9. 1. 14.
පදුමපුප්ඵ සූත්‍රය
234. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක එක්තරා භික්‍ෂුවක් කොසොල්දනව්වෙහි එක්තරා වනලැහැබෙක වෙසෙයි. එකල වනාහි ඒ භික්‍ෂුතෙම පිණ්ඩපාතය නිමවා බත් වළඳා පොකුණට බැස පියුමක් සිඹී.
ඉක්බිති වනාහි ඒ වනලැහැබෙහි අරක්ගත් දේවතාවා ඒ භික්‍ෂුව කෙරෙහි අනුකම්පා ඇත්තේ, වැඩ කැමැත්තේ, ඒ භික්‍ෂුව සංවේග කරනු කැමැත්තේ, ඒ භික්‍ෂුව යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, ඒ භික්‍ෂුවට ගාථායෙන් (මෙසේ) කීය:
“නොදෙන ලද්දාවූ යම් මේ නෙලුම් මලක් සිඹිනෙහිද, ඒ මෙය සොරකම් කිරීම් අතුරෙන් එක් කොට්ඨාසයෙකි, නිදුකාණෙනි, (එහෙයින් ඔබ) සුවඳ සොරෙක් වෙහිය.”
[භික්‍ෂුව:]
“මම මේ නෙලුම් මල ගෙන නොයමි, නොකඩමි, දුර සිට සිඹිමි, එසේ ඇති කල කවර කාරණයෙකින් සුවඳ සොරායයි කියනු ලැබේද?
[දේවතාවා:]
“යම් තවුසෙක් තෙම නෙලුම් අල හාරාද, පියුම් නෙලයිද, මෙසේ අපිරිසිදු කර්‍මාන්ත ඇති ඒ තවුස් තෙම කවර හෙයකින් සුවඳ හොරාය කියා හෝ මල් හොරාය කියා හෝ කියනු නොලැබේද?”
“ඒ පුරුෂ තෙම බොහෝ පව් ඇත්තෙකි. හෙතෙම කිරිමවක් හැඳි වස්ත්‍රය (මල මූත්‍රාදියෙන්) ගැවසුනාක් මෙන්, කෙලෙසින් කිලිටිවූයේ වෙයි. එබඳු ඒ පවිටා කෙරෙහි මාගේ අවවාදයක් නැත. (ඔබට නම්) අවවාදයක් කියන්ට සුදුසු වෙමි.
“බහුල කෙලෙස් නැත්තාවූ, නිරන්තරයෙන් පිරිසිදු භාවය සොයන්නාවූ පුද්ගලයාගේ කෙසඟක් පමණවූ දෝෂයද වළාපටලයක් පමණ වූවක් මෙන් වැටහේ.”
[භික්‍ෂුව:]
“යක්‍ෂය, තෝ මා ඒකාන්තයෙන් දන්නෙහිය. නැවතද මට අනුකම්පා කරන්නෙහිය. යම් කලෙක මෙබන්දක් දක්නෙහිද, යක්‍ෂය, මට නැවත ද ඒ කියව.”
[දේවතාවා:]
“මහණ, මම ඔබ නිසා ජීවත් නොවෙමි. ඔබගේ මෙහෙකරුවෙක්ද නොවෙමි. යම් කර්‍මයෙකින් සුගතියට යන්නේද, (ඒ කර්‍මය) ඔබම දනුව.”
ඉක්බිති ඒ මහණ ඒ දේවතාවා විසින් සංවේග කරන ලද්දේ මහත් සංවේගයට පැමිණියේය.
වන වර්ගය පළමුවැනියි.
එහි උදානය:
විවේක, උපට්ඨාන, කස්සපගොත්ත, සම්බහුලා, ආනන්ද, අනුරුද්ධ, නාගදත්ත, කුලඝරණී, වජ්ජිපුත්ත, වෙසාලී, සජ්ඣාය, අයොනිසො, මජ්ඣන්තික, පාකතින්ද්‍රිය සහ පදුමපුප්ඵ යන සූත්‍ර දහහතර මේ වර්ගයෙහි වෙති.
වනසංයුත්තය නිමියේය.
10. යක්ඛ සංයුත්තය
1. ඉන්දක වර්ගය
10. 1. 1.
1. ඉන්‍දක සූත්‍රය
235. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි ඉන්‍දකූට පර්‍වතයෙහි ඉන්‍දක නම් යක්‍ෂයාගේ භවනයෙහි වැඩවසන සේක. ඉක්බිති ඉන්‍දක යක්‍ෂතෙම වනාහි භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් (මෙසේ) කීය.
“සම්බුදුවරයෝ රූපය ජීවය නොවේයයි කියති. ඉදික් මේ (සත්ත්‍වවකෙම) මේ සිරුර කෙසේ නම් විඳීද? මේ සත්ත්‍වයාගේ ඇට හා මස්පිඬු කොයි සිට ඒද? මේ (සත්ත්‍වතෙම) කවරහෙයකින් මවුකුසෙහි ඇලී සිටීද?”
[භාග්‍යවතුන් වහන්සේ:]
“පළමුව ප්‍රතිසන්‍ධි විඥානයත් සමග කලලය වේ. ඒ කලලයෙන් අර්බුදය වේ, ඒ අර්බුදයෙන් පේශිය හට ගනී, ඒ පේශියෙන් ඝන නම් මස්පිඩක් හටගණී. ඒ ඝන නම්වූ මස්පිඩෙන් පිළික පසක් හටගණී, ඉන්පසු කෙස්ද, ලොම්ද. නියද හටගණී.
“ඔහුගේ මව යම් ආහාරයකුත් යම් පානයකුත් යම් බොජුනකුත් වළඳාද, මව් කුසට පැමිණි ඒ සත්ත්‍වතෙම ඒ ආහාර පානාදියෙන් ඒ මව් කුසෙහි යැපෙයි.”