7. 2. 9.
මාතුපෝසක සූත්රය
205. සැවැත්නුවරදී–
ඉක්බිති මාතුපොසක බමුණුතෙම භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද එකැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ සමග සතුටු සාමීචි කථා කෙළේය. සතුටුවියයුතුවූ, සිහිකටයුතුවූ කථාකොට නිමවා එකත් පසෙක හුන්නේය. එකත්පසෙක හුන් මාතුපොසක බමුණුතෙම භාග්යවතුන් වහන්සේට මෙය කීය: “භවත් ගෞතමයන් වහන්ස, මම වනාහි දැහැමින් ආහාර සොයමි, දැහැමින් ආහාර සොයා මව්පියන් පෝෂණය කරමි. භවත් ගෞතමයන් වහන්ස, කිම? මෙසේ කරණ මම කටයුතු කරන්නෙක් වෙම්ද?
[භාග්යවතුන් වහන්සේ:]
“බමුණ, එසේ කරන තෝ ඒකාන්තයෙන් කටයුතු කරන්නෙක් වන්නෙහිය. බමුණ, යමෙක් දැහැමින් ආහාර සොයයිද, දැහැමින් ආහාර සොයා මව් පියන් පෝෂණය කෙරේද, හෙතෙම බොහෝ පින් රැස් කරයි.
“යම් මනුෂ්යයෙක් මව හෝ පියා හෝ දැහැමින් පෝෂණය කරයිද, මවුපියන් කෙරෙහි ඒ උපස්ථාන කිරීම හේතුකොට නුවණැත්තෝ ඔහුට මෙලොවද ප්රශංසා කරත්. ඔහු මරණින් මතු ස්වර්ගයෙහිද ඉපිද සතුටුවේ.”
මෙසේ වදාළ කළ මාතුපෝසක බමුණුතෙම භාග්යවතුන් වහන්සේට මෙය කීය: “පින්වත් ගෞතමයන්වහන්ස, ඉතා මැනවි. -පෙ- භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවිහිම් කොට සරණගත උපාසකයෙකුකොට සලකන සේක්වා.”
7. 2. 10.
භික්ඛක සූත්රය
206. සැවැත්නුවරදී–
ඉක්බිති භික්ඛක බමුණුතෙම භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද එකැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ සමග සතුටු සාමීචි කථා කෙළේය. සතුටුවියයුතු කථා, සිහිකටයුතු කථා කොට නිමවා එකත් පසෙක හුන්නේය. එකත්පසෙක හුන් භික්ඛක බමුණුතෙම භාග්යවතුන් වහන්සේට මෙය කීය: “භවත් ගෞතමයන් වහන්ස, මමද වනාහි සිඟන්නෙක් වෙමි. පින්වත්වූ ඔබද, සිඟන්නෙක් වෙහිය, මෙහි අපගේ කවරනම් වෙනසක් වේද?”
[භාග්යවතුන් වහන්සේ:]
“යම් පමණෙකින් අනුන් (ගෙන්) සිඟාද, එපමණෙකින් (ඒ තැනැත්තා) භික්ෂු නම් නොවේ. මුළු ධර්මයම සමාදන් වී (එපමණකිනුදු) භික්ෂු නම් නොවේ.
“මේ ලෝකයෙහි යමෙක් පිනද පවද බහා තබා, බ්රහ්මචර්ය්යාව ඇත්තේ, නුවනින් දැන ලොව හැසිරේද, හෙතෙම ඒකාන්තයෙන් භික්ෂූයයි කියනු ලැබේ.”
මෙසේ වදාළ කල භික්ඛක බමුණුතෙම භාග්යවතුන් වහන්සේට මෙය කීය: “භවත් ගෞතමයන්වහන්ස, ඉතා මැනවි. -පෙ- භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවිහිම් කොට සරණ ගිය උපාසකයකු කොට සලකන සේක්වා.”
7. 2. 11.
සඞ්ගාරව සූත්රය
207. සැවැත්නුවරදී–
එකල වනාහි සඞ්ගාරව නම් බමුණුතෙම සැවැත් නුවර වෙසෙයි. ජලයෙන් ශුද්ධිය ඇත්තේයයි සලකන්නේ ජලයෙන් ශුද්ධිය පතයි. උදේ සවස ජලයට බැසීමෙහි යෙදී වෙසෙයි.
ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම පෙරවරුයෙහි හැඳ පෙරව පාත්ර සිවුරුගෙන සැවැත් නුවරට පිණ්ඩපාතය පිණිස පිවිසියේය. සැවැත්නුවර පිඬු පිණිස හැසිර බතින් පසු පෙරලා පිටත්වූයේ භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන් ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම භාග්යවතුන් වහන්සේට මෙය කීය: “ස්වාමීනි, මෙහි සඞ්ගාරව නම් බමුණුතෙම සැවැත් නුවර වෙසෙයි. (ඔහු) ජලයෙන් ශුද්ධිය ඇත්තේයයි සිතා ජලයෙහි ශුද්ධිය පතයි. උදේ හා සවස ජලයට බැසීමෙහි යෙදුනේව වෙසෙයි. ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ සඞ්ගාරව බමුණාගේ නිවෙස යම් තැනෙකද එතැනට අනුකම්පා උපදවා පැමිණෙන සේක් නම් මැනව.” භාග්යවතුන් වහන්සේ නිශ්ශබ්දව ඉවසා වදාළසේක.
ඉක්බිති භාග්යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පොරවා පාත්ර සිවුරු ගෙන සඞ්ගාරව බමුණාගේ නිවෙස යම් තැනෙකද, එතැනට පැමිණියේය. පැමිණ පැනවූ අස්නෙහි වැඩහුන් සේක.