7. 2. 2.
2. උදය සූත්‍රය
198. මා විසින් මෙසේ අසනලදී, එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරු සමයෙහි හැඳ පෙරව පාත්‍ර සිවුරු ගෙන උදය බමුණාගේ නිවස යම් තැනෙකද එතැනට වැඩිසේක. ඉක්බිති උදය බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේගේ පාත්‍රය ආහාරයෙන් පිරවීය. දෙවෙනි දිනත් භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පෙරව පාත්‍ර සිවුරු ගෙන උදය බමුණාගේ නිවස යම් තැනෙකද එතැනට වැඩිසේක. දෙවෙනි දිනත් උදය බමුණුතෙම ආහාරයෙන් භාග්‍යවතුන් වහන්සේගේ පාත්‍රය පිරවීය. තුන්වෙනි දිනත් භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පෙරව පාත්‍ර සිවුරු ගෙන උදය බමුණාගේ නිවස යම් තැනෙකද එතැනට වැඩිසේක. තුන්වෙනි දිනත් බමුණුතෙම ආහාරයෙන් භාග්‍යවතුන්ගේ පාත්‍රය පුරවා භාග්‍යවතුන් වහන්සේට මෙය කීය: “රසට ලොල්වූ මේ ශ්‍රමණ ගෞතමතෙම නැවත නැවතද එයි.”
[භාග්‍යවතුන් වහන්සේ:]
“(ගොවියෝ) නැවත නැවත ශස්‍ය බීජ වපුරති. වැස්ස නැවත නැවත වසී. ගොවියෝ නැවත නැවත කෙත සාති. නැවත නැවත ධාන්‍ය රටට පැමිණෙයි.
“යාචකයෝ නැවත නැවත ඉල්වත්. දානපතියෝ නැවත නැවත දෙත්. දානපතියෝ නැවත නැවත දී නැවත නැවත දෙව්ලොවට පැමිණෙති.
“කිරි දොවන්නෝ නැවත නැවත දොවිත්. වසුතෙම නැවත නැවත මවුදෙන කරා පැමිණෙයි. (සත්ත්‍වතෙම ඒ ඒ ඉරියව්වෙන්) නැවත නැවත පීඩාවෙයි. අඥාන සත්ත්‍වතෙම නැවත නැවත උත්පත්තියට පැමිණේ.
“නැවත නැවත උපදී. නැවත නැවත මැරෙයි, (මළාවූ ඔහු) සොහොනට ගෙන යෙත්. නුවණ ඇති පුද්ගලයා නිර්‍වාණය පිණිසවූ මාර්‍ගය ලැබ නැවත නැවත නොඋපදී” යි (වදාළසේක.)
මෙසේ වදාළකල උදය බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීය: “භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. භවත් ගෞතමයන් වහන්ස, යටිමුව කරන ලද්දක් උඩුකුරු කරන්නේ හෝ වැසුනක් විවෘත කරන්නේ හෝ මංමුළාවූවකුට මාර්‍ගය කියන්නේ හෝ ‘ඇස් ඇත්තෝ රූප දකිත්වා’ යි තෙල් පහනක් දරන්නේ හෝ යම්සේද, එසේම භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්‍මය පවසන ලද්දේය. ඒ (ඇසූ) මම භවත් ගෞතමයන් වහන්සේ හා ධර්‍මයද, සංඝයාද සරණකොට යෙමි. භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවි කෙළවරකොට සරණ ගිය උපාසකයකු කොට භවත් ගෞතමයන් වහන්සේ දරණ සේක්වා.”
7. 2. 3.
3. දෙවහිත සූත්‍රය
199. මා විසින් මෙසේ අසනලදී, එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.
එකල වනාහි භාග්‍යවතුන් වහන්සේ, කුසයෙහි වාතාබාධයකින් පීඩිතවූසේක. ආයුෂ්මත් උපවාණ තෙමද භාග්‍යවතුන් වහන්සේට උපස්ථායකවෙයි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් උපවාණ ඇමතූසේක. (අමතා) “බලව, උපවාණය, තෝ මට උණුදිය (ගෙනෙන සැටියක්) දනුව” යි (කී සේක.)
“එසේය, ස්වාමීනි” යි ආයුෂ්මත් උපවාණ තෙම භාග්‍යවතුන් වහන්සේට උත්තරදී දේවහිත බමුණාගේ නිවස යම්තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ නිශ්ශබ්දව එකත් පසෙක සිටියේය.
එකත්පසෙක සිටි නිශ්ශබ්දවූ ආයුෂ්මත් උපවාණයන් දෙවහිත බමුණා දිටීය. දැක ආයුෂ්මත් උපවාණයන්ට ගාථාවෙන් (මෙසේ) කීය:
“හිස මුඩුකළ, සඟළ සිවුරු පෙරවූ, පින්වත් තෙම කුමක් පතමින්, කුමක් සොයමින්, නිශ්ශබ්දව සිටින්නෙහිද? කුමක් ඉල්ලන්නට ආයෙහිද?”
[උපවාණ තෙරුන්:]
“ලොව අර්හත්වූ සුගතවූ මුනිතුමා කුසයෙහි ආබාධයකින් පෙළෙනසේක. බමුණ, ඉදින් තා සතු උනුදිය ඇත්නම් ඒ මුනීන්‍දූයන් වහන්සේට දුන මැනවි.
“පිදිය යුත්තන් විසින් පුදන ලද, සත්කාර කළ යුත්තන් විසින් සත්කාර කරනලද, ගරුකළ යුත්තන් විසින් ගරු කරන ලද උන්වහන්සේට දෙනු පිණිස ගෙන යන්නට උණුදිය කැමැත්තෙමි” යි (ආයුෂ්මත් උපවාණතෙමු කීය.)
ඉක්බිති දේවහිත බමුණුතෙම උණුදිය කදක් පුරුෂයෙකු ලවා ගෙන්වාගෙන සකුරුපිඩක්ද ආයුෂ්මත් උපවාණ තෙරුන්ට දිනි.
ඉක්බිති ආයුෂ්මත් උපවාණ ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ උණු දියෙන් නහවා, උණු දියෙන් සකුරු දියකොට, භාග්‍යවතුන් වහන්සේට දුන්නේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේගේ ඒ ආබාධය සංසිඳුනේය.
ඉක්බිති දේවහිත බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු සාමීචි කථා කෙළේය. සතුටුවිය යුතුවූ, සිහිකටයුතුවූ, කථාකොට එකත්පසෙක යුන්නේය.
එක්පසෙක හුන් දේවහිත බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේට ගාථායෙකින් මෙසේ කීය:
“දානවස්තුව කවරෙකුහට දෙන්නේද (දියයුතුද)? කවරෙකුහට දුන්දෙය මහත්ඵල ඇතිවේද? කවර ආකාරයෙකින් කොතැනක දෙන්නහුගේ දානය සඵලවේද?”
[භාග්‍යවතුන් වහන්සේ:]
“යමෙක් පෙර ජාති පිළිවෙළ දනීද, ස්වර්‍ගය හා අපායත් දකීද, අර්‍හත්වයට පැමිණියේද, මාර්‍ගඥානයෙන් (චතුරාර්‍ය්‍ය සත්‍යය) දැන නිමවූ සියලු කටයුතු ඇත්තේද, (කායාදී) මෞන ගුණයෙන් යුක්තද,