8. 1. 9.
කොණ්ඩඤ්ඤ සූත්රය
217. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්යවතුන් වහන්සේ රජගහනුවර කලන්දක නිවාප නම්වූ වේළුවනාරාමයෙහි වැඩවසන සේක. ඉක්බිති ආයුෂ්මත් අඤඤාකොණ්ඩඤඤ ස්ථවිරතෙම බොහෝ කලෙකින් භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ භාග්යවතුන් වහන්සේ පා මුල සිරසින් වැටී මුවින් පා සිඹීමද අතින් පිරිමැදීමද කෙරෙයි. භවත් ගෞතමයන් වහන්ස, මම කොණ්ඩඤඤ වෙමි. භවත් සුගතයන් වහන්ස, මම කොණ්ඩඤඤ වෙමියි, නමද ප්රකාශ කරයි.
ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරයන්ට මෙබඳු අදහසෙක් විය: “ආයුෂ්මත් අඤඤාකොණ්ඩඤඤ ස්ථවිරතෙම බොහෝ කලෙකින් භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ භාග්යවතුන් වහන්සේ පා මුල හිසින් වැටී මුවින් පා සිඹීමද අතින් පිරිමැදීමද කෙරෙයි. භාග්යවතුන් වහන්ස, මම කොණ්ඩඤඤ වෙමි. සුගතයන් වහන්ස, මම කොණ්ඩඤඤ වෙමි, කියා නමද ප්රකාශ කරයි. මම ආයුෂ්මත් අඤඤාකොණ්ඩඤඤ තෙරුන් භාග්යවතුන් වහන්සේ හමුයෙහිදී සුදුසු ගාථායෙන් ප්රශංසා කරන්නෙම් නම් ඉතා මැනව” (යි කියායි.)
ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරතෙම අස්නෙන් නැගිට සිව්ර ඒකාංශකොට භාග්යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ මෙසේ කීය: “භාග්යවතුන් වහන්ස, මට (අදහසක්) වැටහෙයි. සුගතයන් වහන්ස, මට (අදහසක්) වැටහෙයි.” “වඞ්ගීසය, තට ඒ වැටහේවා” යි භාග්යවතුන් වහන්සේ වදාළසේක.
ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරතෙම, ආයුෂ්මත් අඤඤාකොණ්ඩඤ්ඤ ස්ථවිරයන් භාග්යවතුන් වහන්සේ හමුයෙහිදී සුදුසු ගාථාවලින් ප්රශංසා කළේය.
“බුද්ධානුබුද්ධවූ, තියුණු වීර්ය්ය ඇති, ඒ කොණ්ඩඤ්ඤ ස්ථවිරතෙම සැප විහරණ ඇති, චිත්තවිවේකයන් නිතර ලබන්නේ වෙයි.
“ශාස්තෘශාසනකාරීවූ ශ්රාවකයකු විසින් යම් මාර්ග ඵලාවබෝධයක් වෙත පැමිණිය යුතුද, අප්රමාදීව හික්මෙන ඒ කොණ්ඩඤ්ඤ තෙරුන් විසින් ඒ සියලු මාර්ගඵලාවබෝධයන් වෙත පැමිණෙනලදී.
“මහානුභාව ඇති, ත්රිවිද්යාලාභී, සිත පිළිබඳ සියලු දේ දැනුමෙහි දක්ෂවූ, බුදුන් විසින් දුන් ධර්ම දායාද ඇති, කොණ්ඩඤ්ඤ ස්ථවිරතෙම ශාස්තෲන් වහන්සේගේ (සිරි) පා වඳී.”
8. 1. 10.
මොග්ගල්ලාන සූත්රය
218. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්යවතුන් වහන්සේ රජගහනුවර ඉසිගිලි පර්වත පාර්ශ්වයෙහි කාළසිලාරාමයෙහි සියලුදෙනම රහත්වූ භික්ෂූන් පන්සියයක් පමණවූ මහත් භික්ෂු සඞඝයා සමග වසන සේක. ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙම තම සිකින් විශේෂයෙන් මිදුනු, කෙලෙස් රහිත ඔවුන්ගේ සිත් සොයයි. (ප්රත්යවේක්ෂා කරයි.)
ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරයන්ට මෙබඳු අදහසෙක් විය: “මේ භාග්යවතුන් වහන්සේ රජගහනුවර ඉසිගිලි පර්වත පාර්ශ්වයෙහි කාළසිලායෙහි සියලුදෙනම රහත්වූ භික්ෂූන් පන්සියයක් පමණවූ මහත් භික්ෂු සඞඝයා සමග වසනසේක. එහි වනාහි මහා මොග්ගල්ලාන ස්ථවිරතෙම තම සිකින් ඔවුන්ගේ විශේෂයෙන් මිදුනු, කෙලෙස් රහිත සිත් සොයයි. මම ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් භාග්යවතුන් වහන්සේ හමුයෙහිදී සුදුසු ගාථායෙන් ප්රශංසා කරන්නෙම් නම් මැනව”
ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරතෙම අස්නෙන් නැගිට සිව්ර ඒකාංශකොට භාග්යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ (වැඳ) මෙසේ කීය: “භාග්යවතුන් වහන්ස, මට (අදහසක්) වැටහෙයි. සුගතයන් වහන්ස, මට (අදහසක්) වැටහෙයි.” “වඞ්ගීසය, තට ඒ වැටහේවා” යි භාග්යවතුන් වහන්සේ වදාළසේක. ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරතෙම, ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් භාග්යවතුන් වහන්සේ ඉදිරියෙහිදී සුදුසු ගාථායෙන් ප්රශංසා කෙළේය.
“ත්රිවිද්යාවත්වූ, (කෙලෙස්) මරු නසා සිටි, (බුද්ධ) ශ්රාවකයෝ පර්වත පාර්ශ්වයෙහි වැඩහුන්, දුක් කෙළවරට පැමිණි, සම්බුදු මුනිහු ආශ්රය කෙරෙත්.
“මහත් ඎධි ඇති මොග්ගල්ලාන ස්ථවිරතෙම ඒ ශ්රාවකයන්ගේ සිත් මිදුනේද කෙලෙස් රහිතදැයි සොයමින් සිතින් ඒ ශ්රාවකයන් පසුපස්සේ යෙයි.
“මෙසේ (ඒ ශ්රාවකයෝද මුගලන් තෙරහුද) සියලු ගුණාඞ්ගයෙන් යුක්තවු දුකින් මිදී පරතෙරට ගියාවූ, අනේක ගුණයන්ගෙන් යුක්තවූ මුනිතුමන් ආශ්රය කෙරෙත්.”
8. 1. 11.
ගග්ගරා සූත්රය
219. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්යවතුන් වහන්සේ චම්පානුවර ගර්ගරා පොකුණුතෙර පන්සියයක් භික්ෂූන්ගෙන් යුත් මහත් භික්ෂුසංඝයාද, සත්සියයක් උපාසකයන්ද, නොයෙක් දහස් ගනන් දේවතාවන්ද සමග වසනසේක. එහි වනාහි භාග්යවතුන් වහන්සේ ශරීර වර්ණයෙන්ද යසසින්ද ඔවුන් පරදවා බබළන සේක.