3. 1. 2.
2. පුරිස සූත්රය
113. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල පසේනදි කොසොල් රජතෙමේ භාග්යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, වැඳ එකත් පසෙක හුන්නේය. එක් පසෙක හුන් පසේනදි කෝසල රජතෙමේ “ස්වාමීනි, තමන්තුළ උපදින කෙතෙක් දේ පුරුෂයෙකුට අහිත පිණිස, දුක් පිණිස, අපහසුවෙන් වසනු පිණිස උපදිත්දැ” යි භාග්යවතුන් වහන්සේගෙන් ඇසීය.
“මහරජ, පුරුෂයෙකුට තමන් තුල උපදිනා කරුණු තුනක් අහිත පිණිස, දුක් පිණිස, අපහසුවෙන් වසනු පිණිස උපදිති. කවර කරුණු තුනක්ද? මහරජ, ලෝභය තමන් තුළ උපදින්නේ පුරුෂයාට අහිත පිණිස, දුක් පිණිස, අපහසුවෙන් වසනු පිණිස උපදියි. මහරජ, ද්වේෂය තමන් තුළ උපදින්නේ පුරුෂයාට අහිත පිණිස, දුක් පිණිස, අපහසුවෙන් වසනු පිණිස උපදියි. මහරජ, මෝහය තමන් තුළ උපදින්නේ පුරුෂයාට අහිත පිණිස, දුක් පිණිස, අපහසුවෙන් වසනු පිණිස උපදියි. මහරජ, මේ කරුණු තුන තමන් තුළ උපදින්නේ පුරුෂයාට අහිත පිණිස, දුක් පිණිස, අපහසු විහරණය පිණිස උපදිත්.
“තමන්ගේ සන්තානයෙහි උපන් ලෝභ, දෝෂ, මෝහ යන අකුසල් මුල් ලාමක සිත් ඇති පුරුෂයාම පෙළති. කුමක් මෙන්ද යත්? (හුණ, බට, කෙසෙල් ආදී) පොත්තම හරය කොට ඇති ගසක ඇතිවන ඵලය එබඳු ගසක් නසන්නාක් මෙනි.”
3. 1. 3.
3. රාජ සූත්රය
114. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල්හි පසේනදි කොසොල් රජතෙමේ භාග්යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, වැඳ එකත් පසෙක හුන්නේය. එකත්පසෙක හුන් පසේනදි කොසොල් රජතෙමේ “ස්වාමීනි, උපන් තැනැත්තාට ජරා මරණ දෙකින් ගැළවීමක් ඇත්තේදැ” යි භාග්යවතුන් වහන්සේගෙන් ඇසීය.
“මහරජ, උපන් තැනැත්තාට ජරා මරණ දෙකින් ගැළවීමක් නැත. මහරජ, මහාසාර කුලවල උපන් යම් ඒ ක්ෂත්රියයෝ ධනයෙන් ආඪ්යවූ, මහත් ධන ඇත්තාවූ, බොහෝ සම්පත් ඇත්තාවූ, බොහෝ රන්රුවන් ඇත්තාවූ, මන පිනවන බොහෝ දේ ඇත්තාවූ, බොහෝ ධන ධාන්ය ඇත්තාවූ වෙත්ද, ඔවුන්ටද, ජරා මරණ දෙකින් ගැළවීමක් නැත. මහාසාර කුලවල උපන් බ්රාහ්මණයෝ ධනයෙන් ආඪ්යවූ, මහත් ධන ඇත්තාවූ, බොහෝ සම්පත් ඇත්තාවූ, බොහෝ රන්රුවන් ඇත්තාවූ, මන පිනවන බොහෝ දේ ඇත්තාවූ, බොහෝ ධන ධාන්ය ඇත්තාවූ වෙත්ද, ඔවුන්ටද, ජරා මරණ දෙකින් ගැළවීමක් නැත. මහාසාර කුලවල උපන් ගෘහපතියෝ ධනයෙන් ආඪ්යවූ, මහත් ධන ඇත්තාවූ, බොහෝ සම්පත් ඇත්තාවූ, බොහෝ රන්රුවන් ඇත්තාවූ, මන පිනවන බොහෝ දේ ඇත්තාවූ, බොහෝ ධන ධාන්ය ඇත්තාවූ වෙත්ද, ඔවුන්ටද, ජරා මරණ දෙකින් ගැළවීමක් නැත. මහරජ, කෙලෙස් නැසූ, මග බඹසර වැස නිමවූ, සතර මගින් කටයුතු කොට නිමවූ, කෙලෙස් බර බහා තැබූ, රහත් බවට පැමිණි, භව බන්ධන නැසූ, සතර සත්යයන් තතුසේ දැන කෙලෙසුන් ගෙන් මිදුනාවූ, යම් ඒ රහත් භික්ෂු කෙනෙක් වෙත්ද, ඔවුන්ගේත් මේ කය බිඳෙන ස්වභාව ඇත්තේය. ඉවත දැමියයුතු ස්වභාව ඇත්තේය.”
“විසිතුරු කරනලද රජුන්ගේ රථද දිරති. එසේම ශරීරයද දිරීමට පැමිණෙයි. එහෙත් බුද්ධාදී උත්තමයන්ගේ සද්ධර්මය දිරුමට නොපැමිණේ. එහෙයින් ඒ උත්තමයෝ ඒ සද්ධර්මය (නිවන) ඒකාන්ත පිහිට ලෙස ඔවුනොවුන්ට ප්රකාශ කරති.”
3. 1. 4.
4. පිය (නොහොත් පියඅත්ත) සූත්රය
115. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි පසේනදි කොසොල් රජතෙමේ භාග්යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, වැඳ එකත් පසෙක හුන්නේය.
එකත්පසෙක හුන් පසේනදි කොසොල්රජ භාග්යවතුන් වහන්සේට මෙය කීයේය. “ස්වාමීනි, තනිව විවේකීව හුන් මට මෙබඳු විතර්කයක් පහළවිය. එනම්:- ‘කවුරුන්ට තමා ප්රියද? කවුරුන්ට තමා අප්රියද?’ කියායි.