3. 2. 10.
දුතිය අපුත්තක සූත්‍රය.
131. සැවැත් නුවරදී -
එකල්හි පසේනදි කොසොල් රජ දවල් කාලයේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්නේය. එකත්පස්ව හුන් පසේනදි කොසොල් රජුගෙන් භාග්‍යවතුන් වහන්සේ මෙය විමසූ සේක: 'මහරජ, ඔබ මේ දවල් කාලයේ කොහි සිට එන්නෙහිද?'
ස්වාමීනි, මෙහි සැවැත් නුවර සිටු ගෘහපතියා කාලක්‍රියා කළේය. දරුවන් නැති ඔහුගේ ඒ වස්තුව මම රාජාන්තඃපුරයට ගෙන එමි. ස්වාමීනි, රන් කහවනුම ලක්ෂයකි. රිදී ගැන කියනුම කවරේද? ස්වාමීනි, ඒ සිටු ගෘහපතියාගේ ආහාර පරිභෝගය මෙබඳු විය: මිරිස් හොදි සමග නිවුඩු හාලේ බත් කයි. වස්ත්‍ර පරිභෝගය මෙබඳු විය: තුන් කඩක් මූට්ටු කළ හණවැහැරියක් දරයි. යාන පරිභෝගය මෙබඳු විය: කොළ කුඩයක් දරමින් දිරාගිය රථයකින් යයි.
එය එසේය මහරජ, එය එසේය මහරජ. මහරජ, පෙර වූවක් කියමි. ඒ සිටු ගෘහපතියා තගරසිඛී නම් පසේ බුදුන්ට පිණ්ඩපාතය පිරිනැමුවේය. 'ශ්‍රමණයාට පිණ්ඩපාතය දෙව්' යැයි පවසා හුනස්නෙන් නැගිට ගියේය. දී පසුව විපිළිසර (පසුතැවිලි) වූයේය: 'මේ පිණ්ඩපාතය මාගේ දාසයන් හෝ කම්කරුවන් හෝ අනුභව කළා නම් වඩා හොඳය' කියායි. සහෝදරයාගේ එකම පුත්‍රයාද වස්තුව ලබා ගැනීමේ හේතුවෙන් ජීවිතක්ෂයට පත් කළේය.
මහරජ, යම් හෙයකින් ඒ සිටු ගෘහපතියා තගරසිඛී පසේ බුදුන්ට පිණ්ඩපාතය පිරිනැමුවේද, ඒ කර්මයේ විපාකයෙන් සත් වරක් සුගති සංඛ්‍යාත ස්වර්ග ලෝකයේ උපන්නේය. එම කර්මයේ විපාක අවශේෂයෙන් මේ සැවැත් නුවරම සත් වරක් සිටු තනතුර කරවීය.
මහරජ, යම් හෙයකින් ඒ සිටු ගෘහපතියා දානය දී පසුව විපිළිසර වූයේද: 'මේ පිණ්ඩපාතය මාගේ දාසයන් හෝ කම්කරුවන් හෝ අනුභව කළා නම් වඩා හොඳය' කියා, ඒ කර්මයේ විපාකයෙන් උදාර වූ ආහාර පරිභෝගයට සිත නොනැමෙයි. උදාර වූ වස්ත්‍ර පරිභෝගයට සිත නොනැමෙයි. උදාර වූ යාන පරිභෝගයට සිත නොනැමෙයි. උදාර වූ පංචකාම ගුණ පරිභෝගයට සිත නොනැමෙයි.
මහරජ, යම් හෙයකින් ඒ සිටු ගෘහපතියා සහෝදරයාගේ එකම පුත්‍රයා වස්තුව ලබා ගැනීමේ හේතුවෙන් ජීවිතක්ෂයට පත් කළේද, ඒ කර්මයේ විපාකයෙන් බොහෝ වර්ෂ ගණනක්, බොහෝ වර්ෂ ශත ගණනක්, බොහෝ වර්ෂ සහස් ගණනක්, බොහෝ වර්ෂ ශත සහස් ගණනක් නිරයේ පැසෙව්වේය. එම කර්මයේම විපාක අවශේෂයෙන් මේ සත්වන වරට දරුවන් නැති වස්තුව රාජ භාණ්ඩාගාරයට ඇතුල් කරයි. මහරජ, ඒ සිටු ගෘහපතියාගේ පුරාණ පින ගෙවී ගියේය, නව පිනක් රැස් නොකළේය. මහරජ, අද ඒ සිටු ගෘහපතියා මහාරෞරව නිරයේ පැසෙයි. 'ස්වාමීනි, එසේද? සිටු ගෘහපතියා මහාරෞරව නිරයේ උපන්නේද?' 'එසේය මහරජ, සිටු ගෘහපතියා මහාරෞරව නිරයේ උපන්නේය.'
ධාන්‍යද, ධනයද, රිදීද, රත්රන්ද, අඹුදරු ආදී පරිග්‍රහයන් යම් කිසිවක් වේද, දාසයෝද, කම්කරුවෝද, මෙහෙකරුවෝද, යම් යැපෙන්නෝ වෙත්ද, ඒ සියල්ල ගෙන යා නොහැකිය, ඒ සියල්ල හැර දමා යා යුතුය.
කයින්ද, වචනයෙන්ද, සිතින්ද යම් කර්මයක් කරයිද, එයම ඔහුට අයත් දෙය වෙයි. එයම රැගෙන යයි. එයම ඔහු පසුපස යන සෙවනැල්ල මෙන් අනුගමනය කරයි.
එබැවින් පරලොවට ප්‍රයෝජනවත් වන පින් රැස් කරන්නේය. පින් සත්වයන්ට පරලොවදී පිහිට වෙයි.
අපුත්තක වර්ගය දෙකයි.
එහි උද්දානය:
ජටිල, පඤ්ච රාජ, දෝණපාක, සංගාම සූත්‍ර දෙකයි, ධීතු, අප්පමාද සූත්‍ර දෙකයි, අපුත්තක සූත්‍ර දෙක ද වේ.
3. තුන්වෙනි වර්ගය
3. 3. 1.
1. පුග්ගල සූත්‍රය
132. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ජේතවනයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවනලද ආරාමයෙහි වැඩවසන සේක.
එකල්හි පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්නේය. එකත් පස්ව හුන් පසේනදි කොසොල් රජුට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය. එනම්:- “මහරජ, මේ ලෝකයෙහි පුද්ගලයෝ සතර දෙනෙක් ඇත්තාහ. විද්‍යමානයහ. කවර සතර දෙනෙක්ද යත්:- අඳුරෙන් අඳුරට යන්නාය, අඳුරෙන් එලියට යන්නාය, එලියෙන් අඳුරට යන්නාය, එලියෙන් එලියට යන්නාය (යන සතරදෙනා වෙත්.)