7. 2. 11.
සඞ්ගාරව සූත්‍රය
207. සැවැත්නුවරදී–
එකල වනාහි සඞ්ගාරව නම් බමුණුතෙම සැවැත් නුවර වෙසෙයි. ජලයෙන් ශුද්‍ධිය ඇත්තේයයි සලකන්නේ ජලයෙන් ශුද්‍ධිය පතයි. උදේ සවස ජලයට බැසීමෙහි යෙදී වෙසෙයි.
ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරතෙම පෙරවරුයෙහි හැඳ පෙරව පාත්‍ර සිවුරුගෙන සැවැත් නුවරට පිණ්ඩපාතය පිණිස පිවිසියේය. සැවැත්නුවර පිඬු පිණිස හැසිර බතින් පසු පෙරලා පිටත්වූයේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන් ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීය: “ස්වාමීනි, මෙහි සඞ්ගාරව නම් බමුණුතෙම සැවැත් නුවර වෙසෙයි. (ඔහු) ජලයෙන් ශුද්‍ධිය ඇත්තේයයි සිතා ජලයෙහි ශුද්‍ධිය පතයි. උදේ හා සවස ජලයට බැසීමෙහි යෙදුනේව වෙසෙයි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ සඞ්ගාරව බමුණාගේ නිවෙස යම් තැනෙකද එතැනට අනුකම්පා උපදවා පැමිණෙන සේක් නම් මැනව.” භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දව ඉවසා වදාළසේක.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පොරවා පාත්‍ර සිවුරු ගෙන සඞ්ගාරව බමුණාගේ නිවෙස යම් තැනෙකද, එතැනට පැමිණියේය. පැමිණ පැනවූ අස්නෙහි වැඩහුන් සේක.
ඉක්බිති සඞ්ගාරව බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු සාමීචි කථා කෙළේය. සතුටුවිය යුතු සිහිකටයුතු කථා කොට නිමවා එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන් සඞ්ගාරව බමුණාහට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක: “බමුණ, සැබෑද? නුඹ ජලයෙන් ශුද්‍ධිය ඇතිසේ සිතන්නේ ජලායන් ශුද්‍ධිය පතයිලු, සවස හා උදේ ජලයට බැසීමෙහි යෙදුනේව වෙසේලු.”
“භවත් ගෞතමයන් වහන්ස, ඒ එසේය.”
“බමුණ, නුඹ කවර අර්‍ථයක් දකිමින් ජලයෙන් ශුද්‍ධිය ඇත්තේයයි සිතා ජලයෙන් ශුද්‍ධිය පතයිද? සවස හා උදේ දියට බැසීමෙහි අනුයුක්තව වෙසේද?”
“භවත් ගෞතමයන් වහන්ස, මෙහි මා විසින් දවල් යම් පව් කමෙක් කරන ලද්දේ වේද, එය සවස නෑමෙන් පාකර හරිමි. රාත්‍රියෙහි යම් පව් කමෙක් කරන ලද්දේද, එය උදෑසන නෑමෙන් පාකර හරිමි. භවත් ගෞතමයන් වහන්ස, මම මේ ප්‍රයෝජනය දකිමින් ජලයෙන් ශුද්‍ධි ඇත්තේයයි සිතා දියෙන් ශුද්‍ධිය පතමි. සවස හා උදේ දියට බැසීමෙහි නැවත නැවත යෙදී වෙසෙමි.”
[භාග්‍යවතුන් වහන්සේ:]
“බමුණ, ධර්‍මය ගැඹුරු ජලාසයවේ. ශීලය තොටවේ. එය විශේෂයෙන් ප්‍රසන්නය (අනාවිල). සාධූන් විසින් පසස්නා ලදී. යම් ධර්‍ම ජලාසයක වේදගූ (රහතන් වහන්සේලා) ස්නානය කළෝද, ඔවුහු නොතෙත්වූ සිරුරු ඇත්තෝවම (නිර්‍වාණ) පරතෙරට තරණය කරත්.”
මෙසේ වදාළ කල සඞ්ගාරව බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීය: “භවත් ගෞතමයන්වහන්ස, ඉතා මැනවි. -පෙ- භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවිහිම් කොට සරණ ගිය උපාසකයෙකු කොට සලකන සේක්වා.”
7. 2. 12.
ඛොමදුස්ස සූත්‍රය
208. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහිවූ ඛොමදුස්ස නම් ශාක්‍යයන්ගේ නියම්ගමෙහි වැඩවසන සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පොරවා පාත්‍ර සිවුරු ගෙන ඛොමදුස්ස නියම්ගමට පිඬු පිණිස පිවිසි සේක.
එකල වනාහි ඛොමදුස්සක බ්‍රාහ්මණ ගෘහපතියෝ කිසියම් කටයුත්තක් සඳහා සභායෙහි රැස්වූවාහු වෙති. වැස්සද එකක් එකක් පාසා වැටෙයි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ සභාව යම් තැනෙකද එතැනට පැමිණි සේක. ඛොමදුස්සක බ්‍රාහ්මණ ගෘහපතියෝ දුරදීම එන්නාවූ භාග්‍යවතුන් වහන්සේ දුටුවාහුය. දැක මෙසේ කීවාහුය: “මේ මුඩු මහණෝ කවරහුද? කවර නම් සභා ධර්මයක් දනිත්දැයි?”
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඛොමදුස්සක බ්‍රාහ්මණ ගෘහපතියන්ට ගාථාවකින් (මෙසේ) වදාළ සේක: