7. 2. 8.
කට්ඨහාර සූත්‍රය
204. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කොසොල් දනව්වෙහි එක්තරා වනලැහැබෙක වසනසේක.
එකල වනාහි එක්තරා භාරද්වාජගෝත්‍රික බමුණෙකුගේ අතවැසියන්වූ බොහෝ දර කපන මානවකයෝ (කට්ඨහාරකා), වනලැහැබ යම් තැනෙකද එතැනට පැමිණියෝය. පැමිණ, ඒ වනලැහැබ්හි පර්‍යඞ්කයක් බැඳ, කය ඍජුව තබා, සිහිය ඉදිරියට එළවා හුන් භාග්‍යවතුන් වහන්සේ දුටුහු.
දැක භාරද්වාජගෝත්‍රික බමුණා යම් තැනෙකද එතැනට පැමිණියෝය. පැමිණ, භාරද්වාජගෝත්‍රික බමුණාට මෙය කීවෝය: “භවත්නි, අසුවල් වනලැහැබ්හි ශ්‍රමණයෙක් පළක්බැඳ, කය ඍජුව තබා, සිහිය ඉදිරියෙහි එළවා හුන්නේයයි ඔබ දන්නෙහිද?”
ඉක්බිති භාරද්වාජගෝත්‍රික බමුණුතෙම ඒ මානවකයන් සමග ඒ වනලැහැබ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ ඒ වනලැහැබ්හි පළක් බැඳ කය ඍජුව තබා, සිහිය ඉදිරියෙහි එළවා වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ දුටුයේය. දැක භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට ගාථාවලින් කථා කළේය:
“ගැඹුරු ස්වභාව ඇති, බොහෝසේ භයංකරවූ වෙනෙහි, ජනයන්ගෙන් හිස්වූ වනයට බැස, කම්පා නොවන, සිටි පියවි ඇති, මනෝඥ ශරීරයකින් යුක්තව, ඉතා යහපත්වූ රූප ඇති මහණෙනි, ඔබ ධ්‍යාන වඩනසේක.
“යම් තැනෙක ගී කීම් නැද්ද, යම් තැනෙක වාදනයකුත් නැද්ද, (එවැනි) වනයෙහි මුණිවරය තනිව වන සෙනසුන් ඇසුරුකළේය. යම් හෙයකින් තනිවම ප්‍රීතිමත් සිතැතිව වෙනෙහි වාසය කරන්නේද මේ කාරණය පුදුමයක් සේ මට වැටහෙයි. ලෝකාධිපතියා (මහා බ්‍රහ්මයා) හා එක්ව විසීම ඇති අනුත්තර තව්තිසා භවනය පතමින් ඔබ ලෝකාධිපතියා හඟිමි. (නොඑසේනම්) පින්වතුන් වහන්සේ කවර හෙයින් ජනසූන්‍ය වනය ඇසුරුකළසේක්ද? බ්‍රහ්මලෝකයට පැමිණීම පිණිස මෙහි තපස් කරණසේක්ද?”
[භාග්‍යවතුන් වහන්සේ:]
“යම්කිසි තණ්හාවක් හෝ ප්‍රාර්ථනාවක් හෝ නොයෙස් ස්වභාවාරම්මනයන්හිවූ නිතර පවත්නා නොයෙක් ප්‍රකාර තණ්හාවක් හෝ සෙසු කෙලෙස් හෝ වේද, අවිද්‍යාව මුල්ව හටගත් නැවත නැවත පැමිණීම් වශයෙන්වූ ඒ සියලුම ක්ලේශයන් මා විසින් සහමුලින් නසන ලද්දාහ.”
“ඒ මම තන්හා රහිත වූයෙම්, තණ්හාව ඇසුරු නොකළෙම්, තෘෂ්ණා කරා නොඑළඹෙන්නෙම්, සියලු ධර්‍මයන්හි පිරිසිදු දැකුම් ඇත්තෙම්, අනුත්තරවූ නිර්වාණ සුවය ඇති සම්බෝධියට පැමිණ, බ්‍රාහ්මණෙය, විශාරදව රහසිගතව ධ්‍යානයෙහි යෙදෙමි.”
මෙසේ වදාළකල භාරද්වාජගෝත්‍රික බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීය: “පින්වත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. -පෙ- පින්වත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවිහිම් කොට සරණගිය උපාසකයෙකුසේ සලකන සේක්වා.”
7. 2. 9.
මාතුපෝසක සූත්‍රය
205. සැවැත්නුවරදී–
ඉක්බිති මාතුපොසක බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එකැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු සාමීචි කථා කෙළේය. සතුටුවියයුතුවූ, සිහිකටයුතුවූ කථාකොට නිමවා එකත් පසෙක හුන්නේය. එකත්පසෙක හුන් මාතුපොසක බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීය: “භවත් ගෞතමයන් වහන්ස, මම වනාහි දැහැමින් ආහාර සොයමි, දැහැමින් ආහාර සොයා මව්පියන් පෝෂණය කරමි. භවත් ගෞතමයන් වහන්ස, කිම? මෙසේ කරණ මම කටයුතු කරන්නෙක් වෙම්ද?
[භාග්‍යවතුන් වහන්සේ:]
“බමුණ, එසේ කරන තෝ ඒකාන්තයෙන් කටයුතු කරන්නෙක් වන්නෙහිය. බමුණ, යමෙක් දැහැමින් ආහාර සොයයිද, දැහැමින් ආහාර සොයා මව් පියන් පෝෂණය කෙරේද, හෙතෙම බොහෝ පින් රැස් කරයි.
“යම් මනුෂ්‍යයෙක් මව හෝ පියා හෝ දැහැමින් පෝෂණය කරයිද, මවුපියන් කෙරෙහි ඒ උපස්ථාන කිරීම හේතුකොට නුවණැත්තෝ ඔහුට මෙලොවද ප්‍රශංසා කරත්. ඔහු මරණින් මතු ස්වර්‍ගයෙහිද ඉපිද සතුටුවේ.”
මෙසේ වදාළ කළ මාතුපෝසක බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීය: “පින්වත් ගෞතමයන්වහන්ස, ඉතා මැනවි. -පෙ- භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවිහිම් කොට සරණගත උපාසකයෙකුකොට සලකන සේක්වා.”