6. 1. 9.
තුදුබ්රහ්ම සූත්රය.
180. සැවැත්නුවරදී...
එකල්හි වනාහි කෝකාලික භික්ෂු තෙම ආබාධ ඇත්තේ දුක් වූයේ දැඩි සේ ගිලන් වූයේ වෙයි. ඉක්බිති තුදු පච්චේකබ්රහ්ම තෙම රාත්රිය ඉක්ම ගිය කල්හි ඉතා මනහර වර්ණ ඇත්තේ සියලු ජේතවනය බබුළුවා කෝකාලික භික්ෂුව යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, අහසෙහි සිට කෝකාලික භික්ෂුවට මෙසේ කීය: ‘කෝකාලික, සැරියුත් මුගලන් දෙදෙනා කෙරෙහි සිත පහදව. සැරියුත් මුගලන් දෙදෙනා ප්රියශීලීය.’
‘ඇවැත්නි, නුඹ කවරෙක්ද?’ ‘මම තුදු පච්චේක බ්රහ්ම වෙමි.’ ‘ඇවැත්නි, නුඹ භාග්යවතුන් වහන්සේ විසින් අනාගාමී යැයි ප්රකාශ කරන ලද්දේ නොවේද? එසේ වී නම් මෙහි කුමකට ආයෙහිද? නුඹගේ මේ කොපමණ අපරාධයෙක්දැයි බලව.’
“පුරුෂයා උපන් කල්හි ඔහුගේ මුඛයෙහි කෙටේරියක් උපදී. යමකින් අඥාන තෙම නපුරු වචන කියමින් තමාම කපාගනීද (ඒ වාග් දුශ්චරිතය කෙටේරියයි).”
“යමෙක් නින්දා කටයුත්තාට ප්රශංසා කරාද, හෝ ප්රශංසා කටයුත්තාට නින්දා කෙරේද, හෙතෙම මුඛයෙන් (කලි නම්) අපරාධ රැස් කර ගනී. ඒ අපරාධය කරණකොටගෙන සුවයක් නොවිඳී.”
“දූකෙළියෙහි යම් ධන පරාජයෙක් වේද, තමනුත් සමග සියල්ලම පරාජය වීම වූ ඒ අපරාධය ස්වල්පයි. යමෙක් සුගතයන් (රහතුන්) කෙරෙහි සිත දූෂ්ය කරන්නේද, මෙය වනාහි ඊට වඩා මහත් අපරාධයකි.”
“ආර්ය්යයන්ට ගරහන පුද්ගලයා ලාමකවූ වචනය ද සිත ද පිහිටුවා යම් නිරයකට (උත්පත්ති වශයෙන්) පැමිණේද, (එහි ආයුෂ) නිරබ්බුදයන් ශතසහස්සයක් (ලක්ෂයක්) ද, තව (නිරබ්බුද) තිස් හයක් ද, අර්බුද පහක් ද වෙත්.”
6. 1. 10.
දුතිය කෝකාලික සූත්රය.
181. සැවැත්නුවරදී...
ඉක්බිති කෝකාලික භික්ෂු තෙම භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්නේය. එකත්පසෙක හුන්නාවූ කෝකාලික භික්ෂු තෙම භාග්යවතුන් වහන්සේට මෙසේ කීය: ‘ස්වාමීනි, සැරියුත් මුගලන් තෙරහු ලාමක අදහස් ඇත්තාහුය, ලාමක අදහස්වලට වසඟවූවාහුය.’
මෙසේ කී කල්හි භාග්යවතුන් වහන්සේ කෝකාලික භික්ෂුවට මෙසේ වදාළ සේක: ‘එසේ නොකියව, කෝකාලික, එසේ නොකියව, කෝකාලික. කෝකාලික, සැරියුත් මුගලන් දෙනම කෙරෙහි සිත පහදව. සැරියුත් මුගලන් දෙනම ප්රියශීලීය.’
දෙවනුවත් කෝකාලික භික්ෂු තෙම භාග්යවතුන් වහන්සේට මෙසේ කීය: ‘ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ වනාහි මට විශ්වාස කටයුතුය, ඇදහිය යුතු වචන ඇත්තේය. එසේ වුවත් සැරියුත් මුගලන් තෙරහු පවිටු අදහස් ඇත්තෝය, පවිටු අදහස්වලට වසඟ වූවාහුය.’
දෙවනුවත් භාග්යවතුන් වහන්සේ කෝකාලික භික්ෂුවට මෙසේ වදාළ සේක: ‘එසේ නොකියව, කෝකාලික, එසේ නොකියව, කෝකාලික. කෝකාලික, සැරියුත් මුගලන් දෙනම කෙරෙහි සිත පහදව. සැරියුත් මුගලන් දෙනම ප්රියශීලීය.’
තුන්වෙනුවත් කෝකාලික භික්ෂු තෙම භාග්යවතුන් වහන්සේට මෙය කීය: ‘ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ වනාහි මට විශ්වාස කටයුතුය, ඇදහිය යුතු වචන ඇත්තේය. එසේ වුවත් සැරියුත් මුගලන් තෙරහු පවිටු අදහස් ඇත්තෝය, පවිටු අදහස්වලට වසඟ වූවාහුය.’
තුන්වෙනුවද භාග්යවතුන් වහන්සේ කෝකාලික භික්ෂුවට මෙය වදාළ සේක: ‘එසේ නොකියව, කෝකාලික, එසේ නොකියව, කෝකාලික. කෝකාලික, සැරියුත් මුගලන් දෙනම කෙරෙහි සිත පහදව. සැරියුත් මුගලන් දෙනම ප්රියශීලීය.’
ඉක්බිති කෝකාලික භික්ෂු තෙම අසුනෙන් නැගිට භාග්යවතුන් වහන්සේ වැඳ, ප්රදක්ෂිණාකොට ගියේය. එසේ ගොස් නොබෝ වේලාවකින් කෝකාලික භික්ෂුවගේ සකල ශරීරය අබ ඇට පමණවූ පිළිකාවලින් පැතුරුනේ විය. අබ ඇට පමණව, මුං ඇට පමණ විය. මුං ඇට පමණව කඩල පමණ විය. කඩල ඇට පමණව ඩෙබර ඇට පමණ විය. ඩෙබර ඇට පමණව නෙල්ලි පමණ විය. නෙල්ලි පමණව නොපැසුණු බෙලි පමණ විය. නොපැසුණු බෙලි පමණව (පැසුණු) බෙලි පමණ විය. බෙලි පමණව පැලී ගියේය. සැරවද ලේද වැගිරිණි. ඉක්බිති කෝකාලික භික්ෂු තෙම ඒ ආබාධයෙන්ම කාලක්රියා කළේය. කාලක්රියා කළාවූ කෝකාලික භික්ෂු තෙම සැරියුත් මුගලන් දෙනම කෙරෙහි සිත දූෂ්ය කොට පදුම නිරයෙහි උපන්නේය.
ඉක්බිති සහම්පති බ්රහ්ම තෙම රාත්රිය ඉක්ම ගිය කල්හි ඉතා මනහර වර්ණ ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි සහම්පති බ්රහ්ම තෙම භාග්යවතුන් වහන්සේට මෙසේ කීය: ‘ස්වාමීනි, කෝකාලික භික්ෂු තෙම කාලක්රියා කළේය. ස්වාමීනි, කාලක්රියා කළ කෝකාලික භික්ෂු තෙම සැරියුත් මුගලන් දෙතෙරුන් කෙරෙහි සිත දූෂ්ය කොට පදුම නරකයෙහි උපන්නේය.’ සහම්පති බ්රහ්ම තෙම මෙය කීය. මෙසේ කියා භාග්යවතුන් වහන්සේ වැඳ ප්රදක්ෂිණා කොට එහිම අතුරුදහන් විය.
ඉක්බිති භාග්යවතුන් වහන්සේ ඒ රාත්රිය ඉක්මුණු පසු භික්ෂූන්ට ඇමතූ සේක: ‘මහණෙනි, මේ රාත්රියේ සහම්පති බ්රහ්ම තෙම රාත්රිය ඉක්ම ගිය කල්හි ඉතා මනහර වර්ණ ඇත්තේ සියලු ජේතවනය බබුළුවා මම යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, මා වැඳ එකත්පස්ව සිටියේය. මහණෙනි, එකත්පස්ව සිටි සහම්පති බ්රහ්ම තෙම මට මෙය කීය: “ස්වාමීනි, කෝකාලික භික්ෂු තෙම කාලක්රියා කළේය. ස්වාමීනි, කාලක්රියා කළ කෝකාලික භික්ෂු තෙම සැරියුත් මුගලන් දෙතෙරුන් කෙරෙහි සිත දූෂ්ය කොට පදුම නිරයෙහි උපන්නේය.” මහණෙනි, සහම්පති බ්රහ්ම තෙම මෙය කීය. මෙය කියා මා වැඳ ප්රදක්ෂිණා කොට එහිම අතුරුදහන් විය.’