3. 1. 9.
9. යඤඤ සූත්රය
120. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල්හි පසේනදි කොසොල් රජුගේ මහා යාගයක් එළඹ සිටියේ වෙයි. පන්සියයක් ගොන්නුද, පන්සියයක් ලොකු වස්සෝද, පන්සියයක් ලොකු වැස්සියෝද, පන්සියයක් එළුවෝද, පන්සියයක් බැටළුවෝද, යාගය පිණිස යාග කණුව වෙත පමුණුවන ලද්දාහු වෙත්. රජුගේ යම් ඒ දාසයෝ හෝ, දූත මෙහෙවර කරන්නෝ හෝ, කම්කරුවෝ හෝ වෙත්ද, ඔව්හුත් දණ්ඩනයෙන් තැතිගත්තෝ, භයින් තැතිගත්තෝ, කඳුළු වැකුණු මුහුණු ඇත්තෝ හඬමින් වැඩ කරති.
එකල බොහෝ භික්ෂූහු පෙරවරු කාලයෙහි හැඳ පොරවා, පාත්ර සිවුරු ගෙණ පිණ්ඩපාතය පිණිස සැවැත් නුවරට පිවිස බතින් පසු පිණ්ඩපාතයෙන් පෙරළා අවුත් භාග්යවතුන් වහන්සේ යම් තැනකද, එතැනට පැමිණියෝය. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක උන්හ. එක්පසෙක උන් ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට මෙය කීය. “ස්වාමීනි, මෙහි කොසොල් රජුගේ මහා යාගයක් එළඹ සිටියේ වෙයි. පන්සියයක් ගොන්නුද, පන්සියයක් ලොකු වස්සෝද, පන්සියයක් ලොකු වැස්සියෝද, පන්සියයක් එළුවෝද, පන්සියයක් බැටළුවෝද, යාගය පිණිස යාග කණුව වෙත පමුණුවන ලද්දාහු වෙති. රජුගේ දාසයෝද, පණිවුඩ කරුවෝද, කම්කරුවෝද, දණ්ඩනයෙන් තැතිගත්තෝ, භයින් තැතිගත්තෝ, කඳුළු වැකුණු මුහුණු ඇත්තෝ අඬමින් වැඩ කෙරති,” යනුයි.
එවිට බුදුරජානන් වහන්සේ මේ කාරණය දැන එවේලෙහි මේ ගාථා වදාළ සේක.
“මහත්වූ ක්රියාරම්භ ඇති අශ්වමේධ නම්වූද, පුරිසමේධ නම්වූද, සම්මාපාස නම්වූද, වාජපෙය්ය නම්වූද, නිරග්ගල නම්වූද, ඒ මහා යාගයෝ මහත්ඵල ඇත්තෝ නොවෙති.”
“නානාප්රකාරවූ එළු, බැටළු, ගවයන් මරණ ඒ යාග පොළවලට යහපත් මග ගිය (බුද්ධාදී) මහර්ෂීහු නොපැමිනෙති.”
“මහත් ක්රියාරම්භ නැති යම් යාග කෙනෙක් හැම කල්හි ගෙයක් පාසා යාග කරණු ලබත්ද, එළු බැටළුවෝත්, ගෙරිත් යම් යාගයෙක්හි මරණු නොලබත්ද,”
“මෙබඳු යාගවලට යහපත් මග ගිය (බුද්ධාදී) මහර්ෂීහු පැමිනෙති. නුවණැති මනුෂ්ය තෙමේ මේ යාගය කරන්නේය, මේ යාගය මහත්ඵල ඇත්තේ වේ.”
“මේ යාගය කරන්නාට උතුම් අභිවෘද්ධිය වේ. අයහපතක් නොවේ, යාගයද මහත් වූවක් වේ, දෙවියෝද පහදිති.”
3. 1. 10.
10. බන්ධන සූත්රය
121. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල්හි පසේනදි කොසොල් රජ විසින් මහා ජන සමූහයක් බන්දවන ලද්දේ වෙයි. සමහරු රැහැණින්ද, සමහරු දම්වැලින්ද, සමහරු විලංගුවෙන්ද බන්දවන ලද්දෝය.
එකල්හි බොහෝ භික්ෂූහු පෙරවරු කාලයෙහි හැඳ පොරවා, පාත්ර සිවුරු ගෙණ පිඬු පිණිස සැවැත් නුවරට ගොස් පස්වරුයෙහි පිණ්ඩපාතයෙන් පෙරළා අවුත් භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක උන්හ. එකත්පස්ව හිඳ මෙය කීහ. ස්වාමීනි, කොසොල් රජ විසින් බොහෝ දෙනා බන්දවන ලදහ. සමහරු රැහැණින්ද, සමහරු දම්වැලින්ද, සමහරු විලංගුවලින්ද බන්දවන ලද්දෝය” යනුයි.
ඉක්බිති භාග්යවතුන් වහන්සේ මේ කරුණ දැන එවේලෙහි මේ ගාථා වදාළසේක.
“යකඩින් කළාවූද, ලීයෙන් කළාවූද, බබ්බජ නම් තෘණ විශේෂයෙන් කළාවූද, බැමි තද බැමියයි නුවණැත්තෝ නොකියති. මිණිකොඬොල් ආදී ආභරණයෙහි ඇලීමද, අඹු දරුවන් කෙරෙහි අපේක්ෂාවද යන මෙය දැඩි තද බැම්මයයි (බුද්ධාදී) නුවණැත්තෝ කියති.
මේ බැම්ම අපායාදී පහත් බිමට අදින්නක්ද, බුරුල්වූවක්ද, එහෙත් ලෙහෙසියෙන් මිදෙනු නොහැක්කක්ද වේ. කාමයෙහි ඇළුම් නැත්තෝ මේ බැම්මද සිඳ බිඳ දමා කම් සැප හැර නිවන් මගට යෙති.”
පඨමො වග්ගො.