7. 2. 7.
නවකම්මික සූත්රය.
203. එක් කලෙක භාග්යවතුන් වහන්සේ කොසොල්රට එක්තරා වනලැහැබෙක වසනසේක.
එකල වනාහි නවකම්මිකභාරද්වාජ බමුණුතෙම ඒ වනලැහැබෙහි කර්මාන්ත කරවයි. එක්තරා සල් රුකක් මුල පළක් බැඳ ශරීරය ඍජුව පිහිටුවා සිහිය ඉදිරියට එළවා හුන් භාග්යවතුන් වහන්සේ නවකම්මිකභාරද්වාජ බමුණුතෙම දිටීය. දැක ඔහුට මෙබඳු සිතෙක් විය: ‘මම වනාහි මේ වනලැහැබෙහි කර්මාන්ත කරවමින් සතුටුවෙමි. මේ ශ්රමණ ගෞතමයන් වහන්සේ කුමක් කරවමින් සතුටුවනසේක්ද?
ඉක්බිති නවකම්මිකභාරද්වාජ බමුණුතෙම භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේට ගාථායෙන් (මෙසේ) කීය:
“මහණ, සල් වෙනෙහි නුඹගේ කිනම් කර්මාන්ත කරවනු ලැබෙද්ද? ගෞතමයන් වහන්සේ යම්හෙයකින් මේ වෙනෙහි තනිව සතුට විඳින සේක්ද?”
“මට මේ වෙනෙහි කටයුත්තෙක් නැත. මාගේ (ක්ලේශ) වනය උදුරා දැමූ මුල් ඇත්තේය. (මාගේ) ඒ වනය (කෙලෙස් කටු) විශූක දර්ශනයකි. ඒ මම කෙලෙස් රහිතව කලකිරීම් පහව ගිය (රාගාදී) හුල් ඇත්තෙක්ව, තනිවම නොඇලීම් දුරුකොට ඇලෙමි.”
මෙසේ වදාළ කළ නවකම්මිකභාරද්වාජ බමුණුතෙම භාග්යවතුන් වහන්සේට මෙය කීය: “පින්වත් ගෞතමයන්වහන්ස, ඉතා මැනවි. -පෙ- පින්වත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවිහිම් කොට සරණගත් උපාසකයෙකැයි සලකන සේක්වා.”
7. 2. 8.
කට්ඨහාර සූත්රය
204. එක් කලෙක භාග්යවතුන් වහන්සේ කොසොල් දනව්වෙහි එක්තරා වනලැහැබෙක වසනසේක.
එකල වනාහි එක්තරා භාරද්වාජගෝත්රික බමුණෙකුගේ අතවැසියන්වූ බොහෝ දර කපන මානවකයෝ (කට්ඨහාරකා), වනලැහැබ යම් තැනෙකද එතැනට පැමිණියෝය. පැමිණ, ඒ වනලැහැබ්හි පර්යඞ්කයක් බැඳ, කය ඍජුව තබා, සිහිය ඉදිරියට එළවා හුන් භාග්යවතුන් වහන්සේ දුටුහු.
දැක භාරද්වාජගෝත්රික බමුණා යම් තැනෙකද එතැනට පැමිණියෝය. පැමිණ, භාරද්වාජගෝත්රික බමුණාට මෙය කීවෝය: “භවත්නි, අසුවල් වනලැහැබ්හි ශ්රමණයෙක් පළක්බැඳ, කය ඍජුව තබා, සිහිය ඉදිරියෙහි එළවා හුන්නේයයි ඔබ දන්නෙහිද?”
ඉක්බිති භාරද්වාජගෝත්රික බමුණුතෙම ඒ මානවකයන් සමග ඒ වනලැහැබ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ ඒ වනලැහැබ්හි පළක් බැඳ කය ඍජුව තබා, සිහිය ඉදිරියෙහි එළවා වැඩහුන් භාග්යවතුන් වහන්සේ දුටුයේය. දැක භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේට ගාථාවලින් කථා කළේය:
“ගැඹුරු ස්වභාව ඇති, බොහෝසේ භයංකරවූ වෙනෙහි, ජනයන්ගෙන් හිස්වූ වනයට බැස, කම්පා නොවන, සිටි පියවි ඇති, මනෝඥ ශරීරයකින් යුක්තව, ඉතා යහපත්වූ රූප ඇති මහණෙනි, ඔබ ධ්යාන වඩනසේක.
“යම් තැනෙක ගී කීම් නැද්ද, යම් තැනෙක වාදනයකුත් නැද්ද, (එවැනි) වනයෙහි මුණිවරය තනිව වන සෙනසුන් ඇසුරුකළේය. යම් හෙයකින් තනිවම ප්රීතිමත් සිතැතිව වෙනෙහි වාසය කරන්නේද මේ කාරණය පුදුමයක් සේ මට වැටහෙයි. ලෝකාධිපතියා (මහා බ්රහ්මයා) හා එක්ව විසීම ඇති අනුත්තර තව්තිසා භවනය පතමින් ඔබ ලෝකාධිපතියා හඟිමි. (නොඑසේනම්) පින්වතුන් වහන්සේ කවර හෙයින් ජනසූන්ය වනය ඇසුරුකළසේක්ද? බ්රහ්මලෝකයට පැමිණීම පිණිස මෙහි තපස් කරණසේක්ද?”