7. 2. 12.
ඛොමදුස්ස සූත්රය
208. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්යවතුන් වහන්සේ ශාක්ය ජනපදයෙහිවූ ඛොමදුස්ස නම් ශාක්යයන්ගේ නියම්ගමෙහි වැඩවසන සේක. ඉක්බිති භාග්යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පොරවා පාත්ර සිවුරු ගෙන ඛොමදුස්ස නියම්ගමට පිඬු පිණිස පිවිසි සේක.
එකල වනාහි ඛොමදුස්සක බ්රාහ්මණ ගෘහපතියෝ කිසියම් කටයුත්තක් සඳහා සභායෙහි රැස්වූවාහු වෙති. වැස්සද එකක් එකක් පාසා වැටෙයි.
ඉක්බිති භාග්යවතුන් වහන්සේ ඒ සභාව යම් තැනෙකද එතැනට පැමිණි සේක. ඛොමදුස්සක බ්රාහ්මණ ගෘහපතියෝ දුරදීම එන්නාවූ භාග්යවතුන් වහන්සේ දුටුවාහුය. දැක මෙසේ කීවාහුය: “මේ මුඩු මහණෝ කවරහුද? කවර නම් සභා ධර්මයක් දනිත්දැයි?”
ඉක්බිති භාග්යවතුන් වහන්සේ ඛොමදුස්සක බ්රාහ්මණ ගෘහපතියන්ට ගාථාවකින් (මෙසේ) වදාළ සේක:
“යම් තැනෙක සත්පුරුෂයෝ නැත්තාහුද, එය සභාවක් නොවේ. යම් කෙනෙක් ධර්මය නොකියත් නම්, ඔහු සත්පුරුෂයෝ නොවෙති. රාගයද ද්වේෂයද මෝහයද දුරුකොට ධර්මය වදාරන්නෝම සත්පුරුෂයෝ වෙති.”
මෙසේ වදාළ කල්හි ඛොමදුස්සක බ්රාහ්මණ ගෘහපතියෝ භාග්යවතුන් වහන්සේට මෙය කීවාහුය: “ඉතා මැනවි භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි භවත් ගෞතමයන් වහන්ස. යම්සේ යටිමුව කරන ලද්දක් හෝ උඩුමුව කරන්නේද, වැසුන දෙයක් හෝ විවෘත කරන්නේද, මංමුළාවකුට හෝ මාර්ගය කියන්නේද, ‘ඇස් ඇත්තෝ රූප දකිත්වා’ යි අඳුරෙහි තෙල් පහනක් හෝ දරන්නේද, එසේම භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්මය ප්රකාශකරන ලද්දේය. ඒ අපි භවත් ගෞතමයන් වහන්සේද ධර්මයද භික්ෂු සංඝයාද සරණ යමු. භවත් ගෞතමයන් වහන්සේ අප අද පටන් දිවිහිම් කොට සරණ ගිය උපාසකයන් කොට සලකන සේක්වා.”
දෙවන උපාසක වර්ගයයි.
එහි උද්දානය:
කසී, උදය, දෙවහිත, අඤ්ඤතර, මහාසාල, මානත්ථද්ධ, පච්චනීක, නවකම්මික, කට්ඨහාර, මාතුපොසක, භික්ඛක, සඞ්ගාරව සහ ඛොමදුස්ස යයි සූත්ර දොළසකි.
බ්රාහ්මණ සංයුක්තය නිමියේය.
8. වඞ්ගීස සංයුත්තය
1. වංගීස වර්ගය
8. 1. 1.
නික්ඛන්ත සූත්රය
209. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරතෙම අලව් නුවර අග්ගාළව චෛත්යයෙහි නිග්රොධමූලයෙහි වෙසෙන ස්වකීය උපාධ්යාය කප්ප තෙරුන් සමග වෙසෙයි. එකල වනාහි ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරතෙම අලුත පැවිදිවූයේ විහාරය රක්නා පිණිස නවතා යන ලද නවකයෙක් (අලුත් පැවිද්දෙක්) විය.
ඉක්බිති බොහෝ ස්ත්රීහු සැරසීගෙන විහාරය බලනු කැමැත්තාහු ආරාමයට පැමිණියහ. ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීසයන්ට ඒ ස්ත්රීන් දැක අනභිරතිය (කුසල් කිරීමෙහි නොකැමැත්ත) උපන. රාගය ඔහුගේ කුසල් සිත නැසීය.
ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීසයන්ට මෙබඳු සිතෙක් විය: යම්බඳුවූ මට නොකැමැත්ත උපදීද, රාගය තෙමේ (මාගේ) කුසල චිත්තය නැසීද, එබඳුවූ මට ඒකාන්තයෙන් අලාභයෙක්ම විය. මට ඒකාන්තයෙන් ලාභයෙක් නම් නොවීය. මා විසින් ඒකාන්තයෙන් නපුරක්ම ලබනලද. ඒකාන්තයෙන් යහපතක්නම් නොලද්දේය. අන්යයෙක් මාගේ නොඇල්ම දුරුකොට ඇල්ම උපදවන්නේය යන්නක් කොයින් ලැබිය හැකිද? යම් හෙයකින් මමම මාගේ නොඇල්ම දුරුකොට ඇල්ම උපදවම් නම් ඒ ඉතා මැනව” (කියායි.)