3. 2. 8.
කල්‍යාණමිත්ත සූත්‍රය.
129. සැවැත් නුවරදී -
එකත්පසෙක හුන් පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසීය: 'ස්වාමීනි, මෙහි රහසිගතව විවේකීව හුන් මට මෙබඳු චිත්ත පරිවිතර්කයක් උපනි: භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මනාකොට දේශනා කරන ලදී. එය කල්‍යාණ මිත්‍රයන් ඇත්තාටය, කල්‍යාණ යහළුවන් ඇත්තාටය, කල්‍යාණ නැඹුරුව ඇත්තාටය. පාප මිත්‍රයන් ඇත්තාට නොවේ, පාප යහළුවන් ඇත්තාට නොවේ, පාප නැඹුරුව ඇත්තාට නොවේ' යයි.
එසේය මහරජ, එය එසේය මහරජ. මහරජ, මවිසින් ධර්මය මනාකොට දේශනා කරන ලදී. හෙද කල්‍යාණ මිත්‍රයන් ඇත්තාටය, කල්‍යාණ යහළුවන් ඇත්තාටය, කල්‍යාණ නැඹුරුව ඇත්තාටය. පාප මිත්‍රයන් ඇත්තාට නොවේ, පාප යහළුවන් ඇත්තාට නොවේ, පාප නැඹුරුව ඇත්තාට නොවේ.
මහරජ, එක් සමයෙක්හි මම ශාක්‍ය ජනපදයේ නාගරක නම් වූ ශාක්‍යයන්ගේ නියම් ගම්හි වාසය කරමි. එකල්හි මහරජ, ආනන්ද භික්ෂුව මා වෙත පැමිණියේය. පැමිණ මා වැඳ එකත්පස්ව හුන්නේය. එකත්පස්ව හුන් ආනන්ද භික්ෂුව මට මෙය පැවසීය: 'ස්වාමීනි, මේ බ්‍රහ්මචර්යාවෙන් අඩක්ම යම් මේ කල්‍යාණ මිත්‍ර බව, කල්‍යාණ යහළු බව, කල්‍යාණ නැඹුරු බව වේද, එයයි'. මහරජ, මෙසේ කී කල්හි මම ආනන්ද භික්ෂුවට මෙය පැවසුවෙමි: 'ආනන්දය, එසේ නොකියව. ආනන්දය, එසේ නොකියව. ආනන්දය, යම් මේ කල්‍යාණ මිත්‍ර බවක්, කල්‍යාණ යහළු බවක්, කල්‍යාණ නැඹුරු බවක් වේද, මෙය මේ සකල බ්‍රහ්මචර්යාවම වන්නේය. ආනන්දය, කල්‍යාණ මිත්‍ර, කල්‍යාණ යහළු, කල්‍යාණ නැඹුරු ඇති භික්ෂුව විසින් ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිය යුතුය, ආර්ය අෂ්ටාංගික මාර්ගය බහුලීකෘත කළ යුතුය යනු කැමැති විය යුතුයි'.
ආනන්දය, කල්‍යාණ මිත්‍ර, කල්‍යාණ යහළු, කල්‍යාණ නැඹුරු ඇති භික්ෂුව කෙසේ නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩියි ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය බහුලීකරණය කරයි ද? ආනන්දය, මේ ශාසනයෙහි භික්ෂුව විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණු සම්මා දිට්ඨිය වඩයි. සම්මා සංකප්පය වඩයි... සම්මා වාචාව වඩයි... සම්මා කම්මන්තය වඩයි... සම්මා ආජීවය වඩයි... සම්මා වායාමය වඩයි... සම්මා සතිය වඩයි... විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණු සම්මා සමාධිය වඩයි. ආනන්දය, මෙසේ ඛො භික්ෂුව කල්‍යාණ මිත්‍ර, කල්‍යාණ යහළු, කල්‍යාණ නැඹුරු ඇතිව ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩයි, ආර්ය අෂ්ටාංගික මාර්ගය බහුලීකරණය කරයි.
ආනන්දය, යම් මේ කල්‍යාණ මිත්‍ර බවක්, කල්‍යාණ යහළු බවක්, කල්‍යාණ නැඹුරු බවක් වේද, මෙය මේ සකල බ්‍රහ්මචර්යාවම වන්නේය යන මේ කරුණ මේ පරියායෙන්ද දත යුතුය.
ආනන්දය, මා කල්‍යාණ මිත්‍රයා කොට ගෙන ජාති ස්වභාව කොට ඇති සත්වයෝ ජාතියෙන් මිදෙති. ජරා ස්වභාව කොට ඇති සත්වයෝ ජරාවෙන් මිදෙති. ව්‍යාධි ස්වභාව කොට ඇති සත්වයෝ ව්‍යාධියෙන් මිදෙති. මරණ ස්වභාව කොට ඇති සත්වයෝ මරණයෙන් මිදෙති. ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස ස්වභාව කොට ඇති සත්වයෝ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයන්ගෙන් මිදෙති. ආනන්දය, යම් මේ කල්‍යාණ මිත්‍ර බවක්, කල්‍යාණ යහළු බවක්, කල්‍යාණ නැඹුරු බවක් වේද, මෙය මේ සකල බ්‍රහ්මචර්යාවම වන්නේය යන මේ කරුණ මේ පරියායෙන් දත යුතුය.
මහරජ, එහෙයින් මේ කරුණෙහිලා ඔබ විසින් මෙසේ හික්මිය යුතුයි: ‘කල්‍යාණ මිත්‍රයෙක් වෙමි, කල්‍යාණ යහළුවෙක් වෙමි, කල්‍යාණ නැඹුරුව ඇත්තෙක් වෙමි’යි. මහරජ, ඔබ විසින් මෙසේ හික්මිය යුතුයි. මහරජ, කල්‍යාණ මිත්‍ර, කල්‍යාණ යහළු, කල්‍යාණ නැඹුරු ඇති ඔබ විසින් කුසල් දහම්හි අප්‍රමාදය (නොපමාව) යන මේ එකම ධර්මය ඇසුරු කොට වාසය කළ යුතුය.