7. 2. 3.
3. දෙවහිත සූත්රය
199. මා විසින් මෙසේ අසනලදී, එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.
එකල වනාහි භාග්යවතුන් වහන්සේ, කුසයෙහි වාතාබාධයකින් පීඩිතවූසේක. ආයුෂ්මත් උපවාණ තෙමද භාග්යවතුන් වහන්සේට උපස්ථායකවෙයි.
ඉක්බිති භාග්යවතුන් වහන්සේ ආයුෂ්මත් උපවාණ ඇමතූසේක. (අමතා) “බලව, උපවාණය, තෝ මට උණුදිය (ගෙනෙන සැටියක්) දනුව” යි (කී සේක.)
“එසේය, ස්වාමීනි” යි ආයුෂ්මත් උපවාණ තෙම භාග්යවතුන් වහන්සේට උත්තරදී දේවහිත බමුණාගේ නිවස යම්තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ නිශ්ශබ්දව එකත් පසෙක සිටියේය.
එකත්පසෙක සිටි නිශ්ශබ්දවූ ආයුෂ්මත් උපවාණයන් දෙවහිත බමුණා දිටීය. දැක ආයුෂ්මත් උපවාණයන්ට ගාථාවෙන් (මෙසේ) කීය:
“හිස මුඩුකළ, සඟළ සිවුරු පෙරවූ, පින්වත් තෙම කුමක් පතමින්, කුමක් සොයමින්, නිශ්ශබ්දව සිටින්නෙහිද? කුමක් ඉල්ලන්නට ආයෙහිද?”
[උපවාණ තෙරුන්:]
“ලොව අර්හත්වූ සුගතවූ මුනිතුමා කුසයෙහි ආබාධයකින් පෙළෙනසේක. බමුණ, ඉදින් තා සතු උනුදිය ඇත්නම් ඒ මුනීන්දූයන් වහන්සේට දුන මැනවි.
“පිදිය යුත්තන් විසින් පුදන ලද, සත්කාර කළ යුත්තන් විසින් සත්කාර කරනලද, ගරුකළ යුත්තන් විසින් ගරු කරන ලද උන්වහන්සේට දෙනු පිණිස ගෙන යන්නට උණුදිය කැමැත්තෙමි” යි (ආයුෂ්මත් උපවාණතෙමු කීය.)
ඉක්බිති දේවහිත බමුණුතෙම උණුදිය කදක් පුරුෂයෙකු ලවා ගෙන්වාගෙන සකුරුපිඩක්ද ආයුෂ්මත් උපවාණ තෙරුන්ට දිනි.
ඉක්බිති ආයුෂ්මත් උපවාණ ස්ථවිරතෙම භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ උණු දියෙන් නහවා, උණු දියෙන් සකුරු දියකොට, භාග්යවතුන් වහන්සේට දුන්නේය. ඉක්බිති භාග්යවතුන් වහන්සේගේ ඒ ආබාධය සංසිඳුනේය.
ඉක්බිති දේවහිත බමුණුතෙම භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ සමග සතුටු සාමීචි කථා කෙළේය. සතුටුවිය යුතුවූ, සිහිකටයුතුවූ, කථාකොට එකත්පසෙක යුන්නේය.
එක්පසෙක හුන් දේවහිත බමුණුතෙම භාග්යවතුන් වහන්සේට ගාථායෙකින් මෙසේ කීය:
“දානවස්තුව කවරෙකුහට දෙන්නේද (දියයුතුද)? කවරෙකුහට දුන්දෙය මහත්ඵල ඇතිවේද? කවර ආකාරයෙකින් කොතැනක දෙන්නහුගේ දානය සඵලවේද?”
[භාග්යවතුන් වහන්සේ:]
“යමෙක් පෙර ජාති පිළිවෙළ දනීද, ස්වර්ගය හා අපායත් දකීද, අර්හත්වයට පැමිණියේද, මාර්ගඥානයෙන් (චතුරාර්ය්ය සත්යය) දැන නිමවූ සියලු කටයුතු ඇත්තේද, (කායාදී) මෞන ගුණයෙන් යුක්තද,
“මෙහි (මෙබඳු තැනැත්තාට) දෙන දෙය දෙන්නේය (දියයුතු). මෙහි දෙනලද්ද මහත්ඵල ඇතිවේ. මේ ආකාරයෙන් දෙන්නහුගේ දානය මහත්ඵලවේ.
මෙසේ වදාළකල දේවහිතබමුණුතෙම භාග්යවතුන් වහන්සේට මෙය කීය: “පින්වත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. පින්වත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. යම්සේ යටිමුව කරන ලද්දක් හෝ උඩුමුව කරන්නේද, වැසුන දෙයක් හෝ විවෘතකරන්නේද, මංමුළාවූවකුට හෝ මාර්ගය කියන්නේද, ‘ඇස් ඇත්තෝ රූප දකිත්වා’ යි අඳුරෙහි තෙල් පහනක් හෝ දරන්නේද එසේම පින්වත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්මය ප්රකාශ කරන ලද්දේය. අද පටන් මා දිවහිම්කොට සරණ ගිය උපාසකයකු සේ භාග්යවතුන් වහන්සේ සලකන සේක්වා.”
7. 2. 4.
4. මහාසාල (නොහොත් ලුඛපාපුරණ) සූත්රය
200. මා විසින් මෙසේ අසනලදී, එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.
ඉක්බිත් එක්තරා මහත් වස්තුව ඇති බ්රාහ්මණයෙක් ජරාවට ගියේ (දිරුණු වස්ත්ර ඇඳගත්තේ) භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ සමග සතුටු සාමීචි කථා කෙළේය. සතුටුවිය යුතු, සිහිකටයුතු, කථාකොට නිමවා එකත්පසෙක යුන්නේය. එකත්පසෙක හුන් ඒ මහාසාර බ්රාහ්මණයාට භාග්යවතුන් වහන්සේ මෙය වදාළසේක: “බමුණ, තෝ කුමක් හෙයින් දිරාගියේ දිරාගිය පෙරවීම් ඇත්තෙහිද?”
[බ්රාහ්මණතෙම:]
“භවත් ගෞතමයන් වහන්ස, මාගේ පුත්තු සතරදෙනෙක් වෙති. ඔහු භාර්ය්යාවන්ගේ කීමට ගෙයින් එළවති” යි (කීය.)
[භාග්යවතුන් වහන්සේ:]
“බමුණ. එසේවීනම් මේ ගාථාවන් ඉගෙන මහජනයා රැස්වූ සභායෙහි පුතුන්ද හුන්කල කියව:
“‘මට දාව උපන් යම් කෙනෙකුන් කරණකොට සතුටුවූයෙම්ද, යම් කෙනෙකුන්ගේ අභිවෘද්ධිය පැතූයෙම්ද, ඔවුහු භාර්ය්යාවන්ගේ කීමට බල්ලෙකු, ඌරෙකු එළවන්නාක් මෙන් මා එළවා දමති.’
‘අසත්පුරුෂවූ, ලාමකවූ, රකුසෝ පුත්රයන් මෙන් පෙනී සිටිමින් මට ‘පියාණනි, පියාණනි’ යි කියත්. ඔවුහු වයසට ගිය මා අත්හරිත්.’
‘පරිභෝගයට (වැඩගැනීමට) සුදුසු නොවූ, දිරුණු අශ්වයෙක් යම්සේ කෑමෙන් වළකනු ලබන්නේද, බාලයන්ගේ පියවූ මහල්ලා අනුන්ගේ ගෙවල සිඟයි.’
‘මේ දණ්ඩම (සැරයටියම) මට උතුම්ය. (ඒ සැරයටිය) නපුරු ගොනෙකුත් වළක්වයි. තවද නපුරු බල්ලන්ද වළක්වයි.’
“(ඒ සැරයටිය) අඳුරෙහි පෙරටුවෙයි. ගැඹුරු ජලයෙහි පිහිට සොයා දෙයි., දණ්ඩෙහි අනුසසින් පැකුළුණු තැනැත්තා නැවත පිහිටා (කෙළින්) සිටියි.’ “
ඉක්බිති මහාසාර බ්රාහ්මණතෙම භාග්යවතුන් වහන්සේගෙන් මේ ගාථාවන් ඉගෙන මහජනයා රැස්වූ සභායෙහි පුතුන්ද හුන්කල කීය: