6. 1. 4.
බකබ්රහ්ම සූත්රය
175. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. එකල වනාහි බකබ්රහ්මයාට ‘මේ බ්රහ්මාත්මභාවය නිත්යය, මෙය ස්ථිරය, මෙය සදාකාලිකය, මෙය අඩුවක් නැති සියල්ලය, මින් චුතවීමෙක් නැත. මෙය වනාහි නොහටගනී, නොදිරයි, නොමියෙයි, චුත නොවෙයි, (මින්) චුතව අන් තැනෙක නොඋපදියි, මෙයින් මත්තෙහි සසරින් ගැලවී යායුතු අන් තැනෙක් නැතැ” යි මෙබඳු ලාමක දෘෂ්ටියෙක් උපදින්නේ වෙයි.
එකල්හි වනාහි භාග්යවතුන් වහන්සේ බකබ්රහ්මයාගේ අදහස තම සිතින් දැන, ශක්තිමත් පුරුෂයෙක් නැවූ අතක් දික් කරන්නේ හෝ දික්කළ අතක් නවන්නේ හෝ යම්සේද, එසේම (විගසින්) ජේතවනාරාමයෙන් අතුරුදන්ව ඒ බඹලෙව්හි පහළවූසේක. බකබ්රහ්ම තෙම එහි වඩින භාග්යවතුන් වහන්සේ දුරදීම දැක, භාග්යවතුන් වහන්සේට (මෙහි වඩින්න, නිදුකාණනි, බොහෝ කලකට පසු ඔබ මෙහි වැඩියේ යහපත, නිදුකාණනි, මේ බ්රහ්මාත්මභාවය වනාහි නිත්යය, මෙය ස්ථිරය, මෙය සදාකාලිකය, මෙය අඩුවක් නැති සියල්ලය, මින් චුතවීමෙක් නැත. මෙය නොහටගනී, නොදිරයි, මියෙන්නෙක් නැත, චුතවීමෙක් නැත, මෙයින් චුතව අන් තැනෙක උපදනෙක් නැත. මෙයට වැඩි සසරින් ගැලවෙන අනෙක් තැනෙක් නැතැ” යි කීය.
මෙසේ කීකල භාග්යවතුන් වහන්සේ බකබ්රහ්මයාට, ‘අනිත්යම වන දේ නිත්යයයි කියානම්, අස්ථිරම වන දේ ස්ථිරයයි කියානම්, සදාකාලිකම නොවන දේ සදාකාලිකයයි කියානම්, අඩුවක් ඇති දේ අඩුවක් නැති සියල්ලය කියානම්, චුතවන ස්වභාව ඇති දෙයක් චුතවන ස්වභාව නැති දෙයක් යයි කියා නම්, යම් තැනෙක වනාහි ජාති ජරා මරණ චුතවීම් ඉපදීම් වේනම්, ඒ පිළිබඳව එහි ජාති ජරා මරණ චුතවීම් ඉපදීම් නැතැයි කියානම්, එයට වැඩි, සසරින් ගැලවෙන අනෙක් තැනක් ඇතිකල එයට වැඩි (ගැලවීමෙක්නැතැයි) කියා නම් එසේවූ මේ බකබ්රහ්මතෙම ඒකාන්තයෙන් අවිද්යාවෙන් අන්ධව ගියේ වේයයි’ වදාළසේක.
[බක බ්රහ්මයා:]
“ගෞතමයෙනි, (අපි) හැත්තෑදෙනෙක් (කරනලද) පින්කම් ඇත්තෝ ජාතිය හා ජරාව ඉක්මගියෝ වමු. අනුන් තමන් වසඟකොට පවත්වන්නෝ වමු. වේදගූ නම් වෙමු. මේ වනාහි කෙළවරවූ බඹලොව උපතයි, අන්ය බොහෝ ජනයෝ අප ප්රාත්ර්ථනා කෙරෙති.”
[භාග්යවතුන් වහන්සේ:]
බකබ්රහ්මය, තෝ යම් ආයුෂයක් දීර්ඝායුෂයයි හඟින්නෙහිද, එය දීර්ඝායුෂයක් නොවේ. නිරබ්බුද නම් ගණනින් ලක්ෂයක් ආයුෂ යයි මම දනිමි.”
[බක බ්රහ්මයා:]
“භාග්යවතුනි, ‘මම අනන්තදර්ශී වෙමි’ යිද, ‘ජාතිය හා ජරාව හා ශෝකය ඉක්ම සිටියෙම් වෙමි’ යිද කියන්නෙහිය. මාගේ පුරාතනවූ කුමන නම් ව්රත සමාදානයෙක් වීද? කුමන ශීලයෙක් වීද? යමක් මම දනිම්ද එය මට කියව.”
[භාග්යවතුන් වහන්සේ:]
“ග්රීෂ්ම කාලයෙහි පීඩිතවූ පිපාසිතවූ බොහෝ මිනිසුන්ට තෝ පැන් පෙවූයෙහිද, තාගේ ඒ පුරාතනවූ ව්රත සමාදානය හා ශීලය නිදා සිට නැගිටියක්හු මෙන් මම සිහිකරමි.
“ඒණිනම් ගංතෙර සොරුන් විසින් අල්ලාගන්නාලද අතපය බැඳගෙන යනු ලබන්නාවූ මිනිසුන් යම්හෙයකින් මිදීද, තාගේ ඒ පුරාතන ව්රත සමාදානය හා ශීලය නිදා සිට නැගිටියක්හු මෙන් සිහිකරමි.
“මිනිසුන් විනාශකරනු කැමැත්තෙන් රෞද්රවූ නයා විසින් ගඞගානම් ගඟ දියෙහි ගන්නාලද නැව බලපා මැඩ මිදුනෙහිය. ඒ තාගේ පුරාතනවූ ව්රත සමාදානය හා ශීලය නිදා සිට නැගිටියක්හු මෙන් සිහිකරමි.
“තට මම කප්ප නම් අතවැස්සෙක් වූයෙමි. (ඒ නුඹ) මනා නුවනැත්තෙකු ලෙසද, ව්රත සම්පන්නයකු ලෙසද සිතූයෙමි. එසේවූ තාගේ ව්රත සමාදානය හා ශීලය නිදා සිට නැගිටියක්හු මෙන් සිහිකරමි.”
[බක බ්රහ්මයා:]
“මාගේ මේ ආයුෂ ඒකාන්තයෙන් දන්නෙහිය. සෙසු සියල්ලද දන්නෙහිය. ඒසේ හෙයින්ම ඔබ බුද්ධ වෙහිය. එහෙයිම ඔබගේ මේ දිලිසෙන ආනුභාවය බඹලෙජව මුළුල්ල බබුළුවමින් සිටී.”
6. 1. 5.
අපරාදිට්ඨි සූත්රය.
176. මා විසින් මෙසේ අසනලදී: එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම්වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල වනාහි එක්තරා බ්රහ්මයෙකුට ‘මේ බඹලොවට ආ හැකි මහණෙක් හෝ බමුණෙක් හෝ නැතැ’ යි මෙබඳු ලාමක දෘෂ්ටියෙක් උපන්නේ වෙයි. (එහි) මෙලොව උපදින (සත්වයෝ) නැතැයි කියායි.
එකල්හි භාග්යවතුන් වහන්සේ ඒ බඹහුගේ සිතෙහිවූ කල්පනාව තම සිතින් දැන, ශක්තිමත් පුරුෂයෙකු හකුළන ලද අතක් දික් කරන්නේ හෝ දික්කළ අතක් හකුළන්නේ හෝ යම්සේද, එසේම ජේතවනාරාමයෙන් අතුරුදන්ව ඒ බඹලොව පහළ වූ සේක. ඉක්බිති භාග්යවතුන් වහන්සේ තේජෝධාතු සමාපත්තියට සමවැද ඒ බඹහට මතුයෙහි අහසෙහි පළක් බැඳ හුන් සේක.