6. 1. 6.
පමාද සූත්‍රය
177. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල වනාහි භාග්‍යවතුන් වහන්සේ දහවල් කාලය ගතකිරීම පිණිස පිළිසලීනව හුන්සේක. එකල්හි ප්‍රත්‍යෙකබ්‍රහ්මවූ සුබ්‍රහ්ම ද, ප්‍රත්‍යෙකබ්‍රහ්මවූ සුද්ධාවාස ද භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියෝය. පැමිණ, වෙන වෙනම දොරටු කණු ඇසුරු කොට සිටියහ. ඉක්බිති සුබ්‍රහ්ම පච්චේකබ්‍රහ්ම තෙම සුද්ධාවාස පච්චේකබ්‍රහ්මයාට මෙය කීය. ‘නිදුකාණනි, භාග්‍යවතුන් වහන්සේ බැහැ දකින්නට මෙය කාලය නොවේ. භාග්‍යවතුන් වහන්සේ දහවල් කාලය ගතකිරීම පිණිස පිළිසලීනව වැඩ සිටිති. අසුවල් බ්‍රහ්ම ලෝකය ඍද්ධිමත්ය, ධනවත්ය. එහි බ්‍රහ්මයා ද පමා වී වෙසේ. නිදුකාණනි යමු, ඒ බ්‍රහ්ම ලෝකය යම් තැනෙකද එතැනට පැමිණෙමු. පැමිණ ඒ බ්‍රහ්මයා සංවේගයට පත්කරමු’ යි. ‘එසේය, නිදුකාණනි’ යි සුද්ධාවාස පච්චේකබ්‍රහ්ම තෙම සුබ්‍රහ්ම පච්චේකබ්‍රහ්මයාට පිළිවදන් දුන්නේය.
ඉක්බිති සුබ්‍රහ්ම පච්චේකබ්‍රහ්ම ද, සුද්ධාවාස පච්චේකබ්‍රහ්ම ද, ශක්තිමත් පුරුෂයෙක් හකුළන ලද අතක් දික් කරන්නේ හෝ දික්කළ අතක් හකුළන්නේ හෝ යම්සේද, එසේම භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙන් අතුරුදන්ව ඒ බඹලොව පහළවූහ.
ඒ බ්‍රහ්ම තෙම දුරදීම එන ඒ බ්‍රහ්මයන් දුටුවේය. දැක ඒ බ්‍රහ්මයන්ට මෙය කීය: ‘නිදුකාණනි, නුඹලා කොතැන්හි සිට එන්නහුද?’
‘නිදුකාණනි, අපි වනාහි අර්හත්වූ, සම්මාසම්බුද්ධවූ, භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙන් එන්නෙමු. නිදුකාණනි, නුඹත් ඒ අර්හත්වූ, සම්මාසම්බුද්ධවූ, භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන පිණිස යන්නෙහි නම් මැනවි.’
මෙසේ කියනු ලැබූ ඒ බ්‍රහ්ම තෙම ඒ වචනය නොයිවසන්නේ තමා දහස් දෙනෙකු මවා සුබ්‍රහ්ම පච්චේකබ්‍රහ්මයාට මෙසේ කීය. ‘නිදුකාණනි, මාගේ මෙබඳු ඍද්ධි ආනුභාවයක් නුඹ නොදක්නෙහිද?’
‘නිදුකාණනි, මෙබඳු ඍද්ධි ආනුභාවයක් ඇති නුඹ මම දකිමි.’
‘නිදුකාණනි, ඒ මම වනාහි මෙසේ මහත් ඍද්ධි ඇතිව, මෙසේ මහත් ආනුභාව ඇතිව, අන් කවර ශ්‍රමණයෙකුගේ හෝ බ්‍රාහ්මණයෙකුගේ හෝ උපස්ථානයට යන්නෙම්ද?’
ඉක්බිති සුබ්‍රහ්ම පච්චේකබ්‍රහ්ම තෙම තමා දෙදහස් වරක් මවා (දෙදහස් දෙනෙකු කොට දක්වා) ඒ බ්‍රහ්මයාට මෙසේ කීය: ‘නිදුකාණනි, මාගේ මෙබඳුවූ ඍද්ධි ආනුභාවය නුඹ නොදක්නෙහිද?’
‘නිදුකාණනි, මෙබඳු ඍද්ධි ආනුභාවයක් ඇති නුඹ මම දකිමි.’
‘නිදුකාණනි, තොපටත් වඩා මා විසින් ද භාග්‍යවතුන් වහන්සේ ම ඉතා ඍද්ධිමත් වන සේක, මහානුභාව සම්පන්න වන සේක. නිදුකාණනි, තොප ඒ අර්හත්වූ සම්මාසම්බුද්‍ධවූ භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන පිණිස යනු මැනවි.’
ඉක්බිති ඒ බ්‍රහ්ම තෙම සුබ්‍රහ්ම පච්චේකබ්‍රහ්මයාට ගාථාවකින් මෙසේ ඇමතීය: