8. 1. 2.
අරති සූත්රය
210. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරතෙම අලව් නුවර අග්ගාළව චෛත්යයෙහි ස්වකීය උපාධ්යායවූ ආයුෂ්මත් නිග්රෝධකප්ප ස්ථවිරයන් වහන්සේ සමග වෙසෙයි. එකල වනාහි ආයුෂ්මත් නිග්රෝධකප්ප ස්ථවිරයන් වහන්සේ පසුබත්හි පිණ්ඩපාකය ඉක්මවූයේවෙහෙරට පැමිණෙයි. (එසේ පැමිණ) සවස හෝ පසුවදා පිණ්ඩපාත කාලයෙහි හෝ ඉන් බැහැර යෙති. එකල වනාහි ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරයන්ට ශාසනයෙහි නොඇල්මෙක් උපන්නේ වෙයි. රාගය (කුසල් සිත) විනාශ කරයි.
ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරයන් වහන්සේට මෙබඳු අදහසෙක් විය: “යම්බඳුවූ මට ශාසනයෙහි නොඇල්ම උපදීද, රාගය කුසල් සිත නසයිද, එබඳුවූ මට ඒකාන්තයෙන් අලාභයෙක්ම විය. ලාභයෙක් නොවීය. මවිසින් ඒකාන්තයෙන් නපුරක්ම ලබන ලදී. යහපතක් නොලද්දේය. අන්යයෙක් මාගේ ශාසනයෙහි නොඇල්ම දුරුකොට ඇල්ම උපදවන්නේය යන්නක් කොයින් ලැබිය හැකිද? යම් හේතවකින් මමම මාගේ නොඇල්ම දුරුකොට ඇල්ම උපදවම් නම් ඒ ඉතා මැනව” (කියායි.) ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරයන් වහන්සේ තමාම තමාගේ නොඇල්ම දුරුකොට ඇල්ම උපදවා ඒ වේලෙහි ගාථාවෙන් මෙසේ කීහ:
“(ශාසනයෙහි) නොඇල්මද, (කාම ගුණයන්හි) ඇල්මද, කාමගුණ ඇසුරු කළාවූ (ළාමකවූ) විතර්කයද, සියලු ආකාරයෙන් දුරුකොට කිසි අරමුණෙක ක්ලේශ නමැති මහා වනය නොකරන්නේ (නොවටින්නේ) ද, කෙලෙස් වන නැති, තණ්හා ඇල්ම නැති, හෙතෙම භික්ෂු නම් වේ.
“මෙලොව පොළොවෙහි පිහිටි දේද, අහසෙහි වූ දේද, පෘථිවිය තුළ වූ දේද, යම්කිසි රූපයක් වේ නම් ඒ සියල්ලද, සම්පූර්ණයෙන් දිරයි, අනිත්යයි, දැනගන්නාලද ආත්මභාවය ඇති නුවණැත්තෝ මෙසේ අවබෝධකොට වෙසෙත්.
“ලෞකික සත්ත්වයෝ උපධීන්හිද, දක්නාලද රූපයන්හි හා අසනලද ශබ්දයන්හිද, ගන්ධ රස දෙක්හිද, ස්පර්ශයෙහිද, ගැලුණාහු වෙත්. යමෙක් මේ පඤ්චකාමයෙහි ආශාව දුරුකොට, තණ්හාව නැත්තේ, මෙහි නොඇලේ නම්, ඔහු මුනි යයි කියත්.
“තවද රූපාදී අරමුණු සය ඇසුරු කළ බොහෝ අධර්ම විතර්කයෝ සත්ත්වයන් තුළ බැස ගනිත්. යමෙක් කිසි තැනෙකත් ඒ කෙලෙස් වසයට නොපැමිණෙන්නේද, අශිෂ්ට වචන කියන්නෙක් නොවන්නේද, හෙතෙම භික්ෂු නම් වන්නේය.
“පණ්ඩිතවූ, දීර්ඝ කාලයක් මුලුල්ලෙහි වඩනලද සමාධි ඇති, කුහක නොවූ, පැසුණු ප්රඥා ඇති, තණ්හා නැති, මුනිවරයා නිර්වාණයට පැමිණියේය. එසේ නිර්වාණයට පැමිණ, ක්ලේශ පරිනිර්වාණයෙන් පිරිනිවියේ පිරිනිවෙන කාලය බලාපොරොත්තුවෙයි.”
8. 1. 3.
පේසල අතිමඤඤනා සූත්රය
211. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරතෙම අලව් රට අග්ගාළව චෛත්යයෙහි තමන්ගේ උපාධ්යායවූ ආයුෂ්මත් නිග්රෝධකප්ප ස්ථවිරයන් වහන්සේ සමග වාස කෙරයි. එකල ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරතෙම තමාගේ වැටහෙන ඥානය කරණකොට අනෙක් සිල්වත් භික්ෂූන් අවමන් කරන්නේය.
ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරයන්ට මෙබඳු අදහසෙක් විය: ‘මම මාගේ වැටහෙන ඥානය කරණකොට අනෙක් සිල්වත් භික්ෂූන් අවමන් කරන්නෙමි. එබඳුවූ මට ඉන් ඒකාන්තයෙන් අලාභයෝ වන්නාහ. ලාභයෝ නොවන්නාහ. මා විසින් ඒකාන්තයෙන් එයින් නපුරක්ම ලබන ලද්දේය. යහපතක් නොලබන ලද්දේය.’ ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරතෙම තමාම තමා තුළම පසුතැවිල්ල උපදවා ඒ වේලායෙහි මේ ගාථාවන් කීය:
“ගෞතමය මානය සම්පූර්ණයෙන්ම දුරුකරව. මානයේ අරමුණුද, මානය සමග උපදනා ධර්මද, හාත්පසින් බැහැර කරව. මානයාගේ අරමුණු සහ මානය සමග උපදනා ධර්මයන්දහිද මුළාවූ තැනැත්තේ බොහෝ කාලයක් මුලුල්ලෙහි පසුතැවිල්ල ඇත්තෙක් විය.
“අනුන් ගුණ මකන ස්වභාවයෙන් මැකුනාවූ සත්ත්වයෝ මානයෙන් වැසුනාහු නරකයෙහි වැටෙත්. මානයෙන් වැනසුනු ඒ සත්ත්වයෝ නිරයෙහි ඉපිද දිගුකලක් මුළුල්ලෙහි ශෝක කෙරෙත්.
“ආර්ය්ය මාර්ගයෙන් කෙලෙස් නැසූ සම්යක් ප්රතිපදාවෙහි මනාව පිළිපන්නාවූ මහණතෙම, කිසි කලෙකත් ශෝක නොකෙරේමය, හෙතෙම කීර්තියද, සුවයද අනුභව කරයි. ස්ථිර සිත් ඇති උන්වහන්සේ ධර්මය අවබෝධ කළ තැනැත්තේයයි කියත්.
“එහෙයින් මේ ශාසනයෙහි කෙලෙස් බාධාවන් නැත්තාවූ වීර්ය්යයෙන් යුත් භික්ෂුතෙම නීවරනයන් පහකොට හාත්පසින් පිරිසිදුද වෙයි. සියලු මානය නසා, මාර්ග විද්යාවෙන් කෙලෙස් කෙළවර කරන්නෙක්ද වෙයි. කෙලෙසුන් සමනය කරන්නෙක්ද වෙයි.”