8. 1. 3.
පේසල අතිමඤඤනා සූත්‍රය
211. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරතෙම අලව් රට අග්ගාළව චෛත්‍යයෙහි තමන්ගේ උපාධ්‍යායවූ ආයුෂ්මත් නිග්‍රෝධකප්ප ස්ථවිරයන් වහන්සේ සමග වාස කෙරයි. එකල ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරතෙම තමාගේ වැටහෙන ඥානය කරණකොට අනෙක් සිල්වත් භික්‍ෂූන් අවමන් කරන්නේය.
ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරයන්ට මෙබඳු අදහසෙක් විය: ‘මම මාගේ වැටහෙන ඥානය කරණකොට අනෙක් සිල්වත් භික්‍ෂූන් අවමන් කරන්නෙමි. එබඳුවූ මට ඉන් ඒකාන්තයෙන් අලාභයෝ වන්නාහ. ලාභයෝ නොවන්නාහ. මා විසින් ඒකාන්තයෙන් එයින් නපුරක්ම ලබන ලද්දේය. යහපතක් නොලබන ලද්දේය.’ ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරතෙම තමාම තමා තුළම පසුතැවිල්ල උපදවා ඒ වේලායෙහි මේ ගාථාවන් කීය:
“ගෞතමය මානය සම්පූර්‍ණයෙන්ම දුරුකරව. මානයේ අරමුණුද, මානය සමග උපදනා ධර්‍මද, හාත්පසින් බැහැර කරව. මානයාගේ අරමුණු සහ මානය සමග උපදනා ධර්‍මයන්දහිද මුළාවූ තැනැත්තේ බොහෝ කාලයක් මුලුල්ලෙහි පසුතැවිල්ල ඇත්තෙක් විය.
“අනුන් ගුණ මකන ස්වභාවයෙන් මැකුනාවූ සත්ත්‍වයෝ මානයෙන් වැසුනාහු නරකයෙහි වැටෙත්. මානයෙන් වැනසුනු ඒ සත්ත්‍වයෝ නිරයෙහි ඉපිද දිගුකලක් මුළුල්ලෙහි ශෝක කෙරෙත්.
“ආර්‍ය්‍ය මාර්‍ගයෙන් කෙලෙස් නැසූ සම්‍යක් ප්‍රතිපදාවෙහි මනාව පිළිපන්නාවූ මහණතෙම, කිසි කලෙකත් ශෝක නොකෙරේමය, හෙතෙම කීර්තියද, සුවයද අනුභව කරයි. ස්ථිර සිත් ඇති උන්වහන්සේ ධර්‍මය අවබෝධ කළ තැනැත්තේයයි කියත්.
“එහෙයින් මේ ශාසනයෙහි කෙලෙස් බාධාවන් නැත්තාවූ වීර්‍ය්‍යයෙන් යුත් භික්‍ෂුතෙම නීවරනයන් පහකොට හාත්පසින් පිරිසිදුද වෙයි. සියලු මානය නසා, මාර්‍ග විද්‍යාවෙන් කෙලෙස් කෙළවර කරන්නෙක්ද වෙයි. කෙලෙසුන් සමනය කරන්නෙක්ද වෙයි.”
8. 1. 4.
ආනන්ද සූත්‍රය
212. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරතෙම සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරතෙම පෙරවරුයෙහි හැඳ පෙරවා පාත්‍ර සිවුරු ගෙන, පසු සමණකු වශයෙන් ආයුෂ්මත් වංගීසයන් ගෙන, සැවැත් නුවරට පිඬු පිණිස පිවිසියේය.
එකල ආයුෂ්මත් වංගීස තෙරුන්ට ශාසනයෙහි නොඇල්ම උපන්නේ වෙයි, රාගයද ඔහුගේ සිත නසයි. ඉක්බිති ආයුෂ්මත් වංගීසතෙම ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට ගාථායෙන් (මෙසේ) කීය:
“ගෞතම ගෝත්‍රයෙහිවූ ආනන්‍දයන් වහන්ස, මම කාම රාගයෙන් දැවෙමි. මාගේ සිත හාත්පසින් දැවෙයි. අනුකම්පාකොට (මා හට) එය නිවන ක්‍රමයක් වදාළ මැනව.”
[ආනන්ද ස්ථවිරයන් වහන්සේ:]
“සඥා විපර්‍ය්‍යාස හේතුවෙන් තාගේ සිත දැවෙයි. රාගෝත්පත්තියට හේතුවූ ශුභ වශයෙන් ගන්නා ලද අරමුණ දුරු කරව.
“සියලු සංස්කාරයන් අනිත්‍ය වශයෙන් බලව, දුක් වශයෙන් බලව, ආත්ම වශයෙන් නොබලව, මහා රාග ගින්න නිවව. ඉන් නැවත නැවත නොදැවෙව.
“අශුභ භාවනාවෙන් සිත එකඟකොට, වඩව. තොපට කය අනුව ගියාවූ සිහිය වේවා. කලකිරීම් බහුලකොට ඇතියෙක් වෙව.
“විදර්‍ශනාවද වඩව. මානානුසය උදුරා හරුව, එසේ මානය නැති කිරීම හේතුකොටගෙන සන්සිඳුනෙක්ව හැසිරෙන්නෙහිය.”
8. 1. 5.
සුභාසිත සූත්‍රය
213. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. එකල වනාහි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි” යි භික්‍ෂූන්ට කථාකළ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්‍ෂූහු පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක:
“මහණෙනි, කරුණු සතරෙකින් යුක්තවූ වචනය සුභාෂිත වෙයි. දුර්භාෂිත නොවෙයි, දොස් නැතිද වෙයි, නුවණැත්තන් විසින් වරද නොකියන ලද්දේද වෙයි. කවර සතරකින්ද යත්, මහණෙනි, මහණතෙම යහපත් වචනයක්ම කියයිද, අයහපත් වචනයක් නොකියයිද, ධර්‍මයම කියයිද, අධර්‍මයක් නොකියයිද, ප්‍රිය වූවක්ම කියයිද, අප්‍රිය වූවක් නොකියයිද, සත්‍යයක්ම කියයිද, අසත්‍යයක් නොකියයිද, මහණෙනි, මේ අංග සතරෙන් සමන්විත වචනය සුභාෂිත වෙයි. දුර්භාෂිත නොවෙයි, දොස් නැතිද වෙයි, නුවණැත්තන් විසින් වරද නොකියන ලද්දේද වෙයි.”
භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක: ශාස්තෘවූ සුගතයන් වහන්සේ මෙය වදාරා නැවත මේ (ගාථාවන්) වදාළසේක: