6. 1. 5.
අපරාදිට්ඨි සූත්රය.
176. මා විසින් මෙසේ අසනලදී: එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම්වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල වනාහි එක්තරා බ්රහ්මයෙකුට ‘මේ බඹලොවට ආ හැකි මහණෙක් හෝ බමුණෙක් හෝ නැතැ’ යි මෙබඳු ලාමක දෘෂ්ටියෙක් උපන්නේ වෙයි. (එහි) මෙලොව උපදින (සත්වයෝ) නැතැයි කියායි.
එකල්හි භාග්යවතුන් වහන්සේ ඒ බඹහුගේ සිතෙහිවූ කල්පනාව තම සිතින් දැන, ශක්තිමත් පුරුෂයෙකු හකුළන ලද අතක් දික් කරන්නේ හෝ දික්කළ අතක් හකුළන්නේ හෝ යම්සේද, එසේම ජේතවනාරාමයෙන් අතුරුදන්ව ඒ බඹලොව පහළ වූ සේක. ඉක්බිති භාග්යවතුන් වහන්සේ තේජෝධාතු සමාපත්තියට සමවැද ඒ බඹහට මතුයෙහි අහසෙහි පළක් බැඳ හුන් සේක.
එකල්හි ආයුෂ්මත් මහාමොග්ගල්ලාන තෙරණුවන්ට, ‘දැන් භාග්යවතුන් වහන්සේ කොහි වැඩවසන සේක්දෝ’ යි මේ සිත විය. ආයුෂ්මත් මහාමොග්ගල්ලාන තෙරණුවෝ මිනිස් විෂය ඉක්මවා පවත්නා විසුද්ධවූ දිවැසින්, ඒ බඹහු මතුයෙහි අහසෙහි පළඟින් තේජෝධාතු සමාපත්තියට සමවැද හුන් භාග්යවතුන් වහන්සේ දුටහ. දැක ශක්තිමත් පුරුෂයෙක් හකුළන ලද අතක් දික් කරන්නේ හෝ දික්කළ අතක් හකුළන්නේ හෝ යම්සේද, එසේම ජේතවනාරාමයෙන් අතුරුදන්ව ඒ බඹලෙව්හි පහළ වූහ.
ඉක්බිති ආයුෂ්මත් මහාමොග්ගල්ලාන තෙරණුවෝ පෙර දිශාව ඇසුරුකොට ඒ බඹහට මත්තෙන් භාග්යවතුන් වහන්සේට පහතින් තේජෝධාතු සමාපත්තියට සමවැද අහස්හි පළක් බැඳ හුන්හ.
එකල්හි ආයුෂ්මත් මහාකාශ්යප තෙරණුවන්ට, ‘දැන් භාග්යවතුන් වහන්සේ කොහි වැඩවසන සේක්ද?’ යි මේ සිත විය. ආයුෂ්මත් මහාකාශ්යප තෙරණුවෝ මිනිස් විෂය ඉක්මවා පවත්නා විසුද්ධවූ දිවැසින්, ඒ බඹහු මතුයෙහි අහසෙහි පළඟින් තේජෝධාතු සමාපත්තියට සමවැද හුන් භාග්යවතුන් වහන්සේ දුටහ. දැක ශක්තිමත් පුරුෂයෙක් හකුළන ලද අතක් දික් කරන්නේ හෝ දික්කළ අතක් හකුළන්නේ හෝ යම්සේද, එසේම ජේතවනාරාමයෙන් අතුරුදන්ව ඒ බඹලොව පහළ වූහ. ඉක්බිති ආයුෂ්මත් මහාකාශ්යප තෙරණුවෝ දකුණු දෙස ඇසුරුකොට ඒ බඹහට මත්තෙන් භාග්යවතුන් වහන්සේට පහතින් තේජෝධාතු සමාපත්තියට සමවැද අහස්හි පළක් බැඳ හුන්හ.
එකල්හි ආයුෂ්මත් මහාකප්පින තෙරණුවන්ටද, ‘දැන් භාග්යවතුන් වහන්සේ කොහි වැඩවසන සේක්ද?’ යි මේ සිත විය. ආයුෂ්මත් මහාකප්පින තෙරණුවෝ මිනිස් විෂය ඉක්මවා පවත්නා විසුද්ධවූ දිවැසින් ...පෙ... ඒ බඹහු මතුයෙහි අහසෙහි පළඟින් තේජෝධාතු සමාපත්තියට සමවැද හුන් භාග්යවතුන් වහන්සේ දුටහ. දැක ශක්තිමත් පුරුෂයෙක් ...පෙ... එසේම ජේතවනාරාමයෙන් අතුරුදන්ව ඒ බඹලොව පහළ වූහ. ඉක්බිති ආයුෂ්මත් මහාකප්පින තෙරණුවෝ බටහිර දිග ඇසුරුකොට ඒ බඹහට මත්තෙන් භාග්යවතුන් වහන්සේට පහතින් තේජෝධාතු සමාපත්තියට සමවැද අහස්හි පළක් බැඳ හුන්හ.
එකල්හි ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවන්ට මේ සිත විය: ‘දැන් භාග්යවතුන් වහන්සේ කොහි වැඩවසන සේක්ද?’ ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ මිනිස් විෂය ඉක්මවා පවත්නා විසුද්ධවූ දිවැසින් ...පෙ... ඉක්බිති ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ උතුරු දිග ඇසුරුකොට ඒ බඹහට මත්තෙන් භාග්යවතුන් වහන්සේට පහතින් තේජෝධාතු සමාපත්තියට සමවැද අහස්හි පළක් බැඳ හුන්හ.
ඉක්බිති ආයුෂ්මත් මහාමොග්ගල්ලාන තෙරණුවෝ ඒ බඹහුට ගාථාවකින් මෙසේ ඇමතූහ:
“ඇවැත්නි, පෙර තොපගේ යම් දෘෂ්ටියෙක් වීනම් අදත් තොපට ඒ දෘෂ්ටිය ඇත්තේද? බඹලෙව්හි අන්ය රශ්මීන් මැඩපවත්වමින් බබළන රශ්මිමාලාව දකිහිද?”