6. 1. 10.
දුතිය කෝකාලික සූත්‍රය.
181. සැවැත්නුවරදී...
ඉක්බිති කෝකාලික භික්‍ෂු තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්නේය. එකත්පසෙක හුන්නාවූ කෝකාලික භික්‍ෂු තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය: ‘ස්වාමීනි, සැරියුත් මුගලන් තෙරහු ලාමක අදහස් ඇත්තාහුය, ලාමක අදහස්වලට වසඟවූවාහුය.’
මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ කෝකාලික භික්‍ෂුවට මෙසේ වදාළ සේක: ‘එසේ නොකියව, කෝකාලික, එසේ නොකියව, කෝකාලික. කෝකාලික, සැරියුත් මුගලන් දෙනම කෙරෙහි සිත පහදව. සැරියුත් මුගලන් දෙනම ප්‍රියශීලීය.’
දෙවනුවත් කෝකාලික භික්‍ෂු තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය: ‘ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ වනාහි මට විශ්වාස කටයුතුය, ඇදහිය යුතු වචන ඇත්තේය. එසේ වුවත් සැරියුත් මුගලන් තෙරහු පවිටු අදහස් ඇත්තෝය, පවිටු අදහස්වලට වසඟ වූවාහුය.’
දෙවනුවත් භාග්‍යවතුන් වහන්සේ කෝකාලික භික්‍ෂුවට මෙසේ වදාළ සේක: ‘එසේ නොකියව, කෝකාලික, එසේ නොකියව, කෝකාලික. කෝකාලික, සැරියුත් මුගලන් දෙනම කෙරෙහි සිත පහදව. සැරියුත් මුගලන් දෙනම ප්‍රියශීලීය.’
තුන්වෙනුවත් කෝකාලික භික්‍ෂු තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීය: ‘ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ වනාහි මට විශ්වාස කටයුතුය, ඇදහිය යුතු වචන ඇත්තේය. එසේ වුවත් සැරියුත් මුගලන් තෙරහු පවිටු අදහස් ඇත්තෝය, පවිටු අදහස්වලට වසඟ වූවාහුය.’
තුන්වෙනුවද භාග්‍යවතුන් වහන්සේ කෝකාලික භික්‍ෂුවට මෙය වදාළ සේක: ‘එසේ නොකියව, කෝකාලික, එසේ නොකියව, කෝකාලික. කෝකාලික, සැරියුත් මුගලන් දෙනම කෙරෙහි සිත පහදව. සැරියුත් මුගලන් දෙනම ප්‍රියශීලීය.’
ඉක්බිති කෝකාලික භික්‍ෂු තෙම අසුනෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ වැඳ, ප්‍රදක්‍ෂිණාකොට ගියේය. එසේ ගොස් නොබෝ වේලාවකින් කෝකාලික භික්‍ෂුවගේ සකල ශරීරය අබ ඇට පමණවූ පිළිකාවලින් පැතුරුනේ විය. අබ ඇට පමණව, මුං ඇට පමණ විය. මුං ඇට පමණව කඩල පමණ විය. කඩල ඇට පමණව ඩෙබර ඇට පමණ විය. ඩෙබර ඇට පමණව නෙල්ලි පමණ විය. නෙල්ලි පමණව නොපැසුණු බෙලි පමණ විය. නොපැසුණු බෙලි පමණව (පැසුණු) බෙලි පමණ විය. බෙලි පමණව පැලී ගියේය. සැරවද ලේද වැගිරිණි. ඉක්බිති කෝකාලික භික්‍ෂු තෙම ඒ ආබාධයෙන්ම කාලක්‍රියා කළේය. කාලක්‍රියා කළාවූ කෝකාලික භික්‍ෂු තෙම සැරියුත් මුගලන් දෙනම කෙරෙහි සිත දූෂ්‍ය කොට පදුම නිරයෙහි උපන්නේය.
ඉක්බිති සහම්පති බ්‍රහ්ම තෙම රාත්‍රිය ඉක්ම ගිය කල්හි ඉතා මනහර වර්ණ ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි සහම්පති බ්‍රහ්ම තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය: ‘ස්වාමීනි, කෝකාලික භික්‍ෂු තෙම කාලක්‍රියා කළේය. ස්වාමීනි, කාලක්‍රියා කළ කෝකාලික භික්‍ෂු තෙම සැරියුත් මුගලන් දෙතෙරුන් කෙරෙහි සිත දූෂ්‍ය කොට පදුම නරකයෙහි උපන්නේය.’ සහම්පති බ්‍රහ්ම තෙම මෙය කීය. මෙසේ කියා භාග්‍යවතුන් වහන්සේ වැඳ ප්‍රදක්‍ෂිණා කොට එහිම අතුරුදහන් විය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ රාත්‍රිය ඉක්මුණු පසු භික්‍ෂූන්ට ඇමතූ සේක: ‘මහණෙනි, මේ රාත්‍රියේ සහම්පති බ්‍රහ්ම තෙම රාත්‍රිය ඉක්ම ගිය කල්හි ඉතා මනහර වර්ණ ඇත්තේ සියලු ජේතවනය බබුළුවා මම යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, මා වැඳ එකත්පස්ව සිටියේය. මහණෙනි, එකත්පස්ව සිටි සහම්පති බ්‍රහ්ම තෙම මට මෙය කීය: “ස්වාමීනි, කෝකාලික භික්‍ෂු තෙම කාලක්‍රියා කළේය. ස්වාමීනි, කාලක්‍රියා කළ කෝකාලික භික්‍ෂු තෙම සැරියුත් මුගලන් දෙතෙරුන් කෙරෙහි සිත දූෂ්‍ය කොට පදුම නිරයෙහි උපන්නේය.” මහණෙනි, සහම්පති බ්‍රහ්ම තෙම මෙය කීය. මෙය කියා මා වැඳ ප්‍රදක්‍ෂිණා කොට එහිම අතුරුදහන් විය.’