙන්, කෙලෙසින් කිලිටිවූයේ වෙයි. එබඳු ඒ පවිටා කෙරෙහි මාගේ අවවාදයක් නැත. (ඔබට නම්) අවවාදයක් කියන්ට සුදුසු වෙමි.
“බහුල කෙලෙස් නැත්තාවූ, නිරන්තරයෙන් පිරිසිදු භාවය සොයන්නාවූ පුද්ගලයාගේ කෙසඟක් පමණවූ දෝෂයද වළාපටලයක් පමණ වූවක් මෙන් වැටහේ.”