8. 1. 10.
මොග්ගල්ලාන සූත්‍රය
218. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ඉසිගිලි පර්‍වත පාර්ශ්වයෙහි කාළසිලාරාමයෙහි සියලුදෙනම රහත්වූ භික්‍ෂූන් පන්සියයක් පමණවූ මහත් භික්‍ෂු සඞඝයා සමග වසන සේක. ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙම තම සිකින් විශේෂයෙන් මිදුනු, කෙලෙස් රහිත ඔවුන්ගේ සිත් සොයයි. (ප්‍රත්‍යවේක්‍ෂා කරයි.)
ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරයන්ට මෙබඳු අදහසෙක් විය: “මේ භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ඉසිගිලි පර්‍වත පාර්ශ්වයෙහි කාළසිලායෙහි සියලුදෙනම රහත්වූ භික්‍ෂූන් පන්සියයක් පමණවූ මහත් භික්‍ෂු සඞඝයා සමග වසනසේක. එහි වනාහි මහා මොග්ගල්ලාන ස්ථවිරතෙම තම සිකින් ඔවුන්ගේ විශේෂයෙන් මිදුනු, කෙලෙස් රහිත සිත් සොයයි. මම ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් භාග්‍යවතුන් වහන්සේ හමුයෙහිදී සුදුසු ගාථායෙන් ප්‍රශංසා කරන්නෙම් නම් මැනව”
ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරතෙම අස්නෙන් නැගිට සිව්ර ඒකාංශකොට භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ (වැඳ) මෙසේ කීය: “භාග්‍යවතුන් වහන්ස, මට (අදහසක්) වැටහෙයි. සුගතයන් වහන්ස, මට (අදහසක්) වැටහෙයි.” “වඞ්ගීසය, තට ඒ වැටහේවා” යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරතෙම, ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහිදී සුදුසු ගාථායෙන් ප්‍රශංසා කෙළේය.
“ත්‍රිවිද්‍යාවත්වූ, (කෙලෙස්) මරු නසා සිටි, (බුද්ධ) ශ්‍රාවකයෝ පර්‍වත පාර්ශ්වයෙහි වැඩහුන්, දුක් කෙළවරට පැමිණි, සම්බුදු මුනිහු ආශ්‍රය කෙරෙත්.
“මහත් ඎධි ඇති මොග්ගල්ලාන ස්ථවිරතෙම ඒ ශ්‍රාවකයන්ගේ සිත් මිදුනේද කෙලෙස් රහිතදැයි සොයමින් සිතින් ඒ ශ්‍රාවකයන් පසුපස්සේ යෙයි.
“මෙසේ (ඒ ශ්‍රාවකයෝද මුගලන් තෙරහුද) සියලු ගුණාඞ්ගයෙන් යුක්තවු දුකින් මිදී පරතෙරට ගියාවූ, අනේක ගුණයන්ගෙන් යුක්තවූ මුනිතුමන් ආශ්‍රය කෙරෙත්.”
8. 1. 11.
ගග්ගරා සූත්‍රය
219. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ චම්පානුවර ගර්‍ගරා පොකුණුතෙර පන්සියයක් භික්‍ෂූන්ගෙන් යුත් මහත් භික්‍ෂුසංඝයාද, සත්සියයක් උපාසකයන්ද, නොයෙක් දහස් ගනන් දේවතාවන්ද සමග වසනසේක. එහි වනාහි භාග්‍යවතුන් වහන්සේ ශරීර වර්‍ණයෙන්ද යසසින්ද ඔවුන් පරදවා බබළන සේක.
ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරයන්ට මෙබඳු අදහසෙක් විය: “මේ භාග්‍යවතුන් වහන්සේ චම්පානුවර ගර්‍ගරා පොකුණුතෙර පන්සියයක් භික්‍ෂූන්ගෙන් යුත් මහත් භික්‍ෂුසංඝයාද, සත්සියයක් උපාසකයන්ද, නොයෙක් දහස් ගනන් දේවතාවන්ද සමග වසනසේක. ඒ භාග්‍යවතුන් වහන්සේ වනාහි ශරීර වර්‍ණයෙන්ද යසසින්ද ඔවුන් පරදවා බබළන සේක. මම භාග්‍යවතුන් වහන්සේ හමුයෙහිදී සුදුසු ගාථායෙන් (උන්වහන්සේ) ප්‍රශංසා කරන්නෙම් නම් මැනව”
ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරතෙම අස්නෙන් නැගිට උතුරුසඟ ඒකස්කොට පොරවා භාග්‍යවතුන් වහන්සේට ඇඳිලි බැඳ (වැඳ) මෙය කීය: “භාග්‍යවතුන් වහන්ස, මට (අදහසක්) වැටහෙයි. සුගතයන් වහන්ස, මට (අදහසක්) වැටහෙයි.” “වඞ්ගීසය, තට ඒ වැටහේවා” යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරතෙම, භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි සුදුසු ගාථායෙන් උන්වහන්සේ ප්‍රශංසා කළේය.
“චන්‍ද්‍රතෙම වළා පහවූ අහස්හි යම්සේ බබළාද, නිර්‍මලවූ සූර්‍ය්‍ය තෙමේත් යම්සේ බබළාද, මහා මුනිවූ අංගීරසයන් වහන්ස, නුඹවහන්සේද එසේම යසසින් සියලු ලෝකයා ඉක්මවා බබළනසේක.”
8. 1. 12.
වංගීස සූත්‍රය
220. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවන ආරාමයෙහි වැඩවසනසේක. එකල ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරතෙම අළුත රහත් වූයේව, අර්හත්ඵල සමාපත්ති සැපය විඳිනුයේ ඒ වේලෙහි ගාථාවෙන් මෙසේ කීය:
“පෙර ගමින් ගමද, නුවරින් නුවරද, කව් කීමෙන් මත්ව හැසුරුනම්හ. ඉක්බිති සම්බුද්ධයන් වහන්සේ දුටුම්හ. එසඳ අපට ශ්‍රද්ධා තොමෝ උපනි.
“ඒ තථාගතයන් වහන්සේ මට ස්කන්‍ධායතනධාතුන් (ප්‍රකාශ කෙරෙමින්) ධර්‍මය දෙසූසේක. උන්වහන්සේගේ ධර්‍මය අසා අනගාරිකවූ ශාසනයෙහි පැවිදිවූයෙමි.
“යම් කෙනෙක් නියත නිර්‍වාණ මාර්‍ගයට පැමිණියෝද බොහෝවූ භික්‍ෂූන්ටද භික්‍ෂුනීන්ටද අර්ත්‍ථ පිණිස මුනිතුමා සම්බෝධියට පැමිණිසේක.
“බුදුන්ගේ සමීපයට මාගේ පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් ඊමක් වූයේය. මා විසින් ත්‍රිවිද්‍යාවෝ ලබන ලද්දාහුය. සර්‍වඥයන්වහන්සේගේ අනුශාසනය මා විසින් (සම්පූර්‍ණ) කරන ලද්දේය.
“පෙර විසූ ජාති පිළිවෙළ දනිමි. දිවැස විශේෂයෙන් පිරිසිදු කරන ලද්දේය. (මම දිවැස් ලදිමි.) මම ත්‍රිවිද්‍යා ඇත්තෙක්මි. ඎද්ධිවිධ ඥානයට පැමිණියේ වෙමි. සිත පිළිබඳ සියලු දේ දැනුමෙහි දක්‍ෂවෙමි.”
වංගීස වර්ගය පළමුවැනියි.