6. 1. 7.
කෝකාලික සූත්‍රය.
178. සැවැත්නුවරදී...
එකල වනාහි භාග්‍යවතුන් වහන්සේ දහවල් කාලය ගතකිරීම පිණිස පිළිසලීනව හුන්සේක. එකල්හි සුබ්‍රහ්ම පච්චේකබ්‍රහ්ම ද, සුද්ධාවාස පච්චේකබ්‍රහ්ම ද භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියෝය. පැමිණ, වෙන වෙනම දොරටු කණු ඇසුරුකොට සිටියහ. එකල්හි සුබ්‍රහ්ම පච්චේකබ්‍රහ්ම තෙම කෝකාලික භික්‍ෂුව අරභයා භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
“මෙලොව යම් නුවණ ඇත්තෙක් අප්‍රමේයවූ (ගුණ ඇති) පුද්ගලයා මනින්නේ නම් (ප්‍රමාණ කරයි නම්), හෙතෙම කෙසේ නම් විකල්ප කරන්නේද? අප්‍රමේයවූ පුද්ගලයා මනින්නාවූ ඒ තැනැත්තා වැසුණු (නුවණැති) පෘථග්ජනයෙකැයි මම හඟිමි.”
6. 1. 8.
කතමොරකතිස්ස සූත්‍රය.
179. සැවැත්නුවරදී...
එකල වනාහි භාග්‍යවතුන් වහන්සේ දහවල් කාලය ගතකිරීම පිණිස පිළිසලීනව හුන්සේක. ඉක්බිති සුබ්‍රහ්ම පච්චේකබ්‍රහ්ම ද, සුද්ධාවාස පච්චේකබ්‍රහ්ම ද, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියෝය. පැමිණ, දොරටු කණු ඇසුරුකොට වෙන වෙනම සිටියහ. ඉක්බිති සුද්ධාවාස පච්චේකබ්‍රහ්ම තෙම කතමොරකතිස්සක භික්‍ෂුව අරභයා භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
“මෙලොව යම් නුවණ ඇත්තෙක් අප්‍රමේයවූ (ගුණ ඇති) පුද්ගලයා මනින්නේ නම්, හෙතෙම කෙසේ නම් විකල්ප කරන්නේද? අප්‍රමේයවූ පුද්ගලයා මනින්නාවූ ඒ තැනැත්තා වැසුණු (නුවණැති) පෘථග්ජනයෙකැයි (අඥානයෙකැයි) මම හඟිමි.”
6. 1. 9.
තුදුබ්‍රහ්ම සූත්‍රය.
180. සැවැත්නුවරදී...
එකල්හි වනාහි කෝකාලික භික්‍ෂු තෙම ආබාධ ඇත්තේ දුක් වූයේ දැඩි සේ ගිලන් වූයේ වෙයි. ඉක්බිති තුදු පච්චේකබ්‍රහ්ම තෙම රාත්‍රිය ඉක්ම ගිය කල්හි ඉතා මනහර වර්ණ ඇත්තේ සියලු ජේතවනය බබුළුවා කෝකාලික භික්‍ෂුව යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, අහසෙහි සිට කෝකාලික භික්‍ෂුවට මෙසේ කීය: ‘කෝකාලික, සැරියුත් මුගලන් දෙදෙනා කෙරෙහි සිත පහදව. සැරියුත් මුගලන් දෙදෙනා ප්‍රියශීලීය.’
‘ඇවැත්නි, නුඹ කවරෙක්ද?’ ‘මම තුදු පච්චේක බ්‍රහ්ම වෙමි.’ ‘ඇවැත්නි, නුඹ භාග්‍යවතුන් වහන්සේ විසින් අනාගාමී යැයි ප්‍රකාශ කරන ලද්දේ නොවේද? එසේ වී නම් මෙහි කුමකට ආයෙහිද? නුඹගේ මේ කොපමණ අපරාධයෙක්දැයි බලව.’
“පුරුෂයා උපන් කල්හි ඔහුගේ මුඛයෙහි කෙටේරියක් උපදී. යමකින් අඥාන තෙම නපුරු වචන කියමින් තමාම කපාගනීද (ඒ වාග් දුශ්චරිතය කෙටේරියයි).”
“යමෙක් නින්දා කටයුත්තාට ප්‍රශංසා කරාද, හෝ ප්‍රශංසා කටයුත්තාට නින්දා කෙරේද, හෙතෙම මුඛයෙන් (කලි නම්) අපරාධ රැස් කර ගනී. ඒ අපරාධය කරණකොටගෙන සුවයක් නොවිඳී.”
“දූකෙළියෙහි යම් ධන පරාජයෙක් වේද, තමනුත් සමග සියල්ලම පරාජය වීම වූ ඒ අපරාධය ස්වල්පයි. යමෙක් සුගතයන් (රහතුන්) කෙරෙහි සිත දූෂ්‍ය කරන්නේද, මෙය වනාහි ඊට වඩා මහත් අපරාධයකි.”
“ආර්‍ය්‍යයන්ට ගරහන පුද්ගලයා ලාමකවූ වචනය ද සිත ද පිහිටුවා යම් නිරයකට (උත්පත්ති වශයෙන්) පැමිණේද, (එහි ආයුෂ) නිරබ්බුදයන් ශතසහස්සයක් (ලක්ෂයක්) ද, තව (නිරබ්බුද) තිස් හයක් ද, අර්බුද පහක් ද වෙත්.”
6. 1. 10.
දුතිය කෝකාලික සූත්‍රය.
181. සැවැත්නුවරදී...
ඉක්බිති කෝකාලික භික්‍ෂු තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්නේය. එකත්පසෙක හුන්නාවූ කෝකාලික භික්‍ෂු තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය: ‘ස්වාමීනි, සැරියුත් මුගලන් තෙරහු ලාමක අදහස් ඇත්තාහුය, ලාමක අදහස්වලට වසඟවූවාහුය.’
මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ කෝකාලික භික්‍ෂුවට මෙසේ වදාළ සේක: ‘එසේ නොකියව, කෝකාලික, එසේ නොකියව, කෝකාලික. කෝකාලික, සැරියුත් මුගලන් දෙනම කෙරෙහි සිත පහදව. සැරියුත් මුගලන් දෙනම ප්‍රියශීලීය.’