2. පරිනිර්වාණ වර්ගය
6. 2. 1.
1. සනංකුමාර (හෙවත්) බ්රහ්මාසනා සූත්රය
182. මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක භාග්යවතුන් වහන්සේ රජගහ නුවර සප්පිනී (නදී) තෙර වසනසේක. ඉක්බිති සනංකුමාර බ්රහ්මතෙම රෑ පෙරයම ඉක්මුණු කල්හි සියලු සප්පිනී (නදී) තීරය තමාගේ ශරීර ආලෝකයෙන් බබුළුවා භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ එක් පසෙක සිටියේය. එක් පසෙක සිටි සනංකුමාර බ්රහ්මයා වනාහි භාග්යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
“මිනිසුන් අතුරෙහි යම් ජනකෙනෙක් වංශය ගැන සලකන්නහුද, (ඔවුනතුරෙන්) ක්ෂත්රියතෙම ශ්රේෂඨයි. (යම් කිසිවෙක්) ත්රිවිද්යාවෙන් හා (පසළොස්) චරණ ධර්මයන්ගෙන් යුක්තවේ නම් ඒ තෙම දිව්ය මනුෂ්යයන් අතුරෙන් ශ්රේෂ්ඨයි.”
සනංකුමාර බ්රහ්මයා මෙය කීය. ශාස්තෲන් වහන්සේ එකඟවූසේක. ඉක්බිතිව සනංකුමාර බ්රහ්මයා “ශාස්තෲන් වහන්සේ මා හා එකඟවූ සේකැ” යි (සිතා) භාග්යවතුන් වහන්සේ වැඳ ප්රදක්ෂිණාකොට එහිම අතුරුදහන්විය.
6. 2. 2.
2. දේවදත්ත සූත්රය
183. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ දෙව්දත්තෙර සඞඝභේදය කොට ගයා සීසයට ගිය නොබෝ කල්හි රජගහනුවර ගිජුකුළුපව්වෙහි වැඩවසනසේක. ඉක්බිති සහම්පති බ්රහ්මයා මධ්යම රාත්රිය ඉක්මුණුකල බබළන ශරීර වර්ණ ඇත්තේ සියලු ගිජුකුළුපව්ව බබුළුවා භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන් සහම්පති බ්රහ්මයා දෙව්දතුන් ගැන භාග්යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
“යම්සේ ඵලයතෙම ඒකාන්තයෙන් කෙසෙල්ගස නසාද, ඵලය හුණ ගස නසයිද, ඵලය බට ගස නසයිද, දරුගැබ අශ්වතරීය (කොටලුට දාව වෙළඹ කුස උපන්නීය) යම්සේ නසන්නේද, (එසේම) සත්කාරය තෙම අධම පුරුෂයා නසයි.”
6. 2. 3.
3. අන්ධකවින්ද සූත්රය
184. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ මගධරට අන්ධකවින්ද ගම වැඩවසනසේක. එකල වනාහි භාග්යවතුන් වහන්සේ ඝනාන්ධකාරයෙන් අඳුරුවූ රාත්රියෙක එළිමහනෙහි හුන්සේක. වැස්සද පොද එක දෙක වැටුනේය.
ඉක්බිති සහම්පති බ්රහ්මයා මධ්යම රාත්රිය ඉක්මුණුකල බබළන ශරීර වර්ණ ඇත්තේ සියලු අන්ධකවින්ද ගම බබුළුවා භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි සහම්පති බ්රහ්මයා භාග්යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාවන් කීය:
“(මනුෂ්යවාසයෙන් දුර පිහිටි සේනාසනයන් සෙවනය කරන්නේය.) සංයෝජනයන්ගෙන් මිදීම පිණිස හැසිරෙන්නේය. ඒ සෙනසුන් ප්රියකළ නොහැකිනම් ආරක්ෂා සහිත ආත්මයක් ඇතිව සිහි ඇතිව සඞඝයා මධ්යයෙහි වාසය කරන්නේය.
“දමනය කරනලදඉන්ද්රිය ඇත්තාවූ, පුඥාවත්වූ, ස්මෘතිමත්වූ, කුලයෙන් කුලයට පිඬු පිණිස හැසිරෙන්නේ, (මනුෂ්යවාසයෙන් දුර පිහිටි) වනසෙනසුන් සේවනය කරන්නේය. හෙතෙම සංසාර භයෙන් මිදුනෙක්ව නිර්වානයෙහි නැමුණෙක්ව වාසය කරන්නේය.
“යම් තැනෙක බියජනක අරමුණු වෙත්ද, දීර්ඝ ජාතික සර්පාදීහු වෙත්ද, විදුලිය පවතීද, මේඝය ගර්ජනය කෙරේද, ඒ ස්ථානයෙහි (යෝගාවචර) මහණතෙම (භාග්යවතුන් වහන්සේ) ඝනාන්ධකාරයෙන් අඳුරුවූ රාත්රියෙහි පහවූ භය ඇතිව හුන්නේය.
“මේ කාරණය වනාහි මා විසින් ඒකාන්තයෙන් දක්නා ලද්දේය. මම මේ කාරණය ප්රත්යක්ෂ වශයෙන් දැනගෙනම කියමි. එක් ධර්මදේශනාවෙක්හි මාරයා පරදවා සිටින්නාවූ රහතන්වහන්සේලා දහසක් වෙයි.
“බොහෝසේ ශෛක්ෂයෝ (රහත් නොවූ ආර්ය්යයෝ) පන්සියයක්ද, (එක්සිය දස දෙනෙක්)ද වෙති. මේ සියල්ලෝම ආර්ය්ය මාර්ගයට පැමිණියාහු නිරයාදියට නොපැමිණෙන්නාහු වෙති.
“තවද මේ (හැර) අන්ය ප්රජා තොමෝ පුණ්යයට හිමියයි මාගේ කල්පනාවයි. ඔවුන් මෙපමණය කියා ගනින්නට නොහැක්කෙමි.” (ගණන වැරදීමෙන්) මෘෂාවාදයට බිය වෙමි.”
6. 2. 4.
4. අරුණවතී සූත්රය
185. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. එකල්හි වනාහි භාග්යවතුන් වහන්සේ “මහණෙනි” යි, භික්ෂූන්ට කථාකළසේක. ‘ස්වාමීනි’ යි ඒ භික්ෂූහු භාග්යවතුන්ට උත්තර දුන්හ. භාග්යවතුන් වහන්සේ මෙය කීය:
“මහණෙනි, පෙරවූ දෙයක් කියමි. අරුණවා නම් රජෙක් විය. මහණෙනි, අරුණවා රජහට අරුණවතී නම් රාජධානියෙක් විය. මහණෙනි, අරුණවතී රාජධානිය ඇසුරුකොට සිඛී නම් භාග්යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වුසූ සේක, “මහණෙනි, සිඛී නම් භාග්යවත් අර්හත් සම්මා සම්බුද්ධයන් වහන්සේට අහිභු, සම්භව නම් අග්රවූ, උතුම්වූ ශ්රාවක දෙදෙනෙක් විය.
“මහණෙනි, එකල්හි වනාහි සිඛී නම්වූ භාග්යවත්වූ අර්හත්වූ සම්මා සම්බුද්ධයන් වහන්සේ අහිභු භික්ෂුවට (මෙසේ) වදාළසේක. ‘බ්රාහ්මණය, බත් වේලාව පැමිණෙනතුරු කිසියම් බඹලොවකට පැමිණෙමු.’ “මහණෙනි, ‘එසේය, ස්වාමීනි’ යි අහිභු භික්ෂුතෙම සිඛී භාග්යවත් අර්හත් සම්මා සම්බුද්ධයන් වහන්සේට උත්තර දුන්නේය.
“මහණෙනි, ඉක්බිති ඒ සිඛී නම් භාග්යවත් අර්හත් සම්මා සම්බුද්ධයන් වහන්සේත් අහිභු භික්ෂුවත් ශක්තිමත් පුරුෂයෙක් නැවූ අත දික් කරන්නේ හෝ දික්කළ අත නවන්නේ හෝ යම්සේද එසේ අරුණවතී රාජධානියෙන් අතුරුදහන්ව ඒ බඹලෙව්හි පහළවූහ.