3. 2. 9.
පඨම අපුත්තක සූත්රය.
130. සැවැත් නුවරදී -
එකල්හි පසේනදි කොසොල් රජ දවල් කාලයේ භාග්යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්නේය. එකත්පස්ව හුන් පසේනදි කොසොල් රජුගෙන් භාග්යවතුන් වහන්සේ මෙය විමසූ සේක: 'මහරජ, ඔබ මේ දවල් කාලයේ කොහි සිට එන්නෙහිද?'
ස්වාමීනි, මෙහි සැවැත් නුවර සිටු ගෘහපතියා කාලක්රියා කළේය. දරුවන් නැති ඔහුගේ ඒ වස්තුව මම රාජාන්තඃපුරයට ගෙන එමි. ස්වාමීනි, රන් කහවනුම අසූ ලක්ෂයකි. රිදී ගැන කියනුම කවරේද? ස්වාමීනි, ඒ සිටු ගෘහපතියාගේ ආහාර පරිභෝගය මෙබඳු විය: මිරිස් හොදි සමග නිවුඩු හාලේ බත් කයි. වස්ත්ර පරිභෝගය මෙබඳු විය: තුන් කඩක් මූට්ටු කළ හණවැහැරියක් දරයි. යාන පරිභෝගය මෙබඳු විය: කොළ කුඩයක් දරමින් දිරාගිය රථයකින් යයි.
එය එසේය මහරජ, එය එසේය මහරජ. මහරජ, අසත්පුරුෂයා වනාහි මහත් වස්තුව ලැබ තමන්ද සුවපත් නොකරයි, නොපිනවයි. මව්පියන්ද සුවපත් නොකරයි, නොපිනවයි. අඹුදරුවන්ද සුවපත් නොකරයි, නොපිනවයි. දාස කම්කරු පුරුෂයන්ද සුවපත් නොකරයි, නොපිනවයි. මිත්රාමාත්යයන්ද සුවපත් නොකරයි, නොපිනවයි. මහණ බමුණන් කෙරෙහි මතු සැප ගෙන දෙන, සුගතියට හිතවත් වූ, සැප විපාක ඇති, සග සැප පිණිස පවත්නා දක්ෂිණාව නොපිහිටුවයි. මෙසේ මනාකොට පරිභෝග නොකරන්නා වූ ඔහුගේ ඒ භෝගයන් රජවරු හෝ පැහැර ගනිති. සොරු හෝ පැහැර ගනිති. ගින්නෙන් හෝ දැවෙයි. දියෙන් හෝ ගසාගෙන යයි. අප්රිය දායාදයන් හෝ පැහැර ගනිති. මහරජ, මෙසේ ඔහුගේ ඒ භෝගයෝ මනාකොට පරිභෝග නොකරන ලද්දාහු විනාශයට යති, පරිභෝගයට නොයති.
මහරජ, යම්සේ අමනුෂ්යයන් ගැවසෙන තැනක පොකුණක් ඇත්තේද, පහන් දිය ඇති, සිහිල් දිය ඇති, මිහිරි දිය ඇති, සුදු වැලිතලා ඇති, මනාව පිහිටි තොටුපොල ඇති, රමණීය වූ (එම පොකුණේ) ජලය ජනයා නොගෙනියන්නේය, නොබොන්නේය, නොනාන්නේය, කැමති පරිදි ප්රයෝජනයට නොගන්නේය. මහරජ, මෙසේ ඒ ජලය මනාකොට පරිභෝග නොකරන ලද්දේ ක්ෂය වීමට යයි, පරිභෝගයට නොයයි.
මහරජ, එසේම අසත්පුරුෂයා උදාර වූ භෝග සම්පත් ලැබ තමන් සුවපත් නොකරයි, නොපිනවයි. (පෙ) අප්රිය දායාදයන් හෝ පැහැර ගනිති. මෙසේ ඔහුගේ ඒ භෝගයෝ මනාකොට පරිභෝග නොකරන ලද්දාහු විනාශයට යති, පරිභෝගයට නොයති.
මහරජ, සත්පුරුෂයා වනාහි උදාර වූ භෝග සම්පත් ලැබ තමන් සුවපත් කරයි, පිනවයි. මව්පියන් සුවපත් කරයි, පිනවයි. අඹුදරුවන් සුවපත් කරයි, පිනවයි. දාස කම්කරු පුරුෂයන් සුවපත් කරයි, පිනවයි. මිත්රාමාත්යයන් සුවපත් කරයි, පිනවයි. මහණ බමුණන් කෙරෙහි මතු සැප ගෙන දෙන, සුගතියට හිතවත් වූ, සැප විපාක ඇති, සග සැප පිණිස පවත්නා දක්ෂිණාව පිහිටුවයි. මෙසේ මනාකොට පරිභෝග කරන්නා වූ ඔහුගේ ඒ භෝගයන් රජවරු පැහැර නොගනිති. සොරු පැහැර නොගනිති. ගින්නෙන් නොදැවෙයි. දියෙන් ගසාගෙන නොයයි. අප්රිය දායාදයන් පැහැර නොගනිති. මහරජ, මෙසේ ඔහුගේ ඒ භෝගයෝ මනාකොට පරිභෝග කරන ලද්දාහු පරිභෝගයට යති, විනාශයට නොයති.
මහරජ, යම්සේ ගමක් හෝ නියම් ගමක් සමීපයෙහි පොකුණක් ඇත්තේද, පහන් දිය ඇති, සිහිල් දිය ඇති, මිහිරි දිය ඇති, සුදු වැලිතලා ඇති, මනාව පිහිටි තොටුපොල ඇති, රමණීය වූ (එම පොකුණේ) ජලය ජනයා ගෙනියන්නේය, බොන්නේය, නාන්නේය, කැමති පරිදි ප්රයෝජනයට ගන්නේය. මහරජ, මෙසේ ඒ ජලය මනාකොට පරිභෝග කරන ලද්දේ පරිභෝගයට යයි, ක්ෂය වීමට නොයයි. එසේම මහරජ, ධීර වූ සත්පුරුෂයා උදාර වූ භෝග සම්පත් ලැබ තමන් සුවපත් කරයි, පිනවයි... (පෙ) ...මෙසේ ඔහුගේ ඒ භෝගයෝ මනාකොට පරිභෝග කරන ලද්දාහු පරිභෝගයට යති, විනාශයට නොයති.