3. 1. 10.
10. බන්‍ධන සූත්‍රය
121. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල්හි පසේනදි කොසොල් රජ විසින් මහා ජන සමූහයක් බන්දවන ලද්දේ වෙයි. සමහරු රැහැණින්ද, සමහරු දම්වැලින්ද, සමහරු විලංගුවෙන්ද බන්දවන ලද්දෝය.
එකල්හි බොහෝ භික්‍ෂූහු පෙරවරු කාලයෙහි හැඳ පොරවා, පාත්‍ර සිවුරු ගෙණ පිඬු පිණිස සැවැත් නුවරට ගොස් පස්වරුයෙහි පිණ්ඩපාතයෙන් පෙරළා අවුත් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක උන්හ. එකත්පස්ව හිඳ මෙය කීහ. ස්වාමීනි, කොසොල් රජ විසින් බොහෝ දෙනා බන්දවන ලදහ. සමහරු රැහැණින්ද, සමහරු දම්වැලින්ද, සමහරු විලංගුවලින්ද බන්දවන ලද්දෝය” යනුයි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැන එවේලෙහි මේ ගාථා වදාළසේක.
“යකඩින් කළාවූද, ලීයෙන් කළාවූද, බබ්බජ නම් තෘණ විශේෂයෙන් කළාවූද, බැමි තද බැමියයි නුවණැත්තෝ නොකියති. මිණිකොඬොල් ආදී ආභරණයෙහි ඇලීමද, අඹු දරුවන් කෙරෙහි අපේක්‍ෂාවද යන මෙය දැඩි තද බැම්මයයි (බුද්ධාදී) නුවණැත්තෝ කියති.
මේ බැම්ම අපායාදී පහත් බිමට අදින්නක්ද, බුරුල්වූවක්ද, එහෙත් ලෙහෙසියෙන් මිදෙනු නොහැක්කක්ද වේ. කාමයෙහි ඇළුම් නැත්තෝ මේ බැම්මද සිඳ බිඳ දමා කම් සැප හැර නිවන් මගට යෙති.”
පඨමො වග්ගො.
එහි උද්දානය:
දහර, පුරිස, රාජ, පිය, අත්තරක්ඛිත, අප්පක, අත්ථකරණ, මල්ලිකා, යඤ්ඤ සහ බන්ධන යන දස සූත්‍රයෝ මෙහි වෙත්.
2. දෙවෙනි වර්‍ගය
3. 2. 1.
ජටිල සූත්‍රය
122. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර මිගාරමාතුපාසාද නම් පූර්‍වාරාමයෙහි වැඩවසන සේක. එකල්හි භාග්‍යවත් තෙමේ සවස් වරුවෙහි ඵලසමවතින් නැගිට දොරටුවෙන් පිටත වැඩහුන්නේ වේ. පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිනියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක හුන්නේය.
එවේලෙහි ඉතා දික්ව වැඩුනු කිසිලි ලොම් නිය ඇති ජටිලයෝ සත්දෙනෙක්ද, නිඝණ්ඨයෝ සත්දෙනෙක්ද, දිගම්බරයෝ (නිර්වස්ත්‍ර තාපසයෝ) සත්දෙනෙක්ද, ඒක සාටකයෝ (එක සළුවක් පමණක් ඇති තාපසයෝ)සත්දෙනෙක්ද, පරිව්‍රාජකයෝ සත්දෙනෙක්ද, නොයෙක් ආකාර තවුස් පිරිකර රැගෙණ භාග්‍යවතුන් වහන්සේට නුදුරින් එපෙදෙස පසුකර යති. එකල්හි කොසොල් රජ අස්නෙන් නැගිට උතුරුසළුව එකාංශකොට දකුණු දණමඬල පොළොවෙහි ඔබා ඒ සත් ජටිලයන්, සත් නිගණ්ඨයන්, සත් දිගම්බරයන් සත් ඒකසාටකයන් හා සත් පරිව්‍රාජකයන් දෙසට ඇඳිලිබැඳ වැඳීම කොට “වහන්ස, මම පසේනදි කොසොල් රජ වෙමි” යි තුන් විටක් තම නම කීය.
ඉක්බිති කොසොල් රජ ඒ ජටිලයන් සත්දෙනද, නිගණ්ඨයන් සත්දෙනද, අචේලකයන් සත්දෙනද, ඒකසාටකයන් සත්දෙනද, පරිව්‍රාජකයන් සත්දෙනද, ගිය නොබෝ වේලාවකින් භාග්‍යවතුන් වහන්සේ යමි තැනකද එතැනට පැමිණියේය. පැමිණ, වැඳ, එකත්පස්ව හිඳ, “ස්වාමීනි, ලෝකයෙහි රහත් වූ හෝ රහතු මගට පිළිපන්නා වූ හෝ යමෙක් වෙත් නම් මොව්හුද ඔවුන් අතරම වූ සමහරු වෙති” යි භාග්‍යවතුන් වහන්සේට කීයේය.
“මහරජ, පස්කම් සැප අනුභව කරණ, දූ දරුවන්ගෙන් පීඩ්ත, සයනයක හොවින, කසී සඳුන් ගල්වන, මල් ගඳ විලවුන් දරණ, රන්රිදී ඉවසන ගිහියෙක් වූ ඔබ විසින් මොවිහු රහත්හුයයි කියා හෝ මොවිහු රහත්මගට පිළිපන්නාහුයයි කියා හෝ දැනගැන්ම දුෂ්කරය (අපහසුය.)